අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ ඊයේ (06දා)දිනය වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන් බවට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ගෙවීගිය මාස 05ක කාලය ඇතුළත රක්‍ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6,600 ක් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවත් පාසල් සිසුන් ලක්‍ෂ 10කට මේ වනවිට සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයට අදාළ රක්‍ෂණ කාඩ්පත ලබාදී තිබෙන අතර, මාර්තු මාසය අවසන්වනවිට සිසුන් ලක්‍ෂ 20ක් දක්වා මෙම කාඩ්පත ලබාදීමට අපේක්‍ෂිත බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්‍ෂා සිසු රක්‍ෂණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාසල් 11,242ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්‍ෂ 45කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්‍ෂණාවරණය හිමිවෙයි.
මේ යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000ක් දක්වාද, රෝහල්ගත වීමකදී රුපියල් 100,000ක් දක්වාද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී රුපියල් 100,000ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විටදී රුපියල් 75,000ක වන්දි මුදලක්ද ලබා දෙයි.
එමෙන්ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 100,000ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50,000 සිට රුපියල් 100,000ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.
දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් පවතී.