2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක
Spread the love

 ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර තොග අවසන් වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී ඇත. අවසන් වරට තොගයක් ගෙන්වා ඇත්තේ 2015 වසරේදී වන අතර අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.

ඒ අනුව මේ වනවිට සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ වෙනත් ක‍්‍රමවේදයකට වන අතර ඒ  මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍රයේ ඊට අදාළ රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත‍්‍රය වලංගු වන බවට මුද්‍රණය කිරීමෙනි.

ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ එයද ඉතා අනතුරුදායක ක‍්‍රමයක් බවයි. ඊට හේතු වී ඇත්තේ මෙම මුද්‍රණය ඕනෑම පුද්ගලයෙකුට වුවද සිදු කළ හැකි වීමත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මෙවැනි මුද්‍රණය කරන ලද විදෙස් ගමන් බලපත‍්‍ර පිළි නොගන්නා බවත්ය. ඒ හේතුවෙන් මගියාගේ අනන්‍යතාව පිළිබඳ ගැටළුවක් මතුවීමට ද ඉඩ ඇත.

මෙවැනි ගමන් බලපත‍්‍රයක් සතු ශ‍්‍රී ලාංකික සංචාරකයෙකු  ඕනෑම ගුවන් තොටුපලක රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද එම රටවල ආගමන විගමන නිලධාරීන්ට අවස්ථාව පැවතීම හේතුවෙන් එම මගීන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවලදී අපහසුතාවට පත්වීමටත් ගුවන් ගමන ප‍්‍රමාද වීමටත් ඉඩ පවතින බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ සඳහන් කරයි. මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික පංතියට අයත් ගුවන් මගීන්ට වන බව වැඩිදුරටත් සඳහන් වේ.

සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර හා මැද පෙරදිග රටවලට අදාළ ගමන් බලපත‍්‍ර, ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර වර්ග අතර ජනප‍්‍රිය වර්ග දෙක වන අතර  සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ලබා ගන්නේ සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රයයි. මැද පෙරදිග කලාපයේ රටවලට රැකියා සඳහා යන පිරිස් පමණක් අනෙක් බලපත‍්‍රය ලබා ගන්නා අතර මාසිකව නිකුත් කරන සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර සංඛ්‍යාව 35,000කට ආසන්න වේ. පිටු 64කින් යුත් එහි වටිනාකම රුපියල් 7500ක් සහ මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරේ. පිටු 48කින් යුත් එහි වටිනාකම රුපියල් 2500ක් වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතින අතර එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණකි. ඒ, මැද පෙරදිග රටවල ගුවන් ගමන් බලපත‍්‍රය මේ වනවිට සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රය ලෙස ද නිකුත් කිරීම හේතුවෙන්. 

මෙම තොග අද දිනයේ ඇණවුම් කළ ද එහි ක‍්‍රියාවලිය සංකීර්ණ වීම හේතුවෙන් සියලූ රටවලට අදාළ බලපත‍්‍ර මෙරටට ලැබීමට අවම වශයෙන් මාස 05ක පමණ කාලයක් ගතවන බැවින් තවත් මාස කිහිපයකින් ශ‍්‍රී ලංකාව තුළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට නොහැකි වන තත්වයක් උද්ගත වනු ඇති බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසයි.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මෙම අවදානම පෙන්වා දී තිබුණද රජයේ බලධාරීන් මෙතෙක් ඊට විසඳුම් ඉදිරිපත් නොකිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව බව ඔවුන්ගේ අදහසයි.