හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ පාලනය යටතේ ගෙවුණු 1998 වසර ඇමරිකානු ඉතිහාසයේ සටහන් වන්නේ ව්‍යසනකාරී සමයක් ලෙස ය. ඒ සාමාන්‍යයෙන් එවන් අර්බුදයකට හේතුපාදක වන ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයක්, බෝවන රෝග වසංගතයක ව්‍යාප්තියක්, ස්වභාවික ආපදාවක්, යුදමය වාතාවරණයක් හෝ වෙනත් එවැනි භෞතිකමය විනාශකාරී තත්ත්වයක් නිසාවෙන් නොවේ. ජනපති බිල් ක්ලින්ටන් කේන්ද්‍රකර ගත් අපවාදයක් නිසාය. භෞතික වශයෙන් අලාභ හානි සිදුනොවුණද ත්‍රස්ත ප්‍රහාරයකට හෝ ස්වභාවික ආපදාවකට වඩා ප්‍රබල ලෙස එය ලෝක බලවතා කැළඹීමට සමත් විය. ඉන් හටගත් ආන්දෝලනය කෙතරම් දරුණු වුවාද යත් ජනපති ක්ලින්ටන් බලයෙන් පහා කිරීමට දෝශාභියෝගයක් ගෙන ඒම දක්වාවූ අන්තයකට එය විහිද ගියේය.
මාස දහතුනක කාලයක් පුරා ඇමරිකාව වෙළාගෙන තිබූ මෙම ‘අවාසනාවන්ත බන්ධනයෙන්‘ එල්ලවූ බලපෑම අදටද පහව ගොස් නැත. එවක් පටන් ගෙවුණු විසි වසර තුළදී, ‘ඇය‘ පවසන ආකාරයට එම අපවාදය පිළිබඳ මාධ්‍ය ඔස්සේ අවම වශයෙන් එක්වරක් හෝ සඳහන් නොකෙරුණු දිනයක් නැත. ඇය ක්ලින්ටන්ගේ ජනපති ධුරය තර්ජනයට ලක් කිරීමට හේතුවූ අපවාදය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ තැනැත්තියයි. ඇය ‘මොනිකා ලෙවින්ස්කි‘ ය. ධවල මන්දිරයේ සේවයේ නියුතු ළාබාල නිලධාරිනියක ලෙස, ලෝක බලවතා වූ, වයස අවුරුදු විසිහතකින් වැඩිමහලු තමාගේ ප්‍රධානියා සමඟ අනියම් පෙම් දමක පැටලී ලෝකයෙන් ගැරහුමටත්, අපවාදයටත් ගොදුරුවූ තැනැත්තියයි.
හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවින්ස්කි අපවාදය ලොවට හෙළිකළ ‘ස්ටාර් විමර්ශනය‘ කරළියට පැමිණ හරියටම විසි වසරක් සම්පූර්ණ වන්නේ මෙම මාසයේදී ය. විසි වසරක් ගෙවුණද අදටත් ක්ලින්ටන්- ලෙවින්ස්කි අපවාදය ජගත් මාධ්‍යන්ට උණුසුම් පුවතකි. ලෙවින්ස්කි පවසන පරිදිම එම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විසින් සඳහන් නොකළ දිනයක් තවමත් උදාවී නැත. එම අපවාදය කරළියට පැමිණි මුල් දින දහයේදී පමණක් ‘ද වොෂින්ටන් පෝස්ට්‘ පුවත්පත ඒ සම්බන්ධයෙන් ලිපි එකසිය විසිපහක් පළකොට තිබිණි. ප්‍රසිද්ධියේ ලෝකයාගෙන් ගැරහුමටත්, අපහාසයටත් ලක්වීම නිසාවෙන් හටගත් මානසික ආතතිය හේතුවෙන් ලෙවින්ස්කි පුරා වසර දහසයක් ලොවෙන් සැඟවී හුදකලාව සිටියාය.
මාධ්‍ය විසින් ඇගේ ආත්ම ගෞරවය කීතුකර දැමු එම චිත්ත ව්‍යසනකාරී සමයේදී ඇගේ ළඟින්ම සිටියේ ඇගේ මව, පියා ඇතුලු පවුලේ සමීපතමයින් පමණි. 2014 වසරේදී ඇය පළමුවරට ‘වැනිටි ෆෙයාර්‘ සඟරාවේ ලිපියක් පළ කරමින් සිය වේදනාකාරී අත්දැකීම පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමට පෙළඹුණා ය. එම අපවාදය කරළියට පැමිණ විසි වසරක් සම්පූර්ණ වන මෙම මාසයේදී යළිත් ඒ පිළිබඳ විවරණයක යෙදීමට වඩාත්ම සුදුසු කාලය එළැඹ ඇති බවට සැකයක් නැත. ඒ එම යටගියාව සම්බන්ධයෙන් ලෙවින්ස්කි ලබාගෙන ඇති පරිණතභාවය නිසා පමණක්ම නොව ‘MeToo’ ව්‍යාපාරය කරණකොටගෙන ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් ලෝක ප්‍රජාව අතර වර්ධනය ඇති සහයෝගීතාවද නිසාය. පසුගියදා මොනිකා ලෙවින්ස්කි වැනිටි ෆෙයාර් සඟරාවේ පළකළ ලිපියකින් එම අපවාදයෙන් විසි වසරකට පසු ආත්ම හා සමාජ විවරණයක යෙදුණේ ‘MeToo’ ව්‍යාපාරයෙන් දළුලා ඇති ජාත්‍යන්තර උද්යෝගය එඩියක් කර ගනිමිනි.
පසුගිය වසරේ නත්තල උදාවට පෙරදින රාත්‍රියේදී ලෙවින්ස්කි කිසිදා බලාපොරොත්තු නොවූ ආකාරයේ අත්දැකීමකට මුහුණ දුන්නාය. ඊට වසර දහයකට පෙර ඇය ඊට මුහුණ දුන්නා නම් ඇය පැන දුවන්නට බෙහෙවින් ඉඩ තිබිණි. සිය මවුපියන් සමඟ මෑන්හැටන් නුවර ග්‍රැමර්සි උද්‍යානයේ පැවති කැරොල් ගායනයකට සහභාගිවී රාත්‍රී භෝජනයට අසළවූ අවන්හලකට ගොඩවැදුණු ඇගේ දෙනෙත් එක්වරම නතරවූයේ ‘ඔහු‘ වෙතය. මෙවැන්නකට තමා පෙළඹේයැයි කිසි දිනක නොඇදහු ලෙවින්ස්කි ‘ඔහු‘ හමුවට ගොස් කතා කළේ විශ්වාසයකින් තොරවය. කිසිදා මුහුණට මුහුණ හමුව නොතිබුණද අසා හා දැක තිබු දේ ඇසුරින් තමා කළ හඳුනාගැනීම නිවැරදි බැව් ඇයට තහවුරුවූයේ තමා ‘කෙන් ස්ටාර්‘ ලෙස ඔහු තමා හඳුන්වා දුන් විටය. කෙන් ස්ටාර් යනු බිල් ක්ලින්ටන් ජනපතිවරයා බලයෙන් පහා කිරීම දක්වා අන්තයකට රට ගෙන ගිය ආන්දෝලනයට මුල්වූ ‘ස්ටාර් විමර්ශනයේ‘ පුරෝගාමියා ය.
“අපි දෙන්නගේ ප්‍රේමයේ අපවාදය ජාත්‍යන්තරය හමුවට ආවේ ඔහු නිසයි…එතකොට මගේ වයස අවුරුදු 22යි. මගේ ජිවිතේ අපායක් කළේ ඔහුයි…අපි දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ගැන ධවල මන්දිර නිලධාරියකු වූ කෙන් ස්ටාර්ගේ කාර්ය මණ්ඩලයට ඒ සඳහා එෆ්.බී. අයි. ආයතනයේ සහාය නොමඳව ලැබුණු ලැබුනා කියලා මට මතකයි.. මාව පෙන්ටගනය අසළවූ හෝටලයකට බලහත්කාරයෙන් අරගෙන ගිහින් විමර්ශයට සහාය නොදැක්වුවහොත් වසර විසිහතක් සිරගෙට යවන බවට තර්ජනය කළා..”
ඇය එසේ කියන්නීය.
ක්ලින්ටන් ජනපති ධුරයෙන් පහ කිරීමට ඔහු ගෙන ආ චෝදනා වූයේ අධිකරණයට බාධා කිරීම හා ලෙවින්ස්කි සමඟ අනියම් සම්බන්ධයක් පැවැත් වූයේ නැති බව කියමින් ජනපති ලෙස දුන් දිවුරුමට බොරු කිරීමය. ඔහු සිය ආධිපත්‍යයෙන් ත්‍රස්ත කළේ ලෙවින්ස්කි පමණක් නොවේ. ඔහු ඇගේ මව, පියා, නැන්දණිය ඇතුලු පවුලේ සාමාජිකයින්ද එම අපවාදයේ ශාපයට ඇද දැමුවේය. එවන් කඨෝර පුද්ගලයකු ‘මනුෂ්‍ය ජිවියකු‘ ලෙස ලෙවින්ස්කි පළමුවරට හඳුනා ගත්තේ එදිනය. ඒ එදින කෙන් ස්ටාර්ද එහි පැමිණ සිටියේ ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ බැවිනි. විසි වසරකට පෙර සිදුවූ දෙය ගැන කණගාටුව පළ කරන බවක් ඇඟවූවද කෙන් ස්ටාර් කිසිවිටෙක ලෙවින්ස්කිගෙන් සමාව ඉල්ලා සිටියේ නැත. විසි වසරකට පෙර සිටි කෙන් ස්ටාර්ට වඩා අද සිටින කෙන් ස්ටාර්ගේ වැඩි වෙනසක් සිදුව නැති බව ඇය වටහා ගත්තාය. නමුත් එදා බියෙන් හා ලජ්ජාවෙන් ලෝකයෙන් මුලුගැන්වුණු මොනිකා ලෙවින්ස්කිට වඩා අද එම අපවාදයෙන් පන්නරය ලබා, එහි අලු දූලි මතින් නැඟී සිටින මොනිකා ලෙවින්ස්කි බෙහෙවින් ශක්තිමත් බව එම සිදුවීම ඇයට අවබෝධ කෙරෙව්වාය. එම ශක්තිය ඇයට ලබා දුන්නේ ‘සැටනික් වර්සස්‘ ලියා මරණ තර්ජනයට ලක්වූ සුප්‍රකට සම්මානනීය ලේඛක ‘සල්මන් රුෂ්ඩිගේ‘ දැක්මය.
“තමාගේ ජිවිතය පුරා බල පවත්නා කතාව මතත්, එය යළි පැවසීමටත්, ඒ ගැන නවතාවයකින් සිතන්නටත්, එය බිඳ දමන්නටත්, ඒ දෙස උපහාසයෙන් බලන්නටත්, කාලයත් සමඟ එය වෙනස් කිරීමටත් බලයක් නැත්තෝ සැබවින්ම දුර්වලයන් ය. මොකද එයාලට බැහැ අලුතින් දෙයක් හිතන්න“
විසි වසරක් ලෙවින්ස්කි ගතකළේ මෙම සත්‍යතාව පිළිගනිමින් එය සිය ජීවිතයට බද්ධ කරගැනීමටය. එය ඇයට කිසිසේත් පහසු නොවීය. මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීම හා කොන්කිරීමට ලක්වීම නිසාවෙන් ඇය අත්විඳි චෛතසික කම්පනය ඇය ‘පශ්චාත් කම්පන ආතතිමය සංකූලතාවේ‘ ගොදුරක් බවට පත් කළේය. නමුත් එම මානසික රෝගයත් සමඟ ඇය අත්විඳි කම්පනය ජාතික වශයෙන් ඇමරිකාව අත්විඳි කම්පනයක ක්ෂුද්‍ර නියෝජනයක් විය. ඉන් විසි වසරකට පසු ජනපති ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ගෙවෙන දෙවන වසරේදී ඇමරිකාව මුහුණ දෙමින් සිටින තත්ත්වයේ එදාට වඩා වැඩි වෙනසක් සිදුව නැත. එකම දෙය එදා ක්ලින්ටන්-ලෙවින්ස්කි අපවාදයෙන් ඇති කළ කම්පනය තරම් කම්පනයක් අද ‘බිල් කොස්බි-අයිල්ස්-ඕ රෙයිලි-වෙයින්ස්ටයින් හා ස්පේසි‘ යන පුද්ගලයන් කේන්ද්‍රකරගත් ලිංගික අපචාරවලින් පිරිපුන් මෙකල ඇති නොවීමය.
වෙබ් අඩවි ජාල හඳුන්වාදී වසර පහකට වඩා ගතව නොතිබුණු එම යුගයේදී ලෙවින්ස්කි-ක්ලින්ටන් අපවාදය අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමට තීරණය කළේ නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන් පාක්ෂික අධිකරණ කමිටුව විසිනි. එවිට කෙන් ස්ටාර් කොමිසම විසින් එකී තොරතුරු ඔවුන් අතට පත්කොට ගතව තිබුණේ දෙදිනක් පමණි. අන්තර්ජාලය නැතිව වුවද ඒ වන විටත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරුණු හා මතවාදත්, ප්‍රවෘත්ති හා ඕපාදූපත්, පෞද්ගලිකත්වය හා මඩගැසීමත් අතර වෙනසක් නැතිවන තරමට සත්‍ය විකෘතිකොට තිබිණි. එහෙව් තත්ත්වයකදී මෝඩමයක් ඇති ඕනෑම අයකුට අන්තර්ජාලයට පිවිස තමාගේ අතිශයින්ම පෞද්ගලික ‘කුණු කන්දල්‘ බාගත කිරීමට ලැබීම ලෙවින්ස්කිට ගෙනදුන් කම්පනය අමුතුවෙන් කිව යුතු නොවේ. සිය සැමියාගේ අනඟ රැඟුම් එළිවත්දී හිටපු රාජ්‍ය ලේකම්වරියවූ හිලරි ක්ලින්ටන් ආත්ම ගරුත්වය රැකගත්තේ එම සමස්ත සිදුවීම ‘දක්ෂිණාංශිකයන්ගේ දැවැන්ත කුමන්ත්‍රණයක්‘ ලෙස හුවා දක්වමිනි.
ඉන් අනතුරුව ගෙවුණු දශක දෙකක කාලය ලෙවින්ස්කි ගතකළේ බිඳී විසිරුණු ආත්මය සුවපත් කර ගැනීමටය. පවුලේ සාමාජිකයින්ගේ හා මිත්‍ර සහාය කොතෙකුත් ලැබුණද ඇයට දැණුනේ පුදුමාකාර තනිකමකි. ඊට ප්‍රධානම හේතුව වූයේ එම වේදනාකාරී සිදුවීමට මුල්වූ, කලකදී ඇය සමඟ අතිශයින්ම සමීප ලෙස සබඳකමක් ගෙනගිය එම පුද්ගලයාද ඇය අත්හැර දැමීමය. මෙබදු සිදුවීමකදී හුදකලා කිරීම යනු පැමිණිලිකාර පාර්ශ්වය සතු ප්‍රබලම අවියකි. එසේ වුවද මෙම සිද්ධිය අද වැනි කාලයක සිදුවූවා නම් තමා මෙතරම් හුදකලා නොවන බැව් ලෙවින්ස්කිට විශ්වාස ය. ඒ ‘MeToo’ ව්‍යාපෘතියත් සමඟ ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාවන් අප්‍රමාණ සංඛ්‍යාවක් එකිනෙකාගේ සහාය පතා පෙරට පැමිණෙන්නට පටන් ගැනීමෙන් ඇතිව තිබෙන ප්‍රබෝධය නිසාවෙනි. එලෙස විශාල පිරිසක් තම තමන්ගේ කතා ප්‍රසිද්ධියේ බෙදාහදා ගැනීමට ඉදිරිපත්වීම නිසා එය මහජන මතයක් ගොඩනැඟීම දක්වා දුරදිග යාමට ඉවහල්ව තිබේ. පසුගිය දිනකදී ‘MeToo’ ව්‍යාපාරයට පුරෝගාමී වූ කාන්තා නායිකාවක විසින් ලෙවින්ස්කිට එදා විඳි තනිකම පිළිබඳව අවංකවම කණගාටුව පළකොට තිබුණාය. එදා 1998 වසරේදී තමාට පිළිලයක් වූ අන්තර්ජාලයේම සුළුදරුවකු බඳුවූ සමාජ මාධ්‍ය ජාල අදවන විට තමා වැනි මිලියන සංඛ්‍යාවක්වූ කාන්තාවන්ගේ ගැලවුම්කරුවකු බවට පත්ව තිබීම ලෙවින්ස්කි දකින්නේ ජයග්‍රහණයක් ලෙසය. අද සමාජ මාධ්‍ය ජාල සතු මෙම බලය ඇය හඳුන්වන්නේ එදා තමා වැනි වින්දිතයන්ට අහිමි, එහෙත් ජනපති හා ඔහුගේ අතකොලුවලටත්, කොංග්‍රසයටත්, අභිචෝදකයින්ට හා මාධ්‍යවලට සීමා වූවක් ලෙසය.
‘MeToo’ ව්‍යාපෘතිය හුදෙක් ලිංගික අපයෝජනයන්ට ගොදුරුවූ කාන්තාවන් නියෝජනය කෙරෙන්නක් වන බැවින් ලෙවින්ස්කිගේ ධවල මන්දිර අත්දැකීමට එහි තැනක් නැති බව ඇතමුන්ගේ අදහසයි. නමුත් ලෙවින්ස්කි පවසන පරිදි එය ‘බලයෙන් අයුතු ලෙස අයථා ප්‍රයෝජන ගැනීමක්‘ බව ප්‍රතික්ෂේප කළ නොහැක. 2014 වසරේදි ප්‍රථම වරට ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරමින් ඇය තරයේම කියා සිටියේ බිල් ක්ලින්ටන් හා තමා අතර වූයේ දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව හටගත් සම්බන්ධයක් බවයි. අපයෝජනයක් සිදුවූවා නම් එය සිදුවූයේ සියල්ල හෙළි වීමෙන් පසු ඔහුගේ තනතුර හා තත්ත්වය රැක ගැනීමේ අරමුණින් ඇය පිට වරද පැටවීමේදීය. ‘MeToo’ නිසා නොවේ නම් හතළිස්හතර වන වියේදී වුවද එම සිදුවීම සම්බන්ධයෙන් තමාගේ මතය වෙනස් නොවන්නට බෙහෙවින් ඉඩ තිබූ බව ඇය පිළිගන්නීය. දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව එවැනි සම්බන්ධයක් ඇතිවු බව ඇය කියා තිබිණි. නමුත් ලොව ප්‍රබලම ජනපතිවරයා හා සිය පළමු රැකියාව ලෙස ධවල මන්දිරයේ සේවයට පැමිණි තමා අතර තත්ත්වයෙන් හා බලතලවලින් තිබු අහසට පොළව වන්වූ පරතරය, ඇගේ පාර්ශ්වයෙන් එකඟතාවක අවශ්‍යතාව නිෂේධ කරන්නට ඇති බවද ඇය පිළිගන්නීය.
‘MeToo’ යනු මොනිකා ලෙවින්ස්කි වැනි පුරුෂාධිපත්‍යය විසින් යට ගසන්නට උත්සාහ කළ දහස් සංඛ්‍යාත කාන්තාවන්ගේ නැඟී සිටීමේ සංකේතයකි. එය එලෙස බලහත්කාරයෙන් නිහඬ කෙරූ ඇය වැනි කාන්තාවන්ගේ එඩිතර ආත්ම ශක්තියේ හඬයි. ‘MeToo’ හි නැඟි සිටිම මෙම පුරාණ මෙක්සිකානු කියමනේ සත්‍යතාව කදිමට ඔප්පු කරන්නකි.
“ඔවුන් අප වළලන්නට උත්සාහ කළා. නමුත් එයාලා දැනන් හිටියේ නැහැ අපි රෝපණය වන්නට පෙරුම් පුරන බීජ කියලා“