විවාහවී සතියකින් බිරිඳගේ රන් ආභරණත් සොරකම් කරලා කැසිනෝ ගහපු හොර දෙස්තරට වැඩ වරදී

විවාහවී සතියකින් බිරිඳගේ රන් ආභරණත් සොරකම් කරලා කැසිනෝ ගහපු හොර දෙස්තරට වැඩ වරදී
Spread the love

ව්‍යාජ සහතික මගින් පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛදවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකය පෙරේදා (27 ) සමත් විය.
 
 මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පමුණුගම වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි ජෝසප් ක්‍රියේෂන් සරණ ප්‍රදීප් (31) නමැති සැකකරු පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු පෙනී සිට එම ප්‍රදේශයේ ප්‍රධාන බෙහෙත් ශාලාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. ඔහු එහිදී ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇත.
 
 පසුව සැකකරු වෛද්‍යවරයකු ලෙස රඟදක්‌වමින් එම ප්‍රදේශයේ 23 හැවිරිදි ධනවත් තරුණියක සහ විවාහ වී ඇත. එම විවාහයෙන් සතියකට පසු සැකකරු තම බිරිඳගේ රන් අභරණ සහ වටිනා දැ සොරකම් කරගෙන පළාගොස්‌ ඇත. සැකකරු හදිසියේ පළායැමට හේතුව පරීක්‍ෂා කිරීමේදී සැකකරු “කැසිනෝ” සූදුවට තදින් ඇබ්බැහි වූවකු බවත් ඔහු තම බිරිඳගේ රන් අභරණ විකුණා ලත් මුදල් සූදුවට වැයකිරීමට අමතරව විවිධ අවශ්‍යතා දක්‌වමින් පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන වංචාකර ඇති බවත් අනාවරණය වී ඇත.