මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු ලෙස මුල්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමට මහ බැංකුව සතු රහස්‍ය තොරතුරු ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා (පිටුවහල් කර ගැනීම සඳහා) උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
අර්ජුන ඇලෝසියස් මහතා ඇතුළු තිදෙනකුට හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම්දීම නොතකා කටයුතු කිරීම නිසා පසුගිය අප්‍රේල් 19 වැනිදා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළ සැකකරු මේ වනවිට සිංගප්පූරුවේ සිටින බවත් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රටවල් 192 ක බලාත්මක කර ඇති උධර්පන නීතිය අනුව කටයුතු කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.
එම සැකකරු අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දක්වන ලෙසට පෙර නඩු දිනයේදී (පසුගිය 23 වැනිදා) අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව නීතිපති දෙපාර්තමේන්තුව එම කරුණු අධිකරණයට පෙන්වා දුන්නේය.
එමෙන්ම සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉල්ලා තිබූ සියලු ලේඛන ඔහු වෙත යෑවීමට අවශ්‍ය නෛතික උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය. එම නඩුවේ දෙවන හා සිවුවන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන දෙදෙනා 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
එමෙන්ම එම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය. සැකකරු ඉල්ලා ඇති ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනා ඒවා සනාථ කිරීමට අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සාක්ෂි වරෙන්තු පිටපත් ඇතුළු ලේඛන සැකකරු වෙත මුදාහැරීමේ නීතිමය බාධාවක් නොමැති බව පෙරේදා (29දා) ජාත්‍යන්තර පොලිසිය වෙත දන්වා යෑවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති විගණන වාර්තා සකස් කිරීමට අවශ්‍ය අනුමැතිය හා එම වාර්තා සඳහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ අත්සන් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ චන්දන පෙරේරා මහතා එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
රජයේ අධිනීතිඥ සහන්යා නාරංජනාත් මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල නියෝජනය කළාය.
නීතිඥ සජිත් ජයවර්ධන, නීතිඥ ජීවන්ත ජයතිලක ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.