රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක් වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද බලය මත ර¹ පවති” යන මැයෙන් අනුරාධපුර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනුරාධපුර මැතිවරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම සම්මන්ත්‍රණය ඉකුත් 07 වැනිදා මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්‌වූ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි එනම් පාලනයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි. එම කැමැත්ත නිසි කලට පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් ප්‍රකාශ විය යුතුයි. හැමදාම ඡන්ද විමසීම් කල් තැබූ රටවල්වල විනාශයක් ඇතිවුණා. කිසිදු මැතිවරණයක් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ගුණාංගවලට ඉදුරාම පටහැනි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අපි ප්‍රසිද්ධියේ කියනව. ඒ බව අපි දේශපාලන පක්‍ෂවලට ලිතව දැනුම්දී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසිකලට මැතිවරණ පැවැත්විය යුතුයි.
අපේ රටේ ඡන්ද පොළට යාම තහනම් කර නොමැති කාලවල පැවැත්වූ මැතිවරණ වලදී දුෂ්ඨ, තුච්ඡ, නින්දිත සහ නරක යන ඔක්‌කොම වචන යොදල කියන්න පුළුවන්. ඡන්ද විමසීම් තුනක් ගැන. ඉන් එකක් 1999 වසරේ පැවැත්වූ කුප්‍රකට වයඹ පළාත් සභා මැතිවරණය. එම මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්‌ථානවල රාජකාරි කළ සමහර මැතිවරණ නිලධාරීන් මැතිවරණයදා උදේ 9.00 වන විට ඡන්ද පෙට්‌ටිත් රැගෙන කුරුණෑගල කච්ෙච්රියට ආවා. මොකද එදින උදේ 8.45 වන විට මැරයෝ ඇවිත් ඔක්‌කොම ඡන්දදාල ඉවරයි. ඒක දුෂ්ටම මැතිවරණයක්.
අනෙක් දූෂිතම මැතිවරණ දෙක තමයි 1982 වසරේදී පැවැත්වූ ජනමත විචාරණය සහ 1981 වසරේදී පැවැත්වූ යාපනය දිස්‌ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය. යාපනය දිස්‌ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී මැතිවරණ රාජකාරි ඉටුකිරීමට කිසිදු අයිතියක් නොමැති කණ්‌ඩායමක් කොළඹින් සහ කුරුණෑගලින් එහි යෑව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස ඡන්ද මධ්‍යස්‌ථානවල තිබූ ඡන්ද පෙට්‌ටි අතුරුදන් වුණා. පසුව ඉන් ඡන්ද පෙට්‌ටි කීපයක් සොයා ගත්තා. හැබැයි එම මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලය ලෙස විපක්‍ෂය සියලු ඡන්ද කොට්‌ඨාස ජයග්‍රහණය කළා. බලයේ හිටපු පක්‍ෂයට එකම කොට්‌ඨාසයක්‌වත් ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා. ලංකාවේ එවැනි ප්‍රතිඵලයක් ලැබුණු එකම අවස්‌ථාව එයයි.
ජනතාව එසේ ප්‍රතිචාර දක්‌වද්දී ලංකාවේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක් ලෙස ගැනෙන යාපනය පුස්‌තකාලය ගිනි බත්වුණේ එදින රාත්‍රියේදීයි. එම සිද්ධියෙන් පසු යාපනයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ මධ්‍යස්‌ථ ජනතාව තුළ ඡන්දය කෙරෙහි තිබූ විශ්වාසය බිඳී ගියා. එහි වාසිය අත්වුණේ බැලට් එක කෙරෙහි නොව තුවක්‌කුවට විශ්වාසය තබා කටයුතු කළ කල්ලිවලටයි. මේ නිසා 1983 කලබලය තමයි උතුරේ සන්නද්ධ කණ්‌ඩායම් වලට නැගී සිටීමට පෙට්‍රල් දැම්මේ. යාපනය දිස්‌ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයෙන් තමයි එම සන්නද්ධ කල්ලිවලට නැගී සිටීමට ඔක්‌සිජන් ලැබුණේ. එහි ප්‍රතිඵලයක් ලෙසයි මහා සන්නද්ධ කල්ලියක් බිහිවී රටම විනාශ වුණේ.
1982 වසරේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව 1983 මහ මැතිවරණයක් පැවැත්වූවා නම් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එදා තරුණයන් නියෝජනය කළ පක්‍ෂයට මන්ත්‍රීධුර පහක් හෝ දහයක් ලැබීමට ඉඩ තිබුණා. එම අවස්‌ථාව අහිමිවීමෙන් පසු එම තරුණයන්ට ඡන්දය කෙරෙහි තිබූ විශ්වාසය නැතිව ගියා. ඒ නිසා එම තරුණ පක්‍ෂයේ පිරිසක් ආයුධ අතට ගෙන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගොඩ නැගුවා. එයින් රජයට එරෙහිව කැරැල්ලක් ඇතිවුණා. ඉන් මිනිස් ජීවිත හැට දහසක් පමණ අහිමි වුණා.
මැතිවරණ හරියට නොතිබ්බොත් මැතිවරණ කල් දැමුවොත් එය මරණයට හේතු වෙනවා. ඒ නිසා අපි නියමිත කලට මැතිවරණ පැවැත්විය යුතුයි. 1972 ජනරජ ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමෙන් පසු එවකට පැවැති රජය වසර පහකට පැවති නිල කාලය වසර හතක් කළා. ඊට එරෙහිව එදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වී ඡන්දය ඉල්ලුවා. ඒ ආදර්ශය ලංකාවේ දේශපාලනඥයෝ දන්නවා.
ඒ නිසා මැතිවරණ කල්දැමීමට විරුද්ධවීම දේශපාලඥයන්ගේ කාර්යයක්. මැතිවරණ නිසි කලට පැවැත්වීම ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේත් වගකීමක්. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දෙසිය විසි පස් දෙනාගේම වගකීමක් තමයි උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වා ජනතාවට තම කැමැත්ත ප්‍රකාශ කිරීමට කඩිනමින් අවස්‌ථා සැලසීම.

