සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන  වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Spread the love

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු ඊට පාදක කරගත යුතු යැයි  ද ජනාධිපතිවරයා පැවසීය.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සමෘද්ධි ප්‍රතිලාභ සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 50,000කි. එම මුදල රටට ආයෝජනයක් විය යුතුය. සමෘද්ධිලාභී සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එහිදී නිසි පසුවිපරමක අවශ්‍යතාව ද ජනාධිපතිරයා පෙන්වා දුන්නේය.

සවිබල ගැන්වූ සමෘද්ධි ප්‍රතිලාභියා සමෘද්ධි වැඩසටහන හා තබා ගනිමින් රටට ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලින් ප්‍රතිලාභ දීමට නම් නියාමනය අනිවාර්ය වේ. මූල්‍ය සාක්ෂරතාව අවබෝධකර ගැනීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වැදගත් කාර්ය භාරයකි. සමාජ වෙනසකට ජනතාව තුළ උද්යෝගයක් ඇතිව තිබෙන පසුබිම ගෘහ ආර්ථිකය දියුණු කිරීමට පාදක කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වැනි අභියෝගකාරි තත්වයකට මුහුණදුන් ජනතාවට සිය ආර්ථිකය නංවා ගැනීම වෙනුවෙන් බැංකු විසින් සහනදායී වැඩසටහන් හදුන්වාදීමේ වැදගත්කම  පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතාවට මෙන්ම රටටද යහපත් ආර්ථිකයක් උදාකර ගත හැක්කේ එවිට බව කියා සිටියේය.

“සමෘද්ධිය” සැබවින්ම හිමිවිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළයුතුයැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය නිරවුල් කර දීම වහාම ඇරඹිය යුතුව ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පොල්, අඹ, කොස් වැනි බෝග වගාව අරඹා ගෘහ ආර්ථිකය දියුණු කිරීම ආරම්භ කළ යුතු බව  ජනාධිපතිතුමා පැවසීය. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබාදීම කඩිනමින් කළයුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු, රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.