මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී

මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී
Spread the love

මන්නාරමේ සතොස තොග ගබඩා සංකීර්ණයේ පිහිටි සමූහ මිනී වළේ කැණීම් කරගෙන යන පිරිස පෙරේදා (25) සවස වන විට මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ මතුකරගෙන තිබේ.
 
 මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කැණීම් කටයුතු භාරව සිටින අධිකරණ වෛද්‍ය නිලධාරි සමීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කියා සිටියේ දැනට හමුවූ මිනිස්‌ සිරුරු 53 කට අයත් අස්‌ථි කොටස්‌වලින් සිරුරු 34 කට අයත් සැකිලි ගොඩගෙන ඇති බවයි.
 
 සමූහ මිනී වළෙන් ගොඩ ගන්නා ලද මිනිස්‌ අස්‌ථි කොටස්‌ මුද්‍රා තබා මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත භාරදී ඇති අතර මතු කරගෙන ඇති අස්‌ථි කොටස්‌ සම්බන්ධයෙන් තවදුරටත් කැණීම් කටයුතු කරගෙන යයි. මුලින්ම මන්නාරම සතොස තොග ගබඩා සංකීර්ණයෙන් මිනිස්‌ අස්‌ථි කොටස්‌ හමුවූයේ පසුගිය මාර්තු 26 වැනිදාය.
 
 ඊට දින තුනකට පෙර මේ ස්‌ථානයෙන් පස්‌ රැගෙන ගොස්‌ මන්නාරමේ එමිල් නගරයේ ස්‌ථානයක ගොඩබාන ලද අවස්‌ථාවේ එම පස්‌ සමඟ මිනිස්‌ ඇට සැකිළිවල කොටස්‌ කීපයක්‌ හමුවී ඇත.
 
 එවකට මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ ඒ. ජී. ඇලෙක්‌ස්‌ රාජා මහතාගේ නියෝගයකට අනුව සතොස ගබඩා සංකීර්ණය තුළ කැණීම් කටයුතු සිදුකෙරිණි.
 
 මන්නාරමට අලුතින් පැමිණි මහෙස්‌ත්‍රාත් ටී. ජී. ප්‍රභාකරන් මහතාගේ නියෝගය මත මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු පිළිබඳ මහාචාර්ය රා- සෝමදේව, අධිකරණ වෛද්‍ය නිලධාරී සමීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම පොලිසියේ නිලධාරීන්ගේද රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් සිදුකෙරේ.