Covid-19 ‘එක් වරකට වඩා ආසාදනය විය හැකියි’- මහාචාර්ය සේරා ගිල්බට්

Covid-19 ‘එක් වරකට වඩා ආසාදනය විය හැකියි’- මහාචාර්ය සේරා ගිල්බට්
Spread the love

නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි.

රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම පිණිස පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය ඒ බව කියා සිටියේ බීබීසී රූපවාහිනියේ The Andrew Marr Show වැඩසටහන සමඟ අදහස් දක්වමිනි.

මේ අතර ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලන්ඩන් නුවර වෙසෙන අනුර කළුබෝවිල පවසන්නේ තමන්ට දෙවෙනි වරටත් කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට හෝ සති තුනකට ආසන්න කාලයක් රෝගය සිරුර තුළ පවතින බව පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බවය.

Anura Kalubowila's profile photo, Image may contain: 1 person
Anura Kalubowila
on Saturday

මෙය මගේ පෞද්ගලික කාරනාවක් වුවත් මින් ඔබට යම් සෙතක් හෝ යමෙකුගේ ජීවිතය බේරීමට උපකාරයක් වේ යයි සිතන නිසාම පමණක් ඔබත් සමග එය බෙදා ගැනීමට තීරණය කලෙමි. මගේ බිරිඳට Covid Positive වී දැනට සති තුනකට ආසන්නය, පුතාට ටිකක් අඩුවෙන් රෝග ලක්ෂණ ආවත් මාහට බිරිඳටත් වඩා තදින් ලක්ෂණ මතුවිය (Loss of Taste & Smell, Headache, Fever, Severe Body Ache & Persistent Dry Cough). කෙසේ වෙතත් මා පසුගිය දින දෙක තුනෙහි ඉතා සතුටින් සිටියේ මගේ රෝගලක්ෂණ පහවී යනබව දැනුනු නිසාවෙනි. මීට දින කිහිපයකට පෙර අලුතින් පිහිටවූ NHS Key Worker Testing Scheme එක හරහා මා පෙරදින එනම් 16/04/2020 දින Chessington Covid Testing Centre එක තුලදී නැවත test එකකට භාජනය විය. ඊට හේතුවුයේ මාදැන් සුව නිසාත් මාහට නැවත රැකියාවට යාමට උවමනා නිසාත් මා දැන් සුව බව සහ තවදුරටත් අසාදිතයකු නොවේ යයි තහවුරු කරගැනීමත් උදෙසාය.

මා හට 17/04/2020 දින ලැබුණු පණිවිඩය අදහා ගැනීමට නොහැකි විය. ඉන් කියවුයේ මා නැවතත් Covid Positive රෝගියකු බවය. මින් පෙනීයන්නේ රෝගලක්ෂණ වැලන්දී අසන්න වශයෙන් සති 3 කට පසුවත් වයිරසය ශරීර ගතවී පවතින බව හෝ නැවතත් මා අලුතින් ආසාදීත වී ඇතිබවයි. NHS Guidelines වලට අනුව රෝගලක්ෂණ වලින් දින 7 කට පසු 8 වන දින නැවත වැඩට යායුතුය. මා සති දෙකක නීරෝදායනයෙන් පසු පහුගිය සතිය නිවසේ සිට වැඩකලෙමි. Guidelines follow කර මම වැඩට ගියේනම් බොහෝ දෙනෙකුට වෛරසය ලබා දීමට ඉඩතිබුනි. දැන් හතරවන සතිය පටන්ගෙන ඇත. අදහාගනීමටත් බැරිලෙස වෛරසය තාමත් මා තුලය. බොහෝ Covid Management Guidelines සහ ගනුලබන ක්රියාමාර්ගයන් පලරහිත බවට මීටත් වඩා කුමන උදාහරණද?

මෙය මා පළකරන්නේ ඔබට කියවා දැනුවත්වීමට පමණි. මෙය හිතට ගන්න – කවුරු මොනවා කීවත් Covid නැවත අසාදනය වීමට හෝ වෛරසය දවස් 14 කට වඩා ශරීරයේ රැදී සිටීමට බොහෝ ඉඩකඩ ඇතිබවට මාගේ උදාහරණය ප්රමාණවත් යයි හොඳින් පෙනේ. එමනිසා ලොව පවතින Covid Management Strategies ගැන වගකිවයුත්තන් කල් නොමරා නැවත සිතාබැලිය යුතුය… ලොව නැවතත් ආරක්ෂාකාරී සහ සාමකාමී වනතුරු Fun ගැනිල්ල පැත්තක තබා වෙනදේ ගැන විමසිල්ලෙන් & පරිස්සමින් ඉන්න කියා ඉල්ලමි… ඔබ වෛරසයේ ගොදුරක් නොවේයැයි කිසිවිටෙකත් නොසිතන්න. ඔබ මෙම වෛරසයෙන් මියගියදාට Fun ගන්න කිසිවෙක් ඔබේ පවුලට පිළිසරණට නොපැමිණෙනු ඇත. එනිසා වගකීමෙන් ක්රියා කරන ලෙස හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි. මෙය කියවුවාට ස්තුතිය. සැමට බුදුසරණයි – මම අනුර කළුබෝවිල.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ රෝග ලක්ෂණ පළකරන සියලු දෙනා පරීක්ෂාවට ලක් නොකෙරුණද, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ රැකියාවේ නිරතව සිටින බැවින් දෙවතාවක්ම පරීක්ෂාවට ලක්වීමට ඔහුට අවස්ථාව හිමි වී තිබේ.

“මා සති දෙකක නීරෝධායනයෙන් පසු පහුගිය සතිය නිවසේ සිට වැඩකලෙමි. Guidelines follow කර මම වැඩට ගියේ නම් බොහෝ දෙනෙකුට වෛරසය ලබා දීමට ඉඩ තිබිණි. දැන් හතරවන සතිය පටන්ගෙන ඇත. අදහාගනීමටත් බැරිලෙස වෛරසය තාමත් මා තුලය. බොහෝ Covid Management Guidelines සහ ගනු ලබන ක්‍රියාමාර්ගයන් පලරහිත බවට මීටත් වඩා කුමන උදාහරණද?,” යනුවෙන් ද අනුර කළුබෝවිල සිය සටහනේ දක්වා තිබේ.

කෝවිඩ් 19 රෝගය එක් වරක් වැළඳීම මගින් රෝගයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක් ද පවසා තිබුණි.

එන්නතක් ‘සැප්තැම්බරයේ’

නව කොරෝනාවෛරසයට එන්නතක් නිපදවීම පිණිස ලොව පුරා රටවල් ගණනාවක විශේෂඥයින් පරීක්ෂණ පවත්වමින් සිටින අතර මහාචාර්ය සේරා ගිල්බට් පවසන්නේ දැනට පවතින තත්ත්වය යටතේ, නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවය.

රෝග ලක්ෂණ

කෙසේ වුවත් එන්නත අත්හදා බැලීම පිණිස ඉදිරිපත්වන වයස අවුරුදු 18-55 ත් අතර පිරිස යොදාගෙන විවිධ ක්‍රමවේද ඔස්සේ එය අත්හදා බැලීම පිණිස දීර්ඝ කාලයක් ගතවන බව මහාචාර්යවරිය සවිස්තරව පැහැදිලි කළාය.

ඇය පවසන පරිදි, රෝගය පැතිරීම අඩුවීම මෙන්ම ප්‍රමාණවත් එන්නත් නිපදවීමට අපොහොසත්වීම එහිදී මතුවිය හැකි ප්‍රධාන බාධකයන්ය.

සිය කණ්ඩායම මේ වනතුරු එන්නතක් අත්හදා බලා නොමැති වුවත්, මේ සතිය අග වනවිට එන්නත අත්හදා බැලීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද මහාචාර්යවරිය විශ්වාසය පළකරන්නීය.

“අපි දැන් ඒ සඳහා එන්නත සෞඛ්‍යාරක්ෂිතද කියන අවසාන පරීක්ෂණය කෙරෙන තුරු සහ අවසාන අනුමැතිය ලැබෙන තුරු බලා ඉන්නවා. ඒ අතරේ ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙන අය බඳවා ගන්න අපිට අනුමැතිය ලැබිල තියෙනවා.”

කෙසේ වුවත් රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනය කළ හැකි බවට සහතික විය හැකි දැයි Andrew Marr කළ විමසීමට පිළිතුරු දුන් මහාචාර්යවරියගේ ප්‍රතිචාරය වූයේ, “නෑ කාටවත් එහෙම සහතිකයක් දෙන්න බැහැ. ඒ නිසයි අපි අත්හදා බැලීම් කරන්නේ, උත්සහ කරන්නේ. මම හිතන්නේ ඒක වෙන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම එන්නතක් ලැබේවි කියල කියන්න බෑ,” යනුවෙනි.

එන්නතක් සොයා ගනු ලැබුවද දස ලක්ෂ සංඛ්‍යාත එන්නත් නිපදවීම පිණිස මේ වනවිට බ්‍රිතාන්‍යය තුළ පහසුකම් නොමැති බැවින් ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයේ මෙන්ම ඖෂධ කර්මාන්තයේ ද සහය පැතීමට සිදුවනු ඇති බව ඇය තවදුරටත් සඳහන් කළාය.

Full text copied by BBC Sandesaya – 20/04/2020