සිංගප්පූරුවේ ආර්ථිකය බිද වැටෙයි !

සිංගප්පූරුවේ ආර්ථිකය බිද වැටෙයි !
Spread the love

කොරෝනාවෛරස තත්ත්වය මැද රට මාස තුනකට අධික කාලයක් අගුලු දමා තැබීම ව්‍යාපාරික අංශයට මෙන්ම සිල්ලරට මිළදී ගැනීම් සඳහා කෙරෙන වියදම් කෙරෙහි ද බලපෑම හේතුවෙන් සිංගප්පූරුවේ ආර්ථිකය හදිසි කඩා වැටීමකට ලක්ව ඇත.

කොරෝනාවෛරසයට ගොදුරුවීමට පෙර මාස හතර සමඟ සාපේක්‍ෂව බලනවිට ගතවූ මාස තුන ඇතුළත සිංගප්පූරු ආර්ථික වර්ධන වේගය 41.2% කින් හැකිළී ඇත. මෙය එරට ඉතිහාසයේ දරුණුම ආර්ථික හැකිළීමය.

1965 වසරේ මැලේසියාවෙන් නිදහස ලැබීමෙන් අනතුරුව සිංගප්පූරුව මුහුණ දෙන බරපතළම ආර්ථික අවපාතය මෙය වනු ඇතැයි බලධාරීහු අනාවැකි පළකරති.

කොරෝනාවෛරස් බලපෑමෙන් ලෝක මට්ටමින් සිදුවෙමින් පවතින ආර්ථික පල්ලම් බැසීමේ බරපතලභාවය එම සංඛ්‍යා තොරතුරු මගින් අනාවරණය වේ.

සිංගප්පූරු ආර්ථිකයේ දෙවැනි කාර්තුව (අප්‍රියෙල්-මැයි-ජූනි) තුළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 12.6% ක අනුපාතයකින් හැකිළී ඇතිබව නිල සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරේ.

කොරෝනා වසංගතය හමුවේ වසා දමන ලද (lockdown) බොහෝ අර්ථක්‍රම අතරින්, එම කාලයට අදාළව ආර්ථික ක්‍ෂේත්‍රයෙහි තොරතුරු ප්‍රකාශයට පත්කරන ලද පළමු රටවල් අතරට සිංගප්පූරු පාලනය ද එක්වේ. එරට බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති සංඛ්‍යා දත්ත තොරතුරු මගින් ලෝකය පුරා වසංගතයට ගොදුරු වී ඇති අර්ථක්‍රමයන් කෙරෙහි, පවතින ව්‍යසනය බලපා ඇති අන්දම පෙන්නුම් කෙරේ.

පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්‍ෂව මේ වසරේ පළමු මාස තුන ඇතුළත දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2.2%කින් ද, පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්‍ෂව මේ වසරේ පළමු මාස තුන ඇතුළත මූල්‍ය ආදායම් 10.6 කින් ද බලාපොරොත්තු වූ මට්ටමට වඩා දරුණු අවපාතයකට ලක්ව ඇත.

ඉහත පරිදි ආර්ථික පසුබෑම මගින් පෙන්නුම් කෙරෙන්නේ, කොරෝනා වසංගතය ආසියාවේ සෙසු ඊට සමාන අර්ථක්‍රම පවතින රටවලට වඩා සිංගප්පූරු ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩකඩ පවතින බවය.

ලෝක වෙළෙඳාමේ හදිසි කඩාවැටීම සිංගප්පූරු අපනයන පදනම් කරගත් නිෂ්පාදන ආර්ථිකයට මරු පහරකි.ඒ අතරම, එරට ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු ඇණහිට ඇති අතර, සිල්ලර වෙළෙඳුන්ගේ අලෙවිකිරීම් පහත වැටී ඇත්තේ වාර්තාගත මුහුණුවරකිනි.

කලාපයේ වෙනත් රටවල් විමසන විට වසරේ පළමු මාස තුනෙන් අනතුරුව එළැඹි දෙවැනි කාර්තුවෙහි ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 20% කින් හැකිළෙමින් පවතින ආකාරයක් දක්නට ලැබේ. එහෙත් මේ සතියේ ප්‍රකාශිත සංඛ්‍යා දත්ත තොරතුරු අනුව චීනයේ ආර්ථිකය නැවත සංවර්ධන දිශානතියකට අවතීර්ණවීමක් පෙන්නුම් කරනවා විය හැකිය.

සිංගප්පූරුවේ ප්‍රකාශිත ආර්ථික තොරතුරු එරට පාලක ‘මහජන ක්‍රියාකාරී පක්‍ෂය’ (People’s Action Party) කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. මෙයින් වසර 55කට පෙර නිදහස දිනාගනු ලැබීමෙන් අනතුරුව අත්දුටු දුර්වලම මහමැතිවරණ ප්‍රතිඵලයට මුහුණදීමට එම පක්ෂයට පසුගිය සතියේ සිදුවිය.

මේ වනවිට දුෂ්කර අරගලයකට මැදි වී සිටින රටේ ව්‍යාපාරික අංශය සහ කුටුම්භ සඳහා ආධාර වශයෙන් සිංගප්පූරු ඩොලර් කෝටි 6700 ක් පමණ, එසේත් නැත්නම් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට ආසන්න මූල්‍ය සම්පාදනය කිරීමේ ආර්ථික උත්තේජක විධිවිධාන ක්‍රියාවට නැංවීමට රජය දැනටමත් ප්‍රතිඥා දී ඇත.

සිංගප්පුරුවේ බල පැවැත්වුණු අගුලුදැමීම් (lockdown) ළිහිල් කිරීම පසුගිය ජූනි 01 දින ආරම්භ විය.

ඒ අනුව එරට ආර්ථිකය යළි විවෘත කිරීමේ දෙවැනි අදියර ජූනි 19 දිනෙන් පටන් ගැනිණි. එම නව විධිවිධාන අනුව සමාජ දුරස්ථභාවය තවදුරටත් බල පැවැත්වෙතත්, බොහෝ වෙළෙඳසල් සහ ආපනශාලාවලට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලැබී ඇත.

Text by – bbc sandesaya