ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 70,49,649ක් සහ මරණ 409,886ක්

ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 70,49,649ක් සහ මරණ 409,886ක්
Spread the love

අද (8) ප.ව 09.04 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 70,49,649 දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 409,886ක් බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට

ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සුපුරුදු පරිදි වර්ධනය වෙද්දී ඉන්දියාවේ ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 260,093ක් වන අතර මරණ සංඛ්‍යාව 7263ක්. සමස්ත කොවිඩ් ආසාදිත රාජ්‍ය අතර ඉන්දියාව 05 වන ස්ථානයේ (එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව සහ මහා බ්‍රිතාන්‍යය) පසු වුවත් මරණ සංඛ්‍යාව අනුව ඉන්දියාව පසුවන්නේ 12 වැනි ස්ථානයේ වීම විශේෂත්වයක්.

‘ද හින්දු‘ වාර්තාවල දැක්වෙන ආකාරයට අද දිනය වන විට ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවරද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (8) පස්වරු 1.20 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 85,975ක් වූ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් අද දහවල් වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 84,191ක්.

ද හින්දු වාර්තාවේ සදහන් වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 3,007 දෙනකු වාර්තා වූ බවත් අද දින වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 91ක් බවයි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 3,060ක් වීම ද විශේෂත්වයක්.