යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී / යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක් / මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර / වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක් / කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් / මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස් / සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය …
කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. රජය ජනවාරියේ සිට අනුගමනය කළ ක්‍රියාමාර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දෙනු ලැබීය.
වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින බව කීය. ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී. ඒ පිළිබඳව කොරෝනා මර්දන බලකායේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි නියම කළේය.
යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කෙරිණ.
අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට තීරණය විය.
කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට තොරතුරු රැස් කරමින් තීරණ ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය. රෝග නීර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා පැවසීය.
ශ්‍රී ලංකාව රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බව ද එතුමා කීය.


