සිරගතව සිටින ඤාණසාර හිමිව තවත් නඩුවකට නොවැම්බර් 5 කැඳවයි

සිරගතව සිටින ඤාණසාර හිමිව තවත් නඩුවකට නොවැම්බර් 5 කැඳවයි
Spread the love

සිර දඬුවම් නියම කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ව ලබන නොවැම්බර් 5 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

2015 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි උප ‍පොලිස් පරීක්ෂකවරයකුට බැන තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ගොනුකර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සැකකාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇතත් මේ දක්වා උපදෙස් ලැබි නොමැති බවද එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යැවීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.