සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු.. කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…

සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු..  කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…
Spread the love

යුද්ධය සෑම අතින්ම මානව සමාජයට ගෙන එනුයේ පරාජයන් ය.

කිසිවිටෙක යුද්ධයෙන් ජයග්‍රහණයක් කුමන හෝ පාර්ශවයකට අත්වීමක් සිදුවන්නේ නැත. යුද්ධයේ අවසානයක් දැකිය හැකි වුවද ජයග්‍රහණයක් දැකිය නොහැකි යයි කියන්නේ එනිසාය.

කෙතරම් අශිෂ්ඨ වුවද යුද්ධය මානව ඉතිහාසය තුළම නොවැලැක්විය හැකි සංසිද්ධියක් නිසා ලෝක මානුෂවදීන් යම් තරමකට හෝ යුද්ධය ශිෂ්ඨ රාමුවකට අන්තර්ගත කිරීමේ අභිලාෂයෙන් ක්‍රීඩාවට මෙන්ම යුද්ධයටත් නීති පනවා ගෙන තිබේ. ජිනීවා සම්මුති යනු එකී නීති ය. එහෙත් අවියෙන් සහ ප්‍රග්ධනයෙන් බලවත් වූ කිසිවෙකුට එකී නීති අදාළ වන බවක් නොපෙනේ. මේ මොහොතේ මානව විමුක්තිය උදෙසා අරගල කරන මානුෂවදීන් මුහුණ දෙන ඛේදවාචකයන්ගෙන් එකක් වන්නේ එයයි. ඒ බැව් තහවුරු කරමින් ඊශ්‍රායල් – පලස්තීන යුධ ගැටුම් ඉතිහාසයට තවත් ඛේදනීය මතකයක් පසුගිය දා එක් කෙරින. ගාසා තීරයේ යුධ ගැටුම් මැද තුවාල කරුවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සහන සේවා කටයුතු වල නිරත වූ රසාන් අල් නජාර් නම් පලස්තීන ජාතික තරුණිය ඊශ්‍රායල් හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. මේ බැව් ලෝක ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තාක්ෂණයේ දියුණුව සහ ශිෂ්ඨාචාරයේ දිශානතිය පිළිබඳව නැවත වටයකින් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

                          ගාසා තීරයේදී තුවාලකරුවන් වෙත ප්‍රතිකාර සේවා කටයුතු වල නිරතව සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරයෙන්  මියගිය රසාන් අල් නජාර් 

එහෙත් මීට පෙර සෑම යුද්ධයකදී මෙන්ම අනාගතයේ ඇතිවන සෑම යුද්ධයකදීම මෙලස තව තවත් මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වනු ඇත. ලෝක මානුෂවාදී ප්‍රජාව පෙර පරිදිම හඬ නගනු ඇත. එහෙත් ප්‍රතිඵලයෙහි වෙනසක් වනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කල හැකිද? අප ද යුද්ධය පිළිබඳව අඳුරු ඉතිහාසයක් ඇති රටකි. යුද්ධයේ ප්‍රතිපලයන් පිළිබඳව අප ජාතියක් ලෙස විග්‍රහ කරන්නේ පුදුම සහගත ආකාරයකටය. 71 භීෂණ සමයේ කතරගම රූමතිය නමින් ප්‍රචලිත වූ ප්‍රේමවතී මනම්පේරී ඝාතනය දකුණේ සිංහල සමාජය මහා ඛේදවාචකයක් ලෙස පිළිගන්නා අතරම උතුරේ ඊළාම් යුධ භීෂණයෙන් ඝාතනය වූ ඉසිප්‍රියා නම් තරුණ ගායිකාව සහ නිවේදිකාව පිළිබඳව කිසිඳු සංවේදීතාවයකින් තොරව එකී ඝාතනය සාධාරණීකරණය කිරීමට කරුණු ගෙනහැර දක්වයි. එකී ඝාතනය තුළ මානව ධර්මතා උල්ලංඝනය වී ඇති බවක් වත් නොපිළිගනී. එමෙන්ම 88/89 භීෂණ සමයේ ඇඹිලිපිටියේ සිදු වූ සිසු ඝාතනය සම්බන්ධව මහා සංවේදීතාවක් දක්වන දකුණේ සමාජය 2007 ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු වූ සිසු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවාට පවා මහා පරිමාණ ප්‍රතිරෝධයක් දක්වයි. මේ පරස්පරතාවයන් ගෙන් ගම්‍යවන්නේ කුමක් ද? අප සමාජයක් ලෙස මානව ධර්මතා දේශපාලනික වුවමනා වෙනුවෙන් හිලව් කරන අවස්ථාවාදී අසංස්කෘතික සමාජයක් බැව් නොවේද?

    1983 දී ජාතිවාදී ගිනි අවුළුවන මැරයින් පිරිසක් 

සිරියානු සරණාගත ප්‍රජාව රටින් පලා යද්දී මහ මුහුදට බිලිවූ කුඩා දරුවකු ගේ හැඩ සසල කරවන ඡායාරූපය මෙන්ම ඊළාම් යුද්ධයේ ගොදුරක් බවට පත්වූ දහස් ගණන් සිංහල මායිම් ගම්මාන දරුවන් ද උතුරේ යුධ ගම්මාන වල දරුවන් ද අවසානයේ වැඩිහිටියන්ගේ යුද්ධයේ ගොදුරක් වූ බාලචන්ද්‍රන් දරුවා ද ලෝකය වෙලාගෙන ඇති එකම අමානුෂික ඛේදවාචකයක ගොදුරුය. මේ ඝාතනයන් එකක්වත් කිසිවෙකුට කිසිඳු හේතුවක් නිසා සාධාරණීකරණය කල නොහැක. කිසිවෙකුට යුද්ධයක් මානුෂීය යුද්ධයක් ලෙස නාමකරණය කල නොහැක. එසේ කරනවා නම් එය බල දේශපාලනික තක්කඩිකමට සිදුකරන්නක්ම පමණි. බටහිර වුවද, පෙරදිග වුවද සංවර්ධිත වුවද එසේ නොවුන ද රටක දේශපාලන තක්කඩිකම් වල පවතින රුදුරු බව නිසා එකී සෑම සමාජයකම පීඩා විඳින්නෝ අහිංසක පුරවැසි ප්‍රජවෝය. බල දේශපාලනයේ ගොදුරු බවට පත්වන්නෝ සෑම විටම හඬක් නැති මිනිසුන්මය.  මානව ඉතිහාසය පුරාම එවැනි බහුතරයක් පුරවැසියෝ අසාධාරණ බල කාමයට සහ ප්‍රාග්ධන වුවමනාවන්ට ගොදුරක්ව හඬක් නොනගාම පොළොවට පස් වී ගියහ. මේ පවතින ලෝක දේශපාලනික යථාර්ථය තුළ ඉදිරියටත් එසේම වනු ඇත. ලොව බොහෝ සමාජයන් තමාට වෙන අසාධාරණ කෙරෙහි සංවේදී වුවද ශ්‍රි ලංකාවේ සමාජය මෙන්ම අනෙකා ගේ පීඩාව සාධාරණීකරණය කරමින් මෙකී චක්‍රාකාර ලෝක පැවැත්ම පවත්වාගෙන යනු ඇත.

                                                                                                             ආදරය අයදින මැදපෙරදිග දරුවන්

එකී බලදේශපාලනික තක්කඩිකම් මානව විමුක්තියේ නාමයෙන් පරාජය කිරීමට ඇති එකම විකල්පය ආදරයම පමණි. ඒ ආදරය කොන්දේසි විරහිත කැරලිකාර ආදරයක් විය යුතුය. ලංකාවේ සමාජයට ද පලස්තීන සමාජයට ද ඊශ්‍රායල් සමාජය ට ද ලොව අන් කොතැනක සමාජයකට ද එය පොදු සාධකයකි. යුද්ධය තුළ අත්දකින තාවකාලික වීරත්වය මිත්‍යාවක් බවත් සැබෑ වීරත්වය ඇත්තේ කොන්දේසි විරහිතව ජාතීන් අතර පතුරුවන ආදරයම තුළ පමණක් බවත් තේරුම් ගන්නා සංස්කෘතික සමාජයන් ලොව සෑම තැනකම බිහිවීමට අවශ්‍ය මුළු මහත් සමස්ත සමාජ දේහයම වසා ගන්නා උත්තුංග ආදරයක් වෙනුවෙන් ආදරණීය සමාජ අරගලකරුවන් එක පෙළට පෙළ ගැසී කැරලි ගැසිය යුත්තේ එබැවිනි. එය මානව ප්‍රේමයේ නාමයෙන් අවංකව කැපවූ  අනවරත අරගලයක් විය යුතුය.