හෙරොයින් ග‍්‍රෑම් 8.1 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන මොහොමඞ් වකිම් මොහොමඞ් සිද්ධික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් පස්‌දෙනෙකු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (13) නියෝග කළේය.
වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුව්දී ලබාදුන් සාක්‍ෂිවල ඉතාමත් බරපතල අන්දමේ පරස්‌පර විරෝධතාවයන් පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
2003.02.03 වැනිදා මහරගමදී ජීප් රථයකින් පැමිණි පළමුවන විත්තිකාර මහේෂ් චන්දන නමැත්තා ඇඳ සිටි කලිසමේ සාක්‌කුවක තිබී හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ එක් පොලිස් නිලධාරියකු ලබාදුන් සාක්‍ෂි අනුව පෙනී යන නමුත් අත්අඩංගුවට ගත් ස්‌ථානය පිළිබඳව එම වැටලීමට එක්‌වූ අනෙක් නිලධාරියා පවසා ඇත්තේ ඊට පරිබාහිර ප්‍රදේශයක් ගැන බවද විනිසුරුවරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය. පළමු සැකකරු භාරයේ තිබියදී හෙරොයින් අත්අඩංගුවට ගත්තේ නම් සෙසු විත්තිකරුවන් සිව්දෙනාටත් එකී හෙරොයින් ප්‍රමාණයම සන්තකයේ තබාගැනීමේ චෝදනාවම යටතේ නඩු පවරා ඇත්තේ කුමන පදනමක් මත ද යන කරුණු තම අධිකරණයට වටහා ගැනීමට අසීරු කරුණක් බවද විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එලෙස පළමු වන විත්තිකරු අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය තමන් රැගෙන ගිය කිරුම් උපකරණයෙන් එම ස්‌ථානයේදීම කිරා බලා මුද්‍රා තබා විත්තිකරුගේ ඇඟිලි සලකුණු එම ස්‌ථානයේදී ලබාගත් බව වැටලීමට සහභාගිවූ එක් පොලිස් නිලධාරියෙකු සාක්‍ෂි ලබා දෙමින් පවසා ඇතත් වැටලීමට සහභාගි වූ අනෙක් නිලධාරියා ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කරුණක් බවද අධිකරණය පෙන්වා දුන්නේය. නඩුවට සෘජුවම බලපාන ඉතා වැදගත් කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්‍ෂිවල පවතින බරපතළ පරස්‌පරතාවයක් නිසා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සිය අධිකරණය නිගමනය කරන්නේ යෑයිද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
එවකට කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස රාජකාරි කළ ප්‍රියන්ත ජයකොඩි මහතා හා උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස රාජකාරි කළ චන්දන ගමගේ මහතා විසින් එම වැටලීම සිදුකර තිබූ හෙයින් 2017 වසරේ නඩු විභාගය ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබිණි.
පුංචිහේවා කංකානම්ගේ මහේෂ් චන්දන, පරවසාමි බාලචන්ද්‍රන්, මොහොමඩ් වකිම් මොහොමඩ් සිද්ධීක්, මොහොමඩ් රසීක් මොහොමඩ් ඉර්ස්, මොහොමඩ් තව්ක් මොහොමඩ් වයිනියස් යන විත්තිකරුවන් පස්‌දෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.
නීතීඥ සරත් ඒකනායක, ප්‍රදීප් ගුණතිලක, රංජිත් හීල්ලගේ හා ලක්‍ෂ්මන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්‌ඩලයක් සමඟ ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා විත්තිය නියෝජනය කළේය.