නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට

නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට
Spread the love

කොළඹ වරාය 2017 වසරේදී නැව් බහලුම් මිලියන හයයි දශම එකක්‌ (6.1) ඉක්‌මවන ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම නිසා නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ ඇතැයි වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (14දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය.

එහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය,

“මේ වනවිට කොළඹ වරායේ එස්‌. ඒ. ජී. ටී. (SAGT), සී අයි සී ටී (CICT) සහ ඡේ සී ටී (JCT) පර්යන්ත තුනම සමාගම් තුනක්‌ යටතේ මෙහෙයුම් කටයුතු සිදු කර ගෙන යනවා. මේවායින් SAGT සහ CICT පර්යන්ත දෙකෙහි සීයට 85 ක කොටස්‌ පෞද්ගලික සමාගම් දෙකකට අයත් අතර සීයට 15 බැගින් කොටස්‌ වරාය අධිකාරියට අයත්ව පවතිනවා. JCT පර්යන්තයේ සීයට සීයම වරාය අධිකාරියට අයත් වනවා. මේ වනතෙක්‌ සමාගම් තුන වෙන වෙනම බහලුම් කටයුතු සිදු කළත් ඊයේ (14දා) සිට මෙම සමාගම් තුනම ගිවිසුමක්‌ මගින් ඒකාබද්ධ වී බහලුම් කටයුතු සිදු කරනවා.

රාජ්‍ය පෞද්ගලික ගිවිසුම් යටතේ 1989 වසරේදී කොළඹ වරායේ SAGT පර්යන්තය පෞද්ගලික මෙහෙයුම් සඳහා වසර 30 ක ගිවිසුමකට ලබාදී තිබෙනවා. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 180 ආදායමක්‌ ලැබී තිබෙනවා. එම ගිවිසුමට මේ වනවිට වසර 19 ක්‌ ගතවී තවත් වසර 11 ක්‌ ගතවීමට නියමිතයි. මෙම පර්යන්තය මේ වනවිට ඇමරිකන් ඩොලර් මිලියන 220 ක්‌ ආයෝජනය කර තිබෙනවා. මෙහි 2017 වසරේදී බහලුම් මිලියන 1.8 ක්‌ මෙහෙයුම් කටයුතු කර තිබෙනවා.

CICT පර්යන්තය 2013 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 550 ක වසර 35 ක ගිවිසුමකට බදු දී තිබෙනවා. මේ වනවිට මෙයට මිලියන 600 ක විතර ආයෝජනයක්‌ කර තිබෙනවා. මෙහි බහලුම් මිලියන 2.4 කට ආසන්න මෙහෙයුම් සිදු කර තිබෙනවා. JCT පර්යන්තය සීයට සීයක්‌ වරාය අධිකාරියට අයත්. 2016 වසරේදී ඝෘණ අගයක්‌ පෙන්නුවත් 2017 වසරේ තුන්වැනි කාර්තුවේදී සීයට 8.5 ක වර්ධනයක්‌ සිදුව තිබෙනවා. මෙහි මිලියන 2.1 බහලුම් කටයුතු සිදු කර තිබෙනවා.

මේ වනවිට ලෝකයේ බහලුම් කටයුතු සිදු කරන වරායන් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ තිබෙනවා. 2017 වසරේ මිලියන 6 කට වැඩි බහලුම් කටයුතු සිදු කිරීම නිසා එම තත්ත්වයට පැමිණ තිබෙනවා. මේ වසර අවසන් වන විට බහලුම් මිලියන 7 ඉක්‌මවන්න හැකියාව පවතිනවා. එසේ වුවහොත් ලෝකයෙන්ම 20 වැනි තැනට පමණ පැමිණිය හැකියි. මේ වනවිට අලුත් නැව් සමාගම් පැමිණීම නිසා මෙම තත්ත්වය ළඟා කර ගන්න හැකියාව ලැබෙනවා.”