දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි

දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි
Spread the love

පළමු වසරේ  සිට පස්වැනි  ශ්‍රේණිය දක්වා  පන්ති පැවැත්වෙන වසර  1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ  ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත්  නොවීම සහ අබලන්  වීම නිසා   පාසලට  ඇතුළු වු  2018 පළමු  වසරේ දරුවන්ට  මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට  සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.

මෙම දරුවන්ගේ  මව්පියන් හඬා වැටෙමින්  කියා සිටියේ  දහසක්  බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට  ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ  දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. 

1 වසරේ සිට  පස්වැනි වසර  දක්වා  ළමුන්  සියයක්  පමණ ඉගෙන ගන්නා  මෙම පාසලේ ගුරු හිඟයක් නැතත්  ගොඩනැගිලි හිඟය නිසා  මේ තත්ත්වය උදා වී  තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ  පළමුවැනි  දින පාසලට  පැමිණි  දරුවන්ට  තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට  එය වේදනාකාරි සිද්ධියක්  බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට  ඇය කීවේ  මීට පෙර පළමු ශ්‍රේණියේ  පන්ති පැවැත්වුයේ  විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත්  කරන උස් වේදිකාවේ  ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට  අකමැත්ත ප්‍රකාශ  කිරිමත්  සමඟ තමන්ට  දෙමව්පියන් මෙවර  එම ස්‍ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට  දෙම්පියන්ගේ හඬට  සවන් දීමට  සිදු වු බවත් මීට  පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ  දක්ෂතා  නිසා  දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ  සියලුම දුවා දරුවන් පාසලට  ඇතුළත්  වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු  බවයි.

ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා  දෙමව්පියන් පාසලට  තම දරුවන්  ඇතුළත්  කිරිමට  පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.

පවතින ගොඩනැගිලි  හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත්  කර  තිබෙන බවත්  ඉදිරියේ දී  ගොඩනැගිල්ල ලබාදීමට  පොරොන්දු  වී  තිබෙන බවත් ඇය කීවාය. 

අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ  ඉගෙනීම් කටයුතු සිදු කරද්දී  කුහුඹුවන්  දෂ්ට  කරන ආකාරය අපට දැකගැනීමට  හැකිවිය. දෙමව්පියන්  කියා සිටියේ  කවුරුන් හෝ ඉදිරිපත්  ව තම පාසලට  කුඩාවට  හෝ පන්ති  කාමරය සකසා  දෙන ලෙස ඉල්ලීමක්  කරන බවය.