ශ්‍රී පාද වන්දනාවේ එන ජනතාවට නල්ලතණ්නිය පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කරලා

ශ්‍රී පාද වන්දනාවේ එන ජනතාවට නල්ලතණ්නිය පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කරලා
Spread the love


නල්ලතණ්නියේ පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කර ඇත. මේ නිසා ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි වාර්තා වේ.

එළඹෙන සති අන්තයේ දුරුතු පොහොය ද යෙදී ඇති බැවින් ඒ හේතුවෙන් සැදැහැවතුන් වැඩි පිරිසක් එම සති අන්තයේ දී ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. ඒ බව සැලකිල්ලට ගනිමින් හෝ විසන්ධි කර ඇති ජල සැපයුම නැවත ලබාදෙනු ඇතැයි බලාපොරෙත්තු වේ. 

මේ සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත‍්‍රික් ඉංජිනේරු තරිඳු නිරෝෂන්ගෙන් ද විමසීමක් කල අතර ඔහු පැවසුවේ අදාළ ජල සැපයුම සඳහා ගෙවීම් නියමිත පරිදි සිදු කර නොමැති බවයි. ජල සැපයුම විසන්දි කර ඇත්තේ ද ඒ අනුව බව ඔහු පැවසන ලදී. 

මෙම ජල සැපයුම විසන්ධි කෙරුණ ද ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට දුෂ්කරතාවක් ඇති නොවීම සඳහා එහි ඇති නොමිලේ ජල සැපයුම් සේවා තවදුරටත් පවත්වාගෙන යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. 

මේ අතර විසන්ධි කර ඇති නල්ලතණ්නිය පොදු රථ ගාලේ ඇති ජල සැපයුම්වල ගෙවීම් නියමිත පරිදි සිදු නොවීම පිළිබඳව ද විමසා බැලීමක් කල විට අනාවරණ වුයේ පරිපාලන ගැටළුවක් නිසා මෙම ගෙවීම් නිසි පරිදි සිදුව නොමැති බවයි. 

අදහස් දැක්වූ අයෙක් සඳහන් කළේ “කලින් මේක තිබ්බේ අඹගමුව ප්‍රාදේශීය සභාව යටතේ.. එතකොට බිල ගෙවලා තිබ්බේ නෑ.. නමුත් දැන් තියෙන්නේ මස්කෙලිය ප්‍රදේශීය සභාවට..ගියපාර ටෙන්ඩර් සල්ලි ඔක්කොම ගත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාව.” යනුවෙනි.

නිලධාරීන්ගේ හෝ බලධාරීන්ගේ ක‍්‍රියා නිසා ඇති වන පරිපාලන ගැටළුවලින් මහජනතාව පීඩා විදින්නේ නම් එය අනුමත කළ නොහැකි තත්වයකි. ඒ නිසා ශ‍්‍රීපාද වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට දුෂ්කරතාවක් ඇති නොවන පරිදි නල්ලතණ්නියේ මෙම ජල ගැටළුව විසදීමට සියලූදෙනා යුහුසුළු විය යුතු වන බව දන්වා සිටිමු.