කොස්ගොඩ සුජී කරන්දෙණිය උප සභාපතිව බිලි ගනී

කොස්ගොඩ සුජී කරන්දෙණිය උප සභාපතිව බිලි ගනී
Spread the love

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ඌරගස්‌මංහන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවැති මංගල සාදයකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි.
 
 පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩොනල්ඩ් සම්පත් රණවීර මහතා එයින් ජයග්‍රහණය කර කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරීපත් විය.
 
 උප සභාපතිවරයා තමාට අයත් කළු පාට හයිරුෆ් වර්ගයේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී රියෑදුරු අසුන පැත්තෙන් වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් ඒ වන විට කැබ් රථයේ රියෑදුරු සහ පිටුපස අසුනේ තවත් දෙදෙනකු සිට ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. උප සභාපතිවරයා සිට ඇත්තේ රියෑදුරු අසුනට යාබද අසුනේ බවද ටී – 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙන බවද ඌරගස්‌මංහන්දිය පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 
 යතුරුපැදියකින් පැමිණ ඇති ඝාතකයන් දෙදෙනා මග හරස්‌ කොට උප සභාපතිවරයාගේ කැබ් රථය නවතා කැබ් රථයේ රියෑදුරු අසුන පැත්තෙන් වෙඩි කීපයක්‌ තබා ඇත. එවිට රියෑදුරු හිස පාත්කොට ඇති බවත් එයින් පසු ගිsනි අවිය රියෑදුරු අසුන පැත්තේ ජනේලයෙන් කැබ් රථය තුළට දමා උප සභාපතිවරයාට තවත් වෙඩි කීපයක්‌ම තබා ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.
 
 වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලායැමට උත්සාහ කර ඇති බවත් හදිසිය හේතුවෙන් වෙඩි තැබූ පුද්ගලයාට යතුරුපැදියට ගොඩවීමට නොහැකි වී ඇති බවත් ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි. පසුව ඔහු අඳුරේම ගිනි අවියත් සමඟ පලාගොස්‌ තිබේ. වෙඩි වැදුණු උප සභාපතිවරයා කැබ් රථයේ සිටියදීම එහි රියෑදුරු කැබ් රථය වේගයෙන් ධාවනය කර පලායන ඝාතනයට පැමිණි අනිත් සැකකරුගේ යතුරුපැදියේ හප්පා ඔහු අනතුරට ලක්‌කර තිබේ. ඝාතනය සිදුකරන ලද ස්‌ථානයේ සිට මීටර් 50 – 100 අතර දුරකින් සිදුකර ඇති මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සැකකරුට කැබ් රථයේ පිටුපස අසුනේ සිටි දෙදෙනා සහ රියෑදුරු විසින් පහරදී තිබෙන අතර වෙනත් අයකු විසින් තුවාලකරු ඌරගස්‌මංහන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට මාරුකර යවා පොලිස්‌ අත්අඩංගුව යටතේ එහි ප්‍රතිකාර ලබමින් සිටී. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුවලගොඩ, උතුරු මාගල, ඌරගස්‌මංහන්දිය ලිපිනයේ පදිංචි අසේල රණසිංහ (22) නමැති අයෙකි.
 
 සිද්ධිය වූ ස්‌ථානයේ තිබී සැකකරුවන්ගේ ජංගම දුරකථනයක්‌ හා ටී 56 පතුරම් මැගසිනයක්‌ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම මැගසිනයේ ටී 56 පතුරම් 05 ක්‌ තිබූ බවද, කැබ් රථයට වෙඩි ප්‍රහාර 15 ක්‌ පමණ එල්ල වී තිබූ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.
 
 පසුව කැබ් රථය එහි රියෑදුරු විසින් වෙඩි වැදුණු උප සභාපතිවරයාද සමඟ කරන්දෙණිය, බොරකන්ද රෝහල වෙත ධාවනය කර උප සභාපතිවරයා රෝහලට භාරදී රියෑදුරුද ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් වී තිබේ. රියෑදුරුගේ අතක පමණක්‌ සුළු සීරීම් තුවාලයක්‌ පමණක්‌ තිබූ බවත් උප සභාපතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 මංගල සාදයේදී උප සභාපතිවරයා මත්පැන් පානය කර නොමැති බවත් රියෑදුරු ඇතුළු කැබ් රථයේ ගමන් ගත් අනෙක්‌ තිදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. උප සභාපතිවරයා මඟුල් ගෙදරින් පානය කර ඇත්තේ උණුවතුර වීදුරුවක්‌ පමණක්‌ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වූයේ යෑයි පොලිසිය කියයි.
 
 සිදුවීමෙන් පැය 04 කට පමණ පසු එනම් 09 දා අලුයම 2.30 ට පමණ ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පවත්වන ලද අතර දේහය ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලට ගෙන ගොස්‌ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙසටද නියෝග කළාය.
 
 ඝාතනයට ලක්‌වූ ඩොනල්ඩ් සම්පත් රණවීර (48) නමැති අයගේ සහෝදරයාද මීට මාස කීපයකට පෙර කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ගිනි අවි 03 ක්‌ සමඟ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී බෝර 12 ගිනිඅවි 12 ක්‌ සහ විදේශීය රටක නිෂ්පාදිත පෑනක ප්‍රමාණයේ මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ සොයාගෙන තිබුණි. කරන්දෙණිය, කැටවල පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නමැති ඔහු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.
 
 මෙම අයිය මලෝ දෙදෙනා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ සමීපතමයන් බව ඇල්පිටියේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය. ඒ හරහා මොවුන්ට ගිනිඅවි ලැබී තිබෙන බවටද පොලිසිය විශ්වාස කරයි. මෙම ඝාතනයට දැනට ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල කල්ලි නායකයකු වන කොස්‌ගොඩ සුජී නමැත්තාගේ සම්බන්ධයක්‌ තිබෙන බවද අත්අඩංගුවට ගත් පුද්ගලයා කොස්‌ගොඩ සුජීගේ ගෝලයකු බවද ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි.
 
 ඝාතනයට ලක්‌වූ උප සභාපතිවරයා කරන්දෙණියේ ඉඩම් මිලදී ගෙන කට්‌ටි කර විකිණීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. මුලදී මේ සඳහා කොස්‌ගොඩ සුජීගේ සහ ඔහුගේ ගෝලයන්ගේද සහාය ලැබී ඇතත් පසුව උප සභාපතිවරයා කොස්‌ගොඩ සුජී සමඟ විරසක වී ඇත. පසුගිය වසරේ ඔක්‌තෝබර් 29 වැනිදා ඌරගස්‌මංහන්දිය, යුදපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පියා, පුතුන් දෙදෙනා සහ අනෙක්‌ අයගේ ඝාතකයන් ඇසුරු කළැයි උප සභාපතිවරයා කෙරෙහි කොස්‌ගොඩ සුජීගේ වෛරයක්‌ ගොඩනඟාගෙන තිබූ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. එසේ ඝාතනයට ලක්‌වූ පියා හා පුතුන් දෙදෙනා ඥතීත්වයෙන් කොස්‌ගොඩ සුජීට බාප්පා හා සහෝදරයෝ වෙති. සභාපති ඝාතනයට මෙම සිද්ධියත් බලපෑවේද යන්න සෙවීමට පොලිස්‌ පරීක්‍ෂණ පවත්වන බවද ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි.