මංගලගේ යෝජනා රටේ ස්වාධීනත්වය නැති කරනවා …. මංගලට එරෙහිවත් විශ්වාසභංගයක් ගේන්න ඕන

මංගලගේ යෝජනා රටේ ස්වාධීනත්වය නැති කරනවා …. මංගලට එරෙහිවත් විශ්වාසභංගයක් ගේන්න ඕන
Spread the love

මානව හිමිකම් සමුළුවේදී මංගල සමරවීර ඇමැතිවරයා සම අනුග්‍රහය දැක්‌වූ 30.1 යෝජනාව නිසා මෙරට ස්‌වාධීනත්වය සහ ස්‌වාධිපත්‍යය නැති වී ඇති බවත්, එම නිසා ඔහුට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ආ යුතු බව රියර් අද්මිරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය. වීරසේකර මහතා එම අදහස්‌ ප්‍රකාශ කළේ ඉකුත් 29 වැනිදා එළිය සංවිධානය ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දැක්‌වූ වීරසේකර මහතා මෙසේ ද පැවසීය.
 
 “පසුගියදා පැවැති 37 වැනි මානව හිමිකම් සමුළුවේදී මානවහිමිකම් කොමසාරිස්‌ විශේෂ ප්‍රකාශයක්‌ කළා. එම ප්‍රකාශයේදී 30.1 යෝජනාවේ සමහර කොන්දේසි ඉටුකිරීම පිළිබඳව සතුට පළ කළා. සමහර කොන්දේසි ඉටුනොකිරීම පිළිබඳව කනගාටුව පළ කළා. අතුරුදහන්වීම පිළිබඳව සෙවීමේ කාර්යාලය පිහිටවුවත් එයට නිලධාරීන් පත් නොකිරීම පිළිබඳව කනගාටුව පළ කළා. ආණ්‌ඩුව පසුවදාම එම කාර්යාලයට නිලධාරීන් පත් කළා.
 
 30.1 යෝජනාව අපි සම අනුග්‍රහය දැක්‌වූ නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අප බැඳී සිටිනවා. ඊශ්‍රායලයට එරෙහිව යෝජනා 65 ක්‌ පමණ සම්මත කර තිබෙනවා. නමුත් එම රට ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. නමුත් ආණ්‌ඩුව 30.1 යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වූ නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අතුරුදහන් කිරීම් සෙවීමේ කාර්යාලය බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සෙවීමේ පනත ගෙන ඒමට සිද්ධ වූයේ එම නිසා තමයි. එබඳු පනත් සම්මත කරල තිබෙන්නේ රටවල් 20 ක පමණයි. ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් පවා එබඳු පනත් සම්මත කර නැහැ. ඒ වගේම කිසිදු ජනවරමක්‌ නැතිව ජාත්‍යන්තරයේ සහ දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත ආණ්‌ඩුව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමටත් කටයුතු කරමින් සිටිනවා.
 
 ඒ වගේම මානව හිමිකම් කොමිසම සංක්‍රමණික යුක්‌තිය ඉටුකළ යුතු බව පවසනවා. එබඳු නීති පනවන්නේ වසර ගණනාවක්‌ පුරා ප්‍රජාතන්ත්‍රවාදය කඩ කළ රටවල් පමණයි. නමුත් අපි 1947 සිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබෙනවා. එම නිසා එම නීතිය අපට අදාළ වන්නේ නෑ.”
 
 ඊට පසු අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය,
 
 “30.1 යෝජනාව 2015 ජනවාරි 08 ලැබුණු ජනවරමට අනුව ඉදිරිපත් වූ බව ප්‍රකාශ වූවා. නමුත් අපි පෙන්වා දුන්නා පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවැති මැතිවරණයේ ප්‍රතිඵල වලින් සියල්ල ප්‍රතික්‍ෂේප කර ඇති බව.
 
 මානව හිමිකම් සමුළුව ඇමතූ සමහරුන් තමන්ව හඳුන්වා දුන්නේ ඊළාම් රාජ්‍ය බව පවසමින්. ඔවුන් අපගේ ඉතිහාසය විකෘති කරමින් අදහස්‌ දැක්‌වූවා. සමහරුන් ඔවුන්ගේ රට සිංහලයන් බලෙන් ලබාගෙන ඇති බවත් ප්‍රකාශ කළා. ඔවුන් යුද්ධයෙන් කිරීමට නොහැකි වූ දේ නීතියෙන් ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා.”