ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංගගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංගගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්
Spread the love

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුව මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතියි. ඒ මහතාගේ දියණිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර පදිංචිව සිටින අතර නඩුවේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ඇගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් නැවත වරක් යම් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ එකම දියණිය වූ අහිංසා වික්‍රමතුංග මහත්මියගෙන්ද මෙම නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරි බි.ඒ. තිසේරා හා වාණිජ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් විසින් මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබෙන බව ‍පොලිස් ආරංචිමාර්ග පවසයි.