‘රීවා මාමා’ ජපානයේ නව අගමැති වන ලකුණු !

‘රීවා මාමා’ ජපානයේ නව අගමැති වන ලකුණු !
Spread the love

ජපානයේ පාලක කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපී) සභාපති ධුරය සඳහා යොෂිහයිඩ් සුගා Yoshihide Suga තෝරාගෙන තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔහු ජපානයේ මීළඟ අගමැති ධුරයට පත්වනු ඇති බවයි.

අසනීප හේතූන් මත තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ෂින්සෝ අබේ පසුගිය මාසයේ නිවේදනය කළේය.

71 හැවිරිදි සුගා වත්මන් පරිපාලනයේ ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස සේවය කරන අතර ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ.

ඔහු අබේගේ සමීප මිතුරෙකු ලෙස සලකනු ලබන අතර ඔහුගේ පූර්වගාමියාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ඉඩ තිබේ.

කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපී) සභාපති ධුරය සඳහා වූ ඡන්ද විමසීමේදී සුගා බහුතර ඡන්ද සංඛ්‍යාවක් දිනා ගත්තේය.

ඔහු සමග තවත් තරඟකරුවන් දෙදෙනෙකු සභාපති සටන එක් වූ අතර (හිටපු විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා සහ හිටපු එල්ඩීපී මහලේකම් සහ එක් වරක් ආරක්ෂක ඇමති ෂිගෙරු ඉෂිබා) ඔවුන්ව පහසුවෙන් පරාජය කිරීමට සුගාට හැකිවිය.

ෆුමියෝ කිෂිඩා (වමේ), යොෂිහයිඩ් සුගා (මැද), ෂිගෙරු ඉෂිබා
ෂිගෙරු ඉෂිබා (වමේ), යොෂිහයිඩ් සුගා සහ ෆුමියෝ කිෂිඩා

පක්ෂය සිය නව නායකයා තෝරාගෙන ඇති හෙයින්, බදාදා පාර්ලිමේන්තුවේදී තවත් ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති අතර එහිදී එල්ඩීපීයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති නිසා සුගා මහතා අගමැති ධුරයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

2021 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය තෙක් සුගා මහතා ධුරයේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යොෂිහයිඩ් සුගා යනු කවුද?

ස්ට්රෝබෙරි ගොවීන්ගේ පුතෙකු ලෙස උපත ලද සුගා මහතා ප්‍රවීණ දේශපාලනඥයෙකි.

පරිපාලනයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයාගේ කේන්ද්‍රීය කාර්යභාරය සැලකිල්ලට ගෙන ඔහු 2021 මැතිවරණය තෙක් අන්තර්වාර රජයක නායකත්වය අඛණ්ඩව ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ෂින්සෝ අබේ සහ අනෙකුත් පක්ෂ ලොක්කන් සුගා මහතා තෝරා ගත්තේ ඔහු හොඳම අපේක්ෂකයා වූ නිසාය. අබේ නොමැතිව අබේ රජය ඉදිරියට ගෙන යා හැකි යැයි ඔවුන් සිතන කෙනෙක් ඔවුන් නිවැරදිව තෝරා ගෙන ඇත” ටෝකියෝවේ සොෆියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ පීඨාධිපති සහ දේශපාලන විද්‍යා මහාචාර්ය කොයිචි නකානෝ බීබීසීයට පැවසීය.

වඩාත්ම ජවසම්පන්න හෝ උද්‍යෝගිමත් දේශපාලනඥයෙකු ලෙස නොසැලකුවද, සුගා මහතා ඉතා කාර්යක්ෂම හා ප්‍රායෝගික දේශපාලනඥයෙකු බවට කීර්තියක් දිනා ඇත.

අකිහිතෝ අධිරාජ්‍යයා 2019 දී අධිරාජ්‍ය පදවියෙන් ඉල්ලා අස්වී නරුහිටෝ කුමරු වෙත බලය මාරුවීම අතරතුරදී ඔහු වඩාත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. නව රීවා යුගයේ නම ජපන් හා ගෝලීය මහජනතාව වෙත නිරාවරණය කිරීම සුගා මහතාට පැවරී තිබේ.

ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහයිඩ් සුගා විසින් නව යුගයේ නම “රීවා” එළිදක්වන ලදී
ජපානයේ නව යුගයේ නම එළිදැක්වීමෙන් පසු ඔහුට “රීවා මාමා” යන අන්වර්ථ නාමය ලැබුණි

එහෙත්, අබේ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එල්ඩීපී නායකත්වය දිනා ගැනීමට ඔහු සමත් වුවත් ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ඔහු පක්ෂයට නායකත්වය දෙයිද යන්න පැහැදිලි නැත. නිරීක්ෂකයින් සදහන් කරන්නේ වඩාත් ප්‍රබල නායකයෙකු මැතිවරණයේදී ඉදිරියට එනු ඇති බවයි.

අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

මුදල් ලිහිල් කිරීම, රාජ්‍ය මූල්‍ය වියදම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා නිර්මාණය කරන ලද අබේ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය වන “අබෙනොමික්ස් Abenomics සමඟ ඉදිරියට යාමට සුගා මහතා පොරොන්දු වී තිබේ.

නමුත් ඔහුගේ පූර්වගාමියා මෙන් ඔහුටද මුලින්ම කොරෝන වෛරස් වසංගතයේ දැවෙන ඉල්ලීම් විසඳීමට අවශ්‍ය වනු ඇත.

සිය මැතිවරණයට පෙර 2021 මුල් භාගය වන විට ජපානය සඳහා කොවිඩ් -19 පරීක්ෂණ සහ ප්‍රභව එන්නත් ව්‍යාප්ත කිරීමට සුගා පොරොන්දු විය.

අවම වැටුප ඉහළ නැංවීම, කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තය නංවාලීම යන කරුණු ද ඔහු හමුවේ පවතී.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද ඔහු අබේ මහතාගේ අඩිපාරේ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ජපානය එක්සත් ජනපදය සමඟ දිගුකාලීනව ඇතිකරගෙන සිටින සන්ධානයට ප්‍රමුඛත්වය දෙන අතරම චීනය සමඟ ස්ථාවර සබඳතා පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජපානයේ දේශපාලන දැක්ම කුමක්ද?

නායකත්ව මාරුව පැමිණෙන්නේ රටට දුෂ්කර අවස්ථාවක ය. ජපානය තවමත් කොරෝනා වසංගතය සමඟ පොර බදමින් සිටින අතර ආර්ථිකය ද අර්බුදය කරා ගමන් කරමින් සිටී.

පශ්චාත්-යුද සාමවාදී ව්‍යවස්ථාව (the post-war pacifist constitution) ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ සැලසුම්වල ද නිම නොකළ තැන් තිබේ. දැනට ස්වයං ආරක්ෂක බලකාය (the Self Defence Force)ලෙස හඳුන්වන ජපානයේ මිලිටරිය විධිමත් ලෙස පිළිගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වෙනස් කිරීමට අබේට අවශ්‍ය විය. එම සියලු ව්‍යාපෘති සඳහා සුගා මහතා යටතේ නව පරිපාලනයක් ස්ථාවරත්වයක් ලබා දිය හැකිය.

ටෝකියෝහි උදේ පාන්දර මගීන්.
යජපානය වසංගතයෙන් හා ආර්ථික පසුබෑමකට ලක්ව තිබේ

එහෙත් ඔහු ප්‍රධාන කැබිනට් ලේකම් ධුරය දැරූ කාලය තුළ ඔහුට “කැපී පෙනෙන පෙනුමක් නොතිබුණි” යැයි මහාචාර්ය නකානෝ අනතුරු අඟවයි.

“ඔහු ඉදිරිපත් කළ එකම සටන් පාඨය වන්නේ ‘ස්වයං උපකාරය, අන්‍යෝන්‍ය උපකාරය සහ මහජන උපකාරය Self help, mutual help, and public help‘ යන්නයි. නව ලිබරල් ස්වයං ආධාර සහ ස්වයං වගකීම අවධාරණය කරමින් වසංගතයක් පවතින අවස්ථාවේ දී මුළු ජනතාවම ආර්ථික අවදානමට නිරාවරණය කිරීමයි ඔහු සූදානම් වුණේ”මහාචාර්ය නකානෝ කියයි.

ෂින්සෝ අබේ ඉල්ලා අස්වූයේ ඇයි?

තම අසනීප තත්වය මත තව දුරටත් රට පාලනය කිරීම සුදුසු නැතැයි කියමින් අබේ මහතා සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර ඉල්ලා අස් වූ අතර ඔහු තම තීරණය සම්බන්ධයෙන් ජපාන ජනතාවගෙන් සමාව අයැද සිටියේය.

ෂින්සෝ අබේ - 2020 මැයි

65 හැවිරිදි ඔහු වසර ගණනාවක් තිස්සේ බඩවැල් ආශ්‍රිත රෝගයක් වන ulcerative colitis රෝගයෙන් පීඩා විඳි නමුත් ‘තම රෝගී තත්වය මෑතකදී නරක අතට හැරී ඇති බව‘ ඔහු පැවසීය.

පසුගිය වසරේ ඔහු ජපානයේ දීර්ඝ කාලයක් සේවය කළ අගමැති බවට පත්විය. ඔහුගේ වර්තමාන ධුර කාලය 2012 දී ආරම්භ විය.

නිදන්ගත රෝගී තත්ත්වය හේතුවෙන් 2007 දී ද ඔහු නිල කාලය අවසන් වීමට පෙර හදිසියේම අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ