පිපෙන්නේ නැති පොහොට්ටුවටවත් හොර අලියටවත් මේ පාර ජනතා මනාපයක් නෑ – මහින්ද

පිපෙන්නේ නැති පොහොට්ටුවටවත් හොර අලියටවත් මේ පාර ජනතා මනාපයක් නෑ – මහින්ද
Spread the love

ජාතිවාදය කතා කළ නායකයෝ, ජාතිවාදය ඇවිස්සු නායකයෝ ඉතිහාසයේ කුණු බක්කියට ගිහිල්ලා හමාරයි. ඒ කුණු බක්කියට ගිහිල්ලා නැවත ගොඩ එන්න හදන්නේ ජාතිවාදයෙන් නම් කවුරුහරි, එහෙම ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මේ රටේ ජාතිවාදය ජනතාවට අද තිත්ත වෙලා. මේව කතා කරලා ඡන්දෙ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සිංහල ජනතාවත් දෙමළ මුස්ලිම් කිසිම ජනතාවක් ඒ ජාතිවාදය කතා කරන කට්ටියට ඡන්දය දෙන්නේ නැහැ කියන එක අපි ස්ථිර වශයෙන් දන්නවා, යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
මේ මැතිවරණය තිබුණු තත්ත්වය නෙවෙයි දැන්. හැම ගමකටම ගියාම මේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් මම දැක්කා ගිය හැම ගමකම වගේ එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් අපිට එකතු වෙනවා.

මේ ආණ්ඩුවට, මේ ජනාධිපතිතුමාට චෝදනා රාශියක් එල්ල කළා. පට්ටපල් බොරු තමයි දවසින් දවස කියන්න පටන් ගත්තේ. මේ ආණ්ඩුව බලයට පත්වුණාම කිව්වා එල්.ටී.ටී.ඊ. එකට උදවු කරනවා. කොටි සංවිධානය ශක්තිමත් කරනවා කිව්වා. රට බෙදනවා කිව්වා. හමුදා කඳවුරුවලට ගල් ගහනවා කිව්වා එල්.ටී.ටී.ඊ. කාරයෝ ඇවිල්ලා. එල්.ටී.ටී.ඊ. අය ඇවිල්ලා හමුදාවේ අය මරන්න පටන් ගන්නවා කිව්වා. නැවත සංවිධානය වෙනවා කිව්වා. මේ වගේ දවසින් දවස අමූලික බොරු කියන්න ගත්තා. නමුත් අද ජනතාවට ඔප්පු වෙලා තියෙනවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න මේ ආණ්ඩුව තුළ කිසිම දවසක රට බෙදෙන්නේවත් නැවත යුද්ධයක් ඇති වෙන්නේවත් නැති බව.
බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු කණ්ඩායම තමන්ගේ තනතුරුවලින් අයින් වෙලා ශ්‍රී ලනිප ගොඩනැඟුවේ. එහෙම තමයි පක්ෂ ගොඩනැඟෙන්නේ. තනතුරුවලින් ඉවත් වෙලා ගිහිල්ලා මිසක් තනතුරුවලට ලෝබකමේ ඉඳගෙන පක්ෂ ගොඩනඟන්න බැහැ. එහෙම ගොඩනඟපු ඒ පක්ෂය විතරයි සාර්ථක වුණේ. එතැනින් පස්සේ හදපු සියලුම පක්ෂ විනාශ වෙලා ගියා.

අද මේ පක්ෂවලට වෙන්නෙත් ඒ ඉරණමම තමයි. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. ඒ විතරක් නෙවෙයි එහා පැත්තේ ඉන්න යන්න කතා කරන අයත් දන්නවා.
පක්ෂයකට ගිහිල්ලා හොරාට උදවු කළාට මේ පක්ෂයෙන් අයින් වෙලා, ඒ පක්ෂයේ සාමාජිකත්වය ගන්නෙ නැත්තේ ඒ නිසා කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයෙත් විශාල පිරිසක් අපිට එකතු වෙලා. ඒ අය දන්නවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ අයට අනාගතයක් නෑ කියලා. එක්සත් ජාතික පක්ෂය පිරිසුදු නෑ කියලා මේ වෙනකොට ඔප්පු වෙලා හමාරයි. අමාත්‍යාංශ අරගෙන වැඩ කරපු ආකාරය දැක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හරි ආකාරව තමන්ගේ අමාත්‍යාංශ මෙහෙව්වා වගේම ඒවා චෝදනාවට ලක් වුණේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යාංශ කිහිපයක්ම දෝෂදර්ශනයට ලක්වෙලා තියෙනවා. චෝදනා එල්ල වෙලා තියෙනවා. සමහර චෝදනා සත්‍ය වෙමින් යන බවත් අපිට පේන්න තියෙනවා.

අපිට එකතු වෙච්ච යූ.එන්.පී. කට්ටිය කිව්වේ මහ බැංකු බැඳුම්කර සිද්ධියත් එක්ක ලැජ්ජයිලු දැන් ගම්වල ගිහින් යූඑන්පී කියල කියන්න. ඒ නිසා පිරිසුදු නායකයෙක් වෙච්ච මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න බය නැතුව පුළුවන් කිව්වා.