ඉන්දීය හමුදාවේ අණදෙන නිල දැරීම සඳහා ඉඩකඩ සැලසෙන පරිදි ඔවුනට ස්ථිර අධිකාරී තත්වය ලැබීමට සුදුසුකම් දෙමින් එරට ඉහළම අධිකරණය තීන්දුවක් දී ඇත.
එම තීන්දුවට අනුව උසස්වීම්, නිල දැරීම්, ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් ලැබීමේදී ඔවුන් පිරිමි නිලධාරීන් හා සම තැනට පත්වේ.
මේ කරුණ සම්බන්ධයෙන් දිල්ලි මහාධිකරණය දී තිබූ තීන්දුව වෙනස් කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.
හමුදාව තුළ සමානාත්මතාව ගොඩනැගීම කරා යන ගමනේ “දැවැන්ත පිම්මක්” ලෙස මෙම අධිකරණ තීන්දුව ඇගයීමට ලක්වේ.
මේ තත්ත්වය ළඟාකර ගැනීම සඳහා සේවයේ සිටින මෙන්ම විශ්‍රාම ගිය බොහෝ දෙනා ක්‍රියා කළහ. දැනට ඉන්දීය හමුදාව තුළ කාන්තාවන් බඳවා ගැනෙන්නේ කෙටි කාලීන සේවා අධිකාරිය යටතේ වන අතර නිලධාරියෙකුට සමස්ත සේවා කාලය සම්පුර්ණ කිරීම සඳහා වන ස්ථිර අධිකාරියට සුදුසුකම් නොලබයි.
ඒ අනුව මූලික වශයෙන් කාන්තාවන්ගේ සේවා කාලය වසර පහක් වන නමුත් එය දිගු කර ගැනීමේ අවස්ථා ද වේ. කෙසේවෙතත්, පිරිමි නිලධාරීන් ලබන වරප්‍රසාද එලෙසින්ම ඔවුන්ට හිමි නැත.
එය වෙනස් වන්නේ හමුදාවේ නීති හා අධ්‍යාපනික අංශවල පමණි. එම අංශවල නිලධාරිනියෝ 2008 වසරේ සිට ස්ථිර අධිකාරි සඳහා සුදුසුකම් ලබති.
කාත්නාවන්ට ස්ථිර අධිකාරී හිමිකර දීමට පසුගිය වසරේදී ඉන්දීය ආණ්ඩුව එකඟ වුවත් වයසින් වැඩි නිලධාරිනියන්ගේ කායික සීමාකම් හේතු ලෙස දක්වමින් වසර 14ට අඩු සේවා කාලයක් ඇති නිලධාරිනියන්ට පමණක් එය අදාළ වන බව කියා සිටියේය.
“කායික සීමා හා සමාජ ධර්මතා පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවේ තර්ක නිලධාරිනියන්ට ඇති අවස්ථා නැති කිරීම සඳහා වන අතර එය කළඹන සුලු හා පිළිගත නොහැකි තත්ත්වයක්” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඩී වයි චන්ද්‍රචුද් පැවසීය.
‘පැහැදිලි නොසළකා හැරීමක්’
අණදෙන නිලයන්ට කාන්තාවන් පත්කිරීමට එරෙහිව ද ආණ්ඩුව තර්ක ඉදිරිපත් කළේය.
“නිලතලවල සංයුතිය පවතින්නේ පිරිමින්ගෙන්. ඒ වගේම වැඩිවශයෙන් ග්‍රාමීය පසුබිමකින් ඒම මෙන්ම පවතින සමාජ ධර්මතා අනුව කාන්තාවන් සිය අණ දෙන නිලධාරීන් ලෙස පිළිගැනීමට භට පිරිස්වල මානසික තත්ත්වය තවම පුරුදු පුහුණු වී නැහැ.” යැයි ආණ්ඩුව පැවසීය.
නමුත් එම තර්කය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ “සමානාත්මතාවට ඇති අයිතිය සහේතුකත්වයට ඇති අයිතියක්” යැයි පවසමිනි.
නිලධාරිනියන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිවේදිනි අයිශ්වර්යා භාටි පැවසුවේ මෙය සුවිශේෂ තීන්තුවක් බවය.
“හමුදාව තුළ ඉතා පැහැදිලි නොසළකා හැරීමක් තිබුණා. එක් නිලධාරිනියක් වසර 26ක් පුරා සේවය කර තිබුණත් ඇයට පිරිමින්ට හිමි වරප්‍රසාද ලැබී තිබුණේ නැහැ. දැන් ඒ වැරැද්ද නිවැරදි කර තිබෙනවා” යැයි ඇය බීබීසී සමග පැවසුවාය.
අධිකරණ තීන්දුව “ඓතිහාසික” බව බීබීසී සමග අදහස් පළකළ ලුතිනන් කර්නල් පූනම් කියා සිටියාය.
“ඉන්දීය ව්‍යවස්ථාව පදනම් වී තිබෙන්නේ සමානාත්මතාව මත. කාන්තාවන්ට ඇති අවස්ථා අහිමි කිරීම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ ලක්ෂණවල ජීවගුණයට එරෙහිව යාමක්. දැන් පිරිමින්ට හා කාන්තාවන්ට සමාන මාර්ගෝපදේශ සැකසීමට හමුදාවට සිටුදුවෙනවා.” යැයි ද ඇය සඳහන් කළාය.
by bbc sandesaya