වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවීම සමග සමස්ත ආසාදිතයින් ගණන 417ට නගී

Spread the love

Covid-19 ආසාදිතයින් 49 දෙනකු අද (24) දින හදුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 417 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ප.ව 22:04ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

එහි සදහන් වන ආකාරයට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 300 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 183 දෙනෙක් වේ. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 109ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (24) දින ප.ව 19.15ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ අද දින හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 11 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් අතරින් ද 30 දෙනකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවිකයින් අතරින් ද 05 දෙනකු වැලිසිර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් සිටි නාවිකයින් අතරින් ද වාර්තා වූ බවයි. එම නාවික නිලධාරීන් පදිංචි ප්‍රදේශ වන්නේ රත්නපුර හිදිල්ල කන්ද, පොල්ගහවෙල උඩපොළ, කරුණෑගල කීනියාපොළ, ගිරාදුරුකෝට්ටේ පහළ රත්කිද, දඹුල්ල අතබෝධිවැවයි. තවත් ආසාදිතයෙකු මරදානේ පදිංචිකාරියක වන අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.