හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට

හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට
Spread the love

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ (26) දින හෝමාගම මූලික රෝහලේ  හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහිදී රෝහලේ පාලනාධිකාරිය ඇතුලු නිලධාරි මණ්ඩලය සමග රෝහ‌ලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා පවත්වන ලද අතර එම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා කටයුතු කරන බව පැවැසීය.

649178 ක පමණ ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස හෝමාගම ප්‍රදේශය හදුන්වනු ලබයි. හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති හෝමාගම මුලික රෝහල 1946 වසරේ දිස්ත්‍රික් රෝහලක් ලෙස ද 1997 වසරේ මුලික රෝහලක් ලෙසට  ද පත් වන අතර රෝහල ඇදන් 474 කින් යුක්ත වේ. මූලික ප‍්‍රතිකාර ඒකකයක්, ප්‍රසව හා නාරිවේද, ළදරු ඒකක, අක්ෂි ඒකක, රසායනාගාර, ජීව විද්‍යා අංශයක්, මනෝචිකිත්සක එ්කක, සායනවලට එන රෝගී සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකක සංකීර්ණයකින් ද යුක්ත වේ. දිනකට සාමාන්‍ය සායනික පහසුකම් ලබාගැනිම සදහා 1000 ක් පමණ මෙම රෝහලට පැමිණේ. මෙම රෝහලෙන් ඉහත සේවාවන්ට අදාල සායන පහසුකම් වලින් ද, චර්ම, දන්ත, ලිංගාශ්‍රිත, හෘද, පවුල් සැළසුම්, විකලාංග, බෝනොවන රෝග, පෝෂණ සහ පවුල් සෞඛ්‍ය සායන පහසුකම් ද ලබාදෙනු ලබයි. තව ද විකලාංග සැත්කම්, ළමා සැත්කම්, මුඛ සැත්කම් අලුතින් එකතු කරන ලද සැත්කම් අතර වේ.

දැඩි සත්කාර ඒ්කකයේ පහසුකම් ලබාගැනීම සදහා වෙනත් රෝහල්වලින් රෝගීන් මාරු කරන අවස්ථාවල සහ ආපදා සහ හදිසි අනතුරු තත්ත්වයක දී මෙම රෝහලෙන් විශාල සේවාවක් ලබාදිය හැකි බව රෝහල් පාලනාධිකාරිය පෙන්වා දෙයි. මහා මාර්ග පද්ධතිය පුළුල් කිරීම හේතුවන් කොළඹ කටුනායක, කොළඹ මහනුවර, දක්ෂිණ අධිවේගී මාර්ග ඇතුලුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය වන්නේ ද හෝමාගම වන බැවින් එහි පිහිටා ඇති හෝමාගම මුලික රෝහල තවත් සංවර්ධනය කර ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවිය යුතු බව ද රෝහල් පාලනාධිකාරිය ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලවල ප්‍රධාන ඉල්ලීමක් වූ අතර, වෛද්‍යවරු 10 ක්, හෙදියන් 43ක්, සෞඛ්‍ය කාර්ය සහායකයින් 25 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මිකයින් 06 ක් රෝහලේ සේවාවන් ඉහළ නැංවීමට අත්‍යාව්‍ය වන බව ද පෙන්වා දෙන ලදි. භෞතික සම්පත් සංවර්ධනයේ දී නව හදිසි ප්‍රතිකාර ඒකකය හා ශල්‍යාගාරය ඇතුළත් නව සංකීර්ණයේ උපකරණ සදහා ආසන්න වශයෙන්  රුපියල් මිලියන 240 ක් පමණ අවශ්‍යවන බවත්, දැනට පවත්වාගෙන යනු ලබන සේවාවන් සදහා (රසායනාගාර, එක්ස් කිරණ, වාට්ටු, විශේෂ ඒකක) සදහා අත්‍යාවශ්‍ය උපකරණත් අවශ්‍ය බව පෙන්වා දෙන ලදි. මේ සියලු කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝමාගම මුලික රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු අවශ්‍යතාව අනුව සොයාබලමින් අදාල සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා බවත්, ඒ සදහා ඉදිරි සතිය තුල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.