ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස එම කොමිසම මගින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි, කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ අනුව එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි මිහින් ලංකා ආරම්භක අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයකු වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගෝස්‌තු 29 දින කොමිසම හමුවට කැඳවා ඇත.
සජින් වාස් ගුණවර්ධන මහතා අගෝස්‌තු 24 දිනද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් අගෝස්‌තු 23 දිනද කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස කොමිසම විසින් දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව සජින් ද වාස් ගුණවර්ධන මහතාද මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයකු විය. එම දෙදෙනාට අමතරව ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා (හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්) සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුද මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ඇතුළත් විය.
සමාගම් රෙජිස්‌ට්‍රාර් ජනරාල් නිහාල් රන්ජන් සිරිවර්ධන මහතා ඉකුත් ජුනි 12 දින කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ සහ සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරුන් මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රථම අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ඇතුළත් වූ බව ප්‍රකාශ කළේය. එසේම එම මුල් අධ්‍යක්‍ෂවරු පත් කිරීම සඳහා රජයේ අනුමත ලේඛනයක් සමාගම් රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ඉදිරිපත්ව නොතිබූ බවද සමාගම් රෙජිස්‌ට්‍රාර්වරයා කොමිසම හමුවේ පිළිගත්තේය.
ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රථම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පත් කිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳවද කොමිසමේ අවධානයට ලක් විය.
එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ගණනාවකගේම සාක්‍ෂි මගින් එම සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ නම් කොමිසම හමුවේ සාක්‍ෂි මඟින් හෙළිදරව් විය.
ශ්‍රී ලංකන්-මිහින් ලංකා කොමිසමට ගෝඨා , සජින්, නිශාන්ත සහ කපිලට නොතීසි
