සම්බුදු තෙමගුල සමරන පින්බර වෙසක් පොහොය දිනය අදයි….

සම්බුදු තෙමගුල සමරන පින්බර වෙසක් පොහොය දිනය අදයි….
Spread the love

වෙසක් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබෙනවා.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කිරීම සහ සම්බුද්ධ පරිනිර්වාණයත් වෙසක් පුර පසලොස්වක පොහොය දිනයන්හිදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

සම්බුද්ධ චරිතයේ මෙම සුවිශේෂ සිදුවීම් ඇසුරෙන් අද දිනයේදි ජීවිතය වඩා යහපත්ව වෙනස් කර ගැනීමට කල්පනා කරන්නේ නම් මෙම වෙසක් පුර පසලොස්වක පොහොය වඩා ඵලදායී වන බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. 

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධත්වය සඳහා නියත විවරණ ලැබූ බවත්, ඊට පෙර භවයකදි සිය මවගෙන් බුද්ධත්වය සඳහා පළමු විවරණ ලැබූ බවත් බෞද්ධ ඉගැන්විම්වල සඳහන් වනවා.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කළේ දඹදිව බුද්ධ ගයාවේදීයි. අවබෝධ කරන ලද ධර්මය ලෝ වැසියන්ගේ යහපත උදෙසා දේශනා කිරීමටද උන්වහන්සේ වසර 45ක් පුරා කටයුතු කළා.  

බුද්ධත්වය අවබෝධ කිරීම සිහිපත් කිරිමේදී උන්වහන්සේ විසින් දේශිත මෙම ධර්මයද සිය ජීවිතය තුළ පුහුණු කිරිමට උත්සහ කළ යුතු බවයි පූජ්‍ය මාකොල මංගල හිමියන් යෝජනා කළේ.

වසර 45ක් පුරා ධර්ම ප‍්‍රචාරයේ යෙදුනු බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වුයේද ලෝ වැසියන්ට මග පෙන්වීමක් ලබා දෙමින්. 

බෞද්ධ ඉතිහාසයට අනුව බුදු රජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමන සිදුව ඇත්තේද, විජය කුමරු ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන්හිදීයි. දේවානම් පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සහ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ ඉදිකිරීම් ආරම්භ කිරීමද වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයන්හිදී සිදුවූ බවයි වංශ කථාවල සඳහන් වන්නේ.