ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වයා කැපිටල් පාර්ට්‌නර්ස් සමාගමත් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් නොකළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය ඊයේ (12) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.
එම ගිවිසුම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය හමුවට ඉදිරිපත් නොවූවත් එම සමාගම පසුව ඉදිරි පත් කළ ව්‍යාපාරික සැලැස්‌මට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුමැතිය ලැබුණු බව ද තිරුකුමාර් මහත්මිය කීවාය.
කොමිසමේ ඊයේ (12) පැවති සාක්‍ෂි විභාගයේදී රජයේ නීතිඥයා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වයා කැපිටල් පාර්ට්‌නර්ස් සමාගම අතර අත්සන් කළ ගිවිසුම ඊයේ කොමිසම හමුවට ඉදිරිපත් කළ අතර එය උපදේශක සේවා ලබාගැනීමට අත්සන් කළ ගිවිසුමක් බව ද තිරුකුමාර් මහත්මිය කීවාය.
ඉන්ට විස්‌ටා නම් සමාගම මේ ගිවිසුමේ පාර්ශ්වකරුවකු නොවන බව ද අදාළ ගිවිසුම සාක්‍ෂිකාරියට ඉදිරිපත් කරමින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය පැවසුවාය.
එම ව්‍යාපාරික සැලැස්‌ම සකස් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 450,000 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වයා කැපිටල් පාට්‌නර්ස් සමාගමට ගෙවා ඇති බව ද එසේම ඊට පෙර එස්. ඒ. චන්ද්‍රසේකර මහතා සකස් කළ ව්‍යාපාරික සැලසුම වෙනුවෙන් ගෙවන ලද්දේ මසකට රු. 250,000 බැගින් මාස තුනක් සඳහා රු. 750,000 ක මුදලක් බව ද සාක්‍ෂිකාරිය කීවාය.
එම කාර්යය සඳහා එස්. ඒ. චන්ද්‍රසේකර මහතා මුලින් පත්කර ඒ සඳහා අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ලබාගෙන තිබුණේ පසුව බව ද කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාරිය පිළිගත්තාය.