සැමියාට පොල්ලකින් ගසා මරා අනියම් සැමියා සමඟ මිනිය ඔයට දැමූ බිරියට වැඩ වරදී

සැමියාට පොල්ලකින් ගසා මරා අනියම් සැමියා සමඟ මිනිය ඔයට දැමූ බිරියට වැඩ වරදී
Spread the love

හංවැල්ල ප්‍රදේශයේ නිවසක්‌ තුළදී සිය සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා සමග එකතුව හංවැල්ල, පුස්‌සැල්ඔයට දැමීමේ සිද්ධියට අදාළව එම ඝාතනයට ලක්‌වූ අයගේ බිරිඳ ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බිම නිදා සිටි සිය පියාට අම්මා පොල්ලකින් පහරදී පසුව මාමා කෙනකු සමග එකතුව පියාව ත්‍රිරෝද රථයකින් ගෙන ගිය බව සැකකාරියගේ 11 හැවිරිදි දියණිය විසින් පොලිසියට පවසා තිබිණි.

ඒ අනුව 36 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියගේ අනියම් සැමියා ද අත්අඩංගුවට ගැනීම ටපොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. පසුගිය 27 වැනිදා හංවැල්ල පුස්‌සැල්ඔයේ පිරිමි මළ සිරුරක්‌ පාවෙමින් තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබිණි. සිය පුත්‍රයාගේ මරණය සැකසහිත බවට ඝාතනයට ලක්‌වූ අයගේ මව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් එම පරීක්‍ෂණය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පවරා ඇත. ඒ අනුව එම ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ හංවැල්ල, ජයවීරගොඩ වෙස්‌ටන්වත්ත පදිංචි අනුර ගාමිණී රුවන් කුමාර (37) නමැත්තෙකි.

තම සැමියා සහ තමා අතර නිතර ආරවුල් ඇතිවන බවත්, මේ නිසා තමා අනියම් සැමියා සමග එක්‌ව සැමියා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත්, සිද්ධියවූ දින අලුයම 2 ට පමණ තමා බිම නිදා සිටි සැමියාට පොල්ලකින් පහර දුන් බවත්, අනතුරුව සිහිසුන්ව සිටි සැමියා අනියම් සැමියා සමග එක්‌ව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්‌ පුස්‌සැල්ඔයට දැමූ බවත් සැකකාරිය පොලිසියට පවසා ඇත.