
තලවතුගොඩ අනතුරට පත් මෝටර් රථය පැද වූ අමාත්‍ය කබීර් හෂීම් ගේ මස්සිනා කඩුවෙල අධිකරණයෙන් දින හතකට රිමාන්ඩ් භාරයට පත් කළේය.එම තීන්දුව දින හතක් නොව 14 ක් කරන්නට කොස්වත්ත පොලීසියට ඕනෑ වූයේ එය සමාජයේ විශාල අවධානයක් යොමු වූ කාරණයක් වූ බැවිනි.එමෙන්ම පොලිසිය දැනුවත්ව ලක්ෂ අනූවක මුදලක් ද එම රිය අනතුරේදී හානි වූ අනිත් රිය දෙකට ගෙවන්නට කබීර්ගේ මස්සිනා කැමති කරවා ගෙන සිටියත් විනිසුරුවරයා එම අසාධාරණ එකඟවීම වළක්වා හානියේ නිවැරදි වටිනාකම ගෙවන්නට නියෝග කළේය.
මේ සිදුවීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ගේ හැසිරීම ඔහු නියෝජනය කරන දේශපාලනයට අනුව සිදු විය.මේ සම්බන්ධයෙන් වෙනත් දේශපාලනඥයන්ගේ නම් ඈදෙන විට ඒ සමහරක් ඇමති කබීර් ගේ සම්බන්ධය කියන්නට උත්සාහ කළ ද,කබීර් කළේ වෙනත් කිසිවෙකු එයින් අපහාස විඳින්නට හෝ අපහසුවට පත් නොවිය යුතු බව කියමින් තමන්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරට පත් රිය පැද වූයේ තමාගේ ඥාතියෙකු බව කීමය.
ඒ තරම් විනිවිදභාවයෙන් අමාත්‍ය කබීර් කටයුතු කිරීමේ ප්‍රතිපලය වූයේ තලංගම පොලීසිය සාමාන්‍ය රිය අනතුර සමාජ කැළඹීමක් ඇති බව කියමින්,එම සිදුවීමට අදාළව ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කබීර් ගේ මස්සිනා උපරිමයට හිර කිරීමය.එපමණක් නොව අධිකරණ තීන්දුව මත එම මෝටර් රථය ලබා ගැනීමට කොස්වත්ත පොලිසියට ගිය කබීර් ගේ මස්සිනාගේ ඥාතීන්ට එම රිය ලබා දෙන්නට එන්නට යැයි පවසා පැය තුනකට ආසන්න කාලයක් රස්තියාදු කොට,ඔවුන් රැගෙන ආ වාහනය ලියාපදිංචිය සම්බන්ධ කරුණු ආදිය ස්ථානාධිපතිවරයා විසින්ම මාධ්‍යයට දැණුම් දී අවසානයේ හිමිකරුගේ ලිපියක් නැති බව පවසා ප්‍රතික්ෂේප කිරීමය.
ඇමති කබීර් නීතියට බලපෑමක් නොකර,නිහතමානීව කටයුතු කිරීම කොස්වත්ත පොලිසිය යොදාගත් ආකාරය තැලෙන යකඩය දුටු විට ආචාරියා උඩ පැන පැන තලනවායන කියමණෙන් හැදින්වීම සාධාරණය.අනෙකුත් පොලිස් නිලධාරීන් කෙළින් යන්නට උත්සාහ කළ ද අමාත්‍යවරයාගේ මේ හැසිරීම සමඟ එම නිලධාරීන්ට නීත්‍යාණුකූලව හැසිරීමේ අවස්ථාව අහිමි කරමින් ස්ථානාධිපතිවරයා අනවශ්‍යය ලෙස මෙම සිදුවීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන්නට මාධ්‍යය සොයා ගොස් තොරතුරු ලබා දෙමින් සාමාන්‍යයෙන් එවැනි වරදක් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ඉක්මවා කටයුතු කිරීම පිළිකුල් සහගතය.රටේ බොහෝ ප්‍රභූන් හැසිරෙන ආකාරයෙන් බැහැරව සිය ඥාතියාට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සළකා නීතිය ක්‍රියාත්මක කරන්නට ආශිර්වාදය සහ අනුමැතිය දුන් කබීර් අමාත්‍යවරයාට පොලීසීය සැළකුවේ ඔහුගේ මස්සිනා කළ වරද දෙගුණ,තෙගුණ කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සාමාන්‍යයෙන් ඇප ලබා දිය හැකි වරදකට ඔහුව රිමාන්ඩ් භාරයට යැවීමෙන්ය.
නමුත් යහපාලනය පැමිණෙන්නට පෙර පොලිසියේ හැසිරීම් අපි දැක ඇත්තෙමු.ඔවුන් ඉහළ දේශපාලනඥයන්ගේ පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ වෙනත් නෑ හිතුමිතුරන්ගේ ද නියෝග එන විට නැට්ට පස්සේ ගහගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු සුනඛයන් තරමට හීලෑ වී සිටියේය.අද තාජුඩීන් ඝාතනය,ලසන්ත ඝාතනය වැනි සිදුවීම් හරහා මතුවන පොලිස් නාටකවලදී ඔවුන් දේශපාලක නූල්වල එල්ලා තැබූ රූකඩ ලෙස හසුරුවා ඇති ආකාරය හෙළිදරව් වෙමින් පවතින්නේය.තවමත් ඒ මඟ යමින් අනතුරක් සිදු කිරීමෙන් නොනැවතී,සිය ප්‍රතිමල්ලවයන්ට පහර දුන් රමිත රඹුක්වැල්ලට අධිකරණයෙන් ලැබුණ දඩුවම හැරෙන්නට පොලිසිය ඔහුව අපරාධකාරයෙක් කරන්නට හෝ සමාජ කැළඹීමක් ඇතිවන බව කියමින් හිර කරන්නට උත්සාහ නොකළේය.ඒ පෙර වැරදි දුසිමක් පමණ තිබියදී ය.
නමුත් නීතියට යුක්තියට ගරු කරන හිස නමන පිරිසට නොව නීතිය තවමත් නැමෙන්නේ අයුක්ති සහගතව තමන් පෙළන දරදඩු දේශපාලන උවමනාවන්ට ද යන්න,තලංගම පොලීසියේ හැසිරීම සමග මතුවන හිරිකිත සැකය මේ රජයේ ක්‍රමවේදයට පෙරට යන්නට බැරි බරපතල කාරාණාවක් ලෙස ඉදිරියේදී තව දුරටත් රජයේ යහපාලන දේශපාලන ප්‍රතිපත්තිවලට එරෙහිව නැඟී සිටීමේ දැඩි අවධානමක් මේ සිදුවීමෙන් මතුවන්නේය.

