වවුනියාවේ මාස 8ක දරුවා පැහැරගත් අටදෙනා අත්අඩංගුවට

වවුනියාවේ මාස 8ක දරුවා පැහැරගත් අටදෙනා අත්අඩංගුවට
Spread the love

වවුනියාවේදී මාස අටක දරුවකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනාම මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.පසුගිය 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස්‌ තිබිණි.

වෂුදරන් වානිෂන් නමැති මාස 08 ක්‌ වයසැති දරුවකු එලෙස පැහැරගෙන ගොස්‌ තිබිණි.
දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, ඔහු හා තමා අතර කලෙක පටන් ආරවුලක්‌ හටගෙන ඇති බවටත් අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්‌ඩායමක්‌ යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව සඳහන් කළාය.

දරුවා රැගෙන ගොස්‌ දින කිහිපයකට පසුව දරුවාගේ පියා බව සැලකෙන පුද්ගලයා විදෙස්‌ රටක සිට වව්නියාව පොලිසියට දුරකතන ඇමතුමක්‌ ලබාදී පවසා ඇත්තේ දරුවාගේ මව විසින් අන්තර්ජාලය ඔස්‌සේ දරුවා තමන්ට පෙන්වීම නවතා දැමීම හේතුවෙන් තමන් පිරිසක්‌ යොදවා දරුවා පැහැරගත් බවයි.

පසුව මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දරුවා සඟවාගෙන සිටියදී සොයාගැනීමට හැකි වුණි. දරුවා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවෝ දෙදෙනෙක්‌ මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.