නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි

නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි
Spread the love

පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය  ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ඒ අනුව නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් ගිං ගඟ ඉහළ ගංඟා ධාරා ප්‍රදේශයේ එනම්තවලම ප්‍රදේශයෙන් ජල මට්ටම අඩුවෙමින් පැවතිය ද බද්දේගම ආශ්‍රිත පහල ගංගා ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර කැලණි ගගේ කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට ගංවතුර අවධානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර 150කට අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් රත්නපුර, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල නායයෑමේ අවදානම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව එම ස්ථාන වලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.