වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…

වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…
Spread the love

වෛද්‍යවරයකුගෙන් රුපියල් නවදහසක අල්ලසක්‌ ලබා ගැනීමට උත්සාහ කළ කම්කරු කොමසාරිස්‌ කාර්යාල නිලධාරීන් දෙදෙනකු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය කම්කරු කොමසාරිස්‌ කාර්යාලයට අනුයුක්‌තව රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙකු සහ කල්මුණේ කම්කරු කොමසාරිස්‌ කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි.

කම්කරු අධිකරණයේ පවරන ලද නඩුවකට වාසි වන අයුරින් සාක්‍ෂි ලබාදීම සඳහා මෙම වෛද්‍යවරයාගෙන් කම්කරු නිලධාරියා රුපියල් අටදහසක මුදලක්‌ ද, ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියා රුපියල් දහසක මුදලක්‌ ඉල්ලා තිබේ.

නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර ඇත. 

ඒ අනුව ක්‍රියාත්මක වූ එහි විමර්ශන නිලධාරීන් සැකකරුවන් දෙදෙනා නුවරඑළිය කම්කරු අධිකරණය අසලදී අදා අල්ලස්‌ මුදල වෛද්‍යවරයාගෙන් ලබා ගනිද්දීම අත්අඩංගුවට ගත් බව අල්ලස්‌ කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.