සිගප්පූරුවේ අයවැය අතිරික්තයක්… ජනතාවට බෝනස්

සිගප්පූරුවේ අයවැය අතිරික්තයක්… ජනතාවට බෝනස්
Spread the love

 

2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එක්වරක් පමණක් ගෙවන බෝනසක් මුදලක් ලෙස ප්‍රදානය කෙරෙන මෙය විශේෂ අවස්ථාවන්ට ලබාදෙන මූල්‍ය ත්‍යාගයක් ලෙස මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කෙඊට් විසින් හඳුන්වා දී තිබේ.සිංගප්පූරු සංවර්ධනයේ ඵල සිංගප්පූරුවේ වෙසෙන ජනතාව සමග බෙදාහදා ගැනීමට රජය දක්වන දීර්ඝ කාලීන කැපවීම මේ තුළින් පිළිබිඹු වන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

විශේෂ බෝනස් මුදල ලබාදීම සඳහා සිංගප්පූරු රජය සිංගප්පූරු ඩොලර් මිලියන 700ක මුදලක් වැය කිරීමට සූදානම් වන අතර, එය ලබාදීමේදී ඊට සුදුසුකම් ලබන සිංගප්පූරු වැසියන්ගේ තක්සේරු කළ ආදායම් තත්ත්වයට සමානුපාතිකව බෝනස් ලබාදීමටද සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, සිංගප්පූරු ඩොලර් 28,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන පුද්ගලයන් සි.ඩොලර් 300 සම්පූර්ණ බෝනස් මුදල ලැබීමට සුදුසුකම් ලබන අතර, සි.ඩොලර් 28,000 සිට 100,000 දක්වා ආදායම් ලබන පුද්ගලයන්ට හිමිවන්නේ සි.ඩොලර් 200ක බෝනස් මුදලකි. මේ අතර, සි.ඩොලර් 100,000 ට වඩා වැඩි ආදායම් ලබන පිරිස් සි.ඩොලර් 100ක බෝනස් මුදලකට හිමිකම් කියයි. ඒ අනුව, සමස්තයක් ලෙස මිලියන 2.7ක ජනතාවක් 2018 වසර අවසානයේදී මෙම බෝනස් මුදල්වලට හිමිකම් කියනු ඇති බව සඳහන් වෙයි.

ජනතාවට බෝනස් ලබාදීමට අමතරව සිංගප්පූරු රජය සිය අයවැය අතිරික්තයෙන් සි.ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් සංවර්ධන අරමුදලට බැර කරමින්, එරට ඉදිකිරීමට යන නව දුම්රිය මාර්ගය සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙයි.එමෙන්ම, තවත් සි.ඩොලර් බිලියන 2ක් එරට වෙසෙන වැඩිහිටි සහ බරපතළ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් රැකබලා ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකම් වෙනුවෙන් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් සඳහා බැර කිරීමට සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.