දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියැදුරන්ට රුපියල් 25,000ක මුදල් දඩයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා දින (19) හික්කඩුවේදී පැවැසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු මාධ්‍යයට හෙළිකළේ දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10ක් දුම්රිය සේවාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුවය. ප්‍රධාන දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකර මාර්ග නීති කඩන්නන් හඳුනාගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200ක් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 6.4ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස්ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526ක් සඳහා නිසි ආරක්ෂාව සපයා ඇති අතර තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මගින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග සංඛ්‍යාව 626කි. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමගම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බව ඇමැතිවරයා පැවැසීය.

