නිරෝගී සමාජයක් තුළ එක් හඬකට වඩා තිබිය යුතුයි

නිරෝගී සමාජයක් තුළ එක් හඬකට වඩා තිබිය යුතුයි
Spread the love

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් -02 වන කොටස

හැඳින්වීම

ශිෂෙක් ඔහුගේ කෘතිය ආරම්භ කරන්නේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වත්මන් චීනයේ පවතින පාලනය කොතරම් දුරට වග කිව යුතුදැයි පෙන්වා දෙමිනි. එය අධිකාරීමය ධනවාදී පාලනයකි. මෙවන් වසංගතයක් පාලනය කිරීම සඳහා චීනයේ වැනි දරුණු පාලනයක් අවශ්‍ය වේය යන අවිචාරශීලී මතය මෙරටද දැන් පැතිර යමින් තිබේ. එබැවින්, මේ සම්බන්ධයෙන් ශිෂෙක් ගෙනෙන විශ්ලේෂණය විමසා බැලීම අපටද ප්‍රයෝජනවත් වනු ඇත. චීන මාදිලියේ ධනවාදයක් වෙත ගමන් කිරීමේ අපේක්ෂාව කොතරම් භයානක වූවක්දැයි වටහා ගන්නටද මේ විශ්ලේෂණය යම් දුරකට උපකාරී වනු ඇත.      

පළමු පරිච්ජේදය 

දැන් අපි හැමෝම එකම බෝට්ටුවේ

Dr. Li Wenliang. The Chinese doctor

ශිෂෙක් පළමුව වත්මන් කොරෝනා වසංගතය මුල් වරට සොයා ගත් චීන වෛද්‍යවරයෙකු වූ ලී වෙන්ලියෑන් “අපේ කාලයේ අව්‍යාජ වීරයෙකු” ලෙස හඳුන්වා දෙයි (ඉතාම ඉක්මනින් වෙන්ලියෑන්ගේ ප්‍රකාශ චීනය තුළ වාරණයට ලක් කෙරිණ). එසේම ඔහුව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී භාවිතයන් හෙළි කිරීමෙන් රාජ්‍ය මර්දනයට ඉලක්ක වූ චෙල්සි මෑනින් සහ එඩ්වර්ඩ් ස්නෝඩන් සමග සසඳයි. ඔහුගේ මරණය අති මහත් සමාජ කෝපයක් ජනිත කිරීම පුදුමයක් නොවේ. 

Loading...

ඉන්පසුව, චීන රාජ්‍යය මෙම වසංගතය සමග ගණුදෙණු කළ ආකාරය සම්බන්ධයෙන් හොං කොංහි වෙසෙන ජන මාධ්‍යවේදිනියක වන වෙර්නා යූ කළ ප්‍රකාශයක් ශිෂෙක් උපුටා දක්වයි: 


“චීනය කතා කිරීමේ නිදහසට ගරු කළේ නම්, කොරෝනා වසංගතයක් බිහි නොවනු ඇත. චීන පුරවැසියන්ගේ කතා කිරීමේ නිදහස සහ සෙසු මූලික අයිතීන් ගරු කරනු නොලැබේ නම්, මෙවන් වසංගත යළිත් නිර්මාණය වනු ඇත…චීනයේ මානව අයිතීන් සෙසු ලෝකය සමග එතරම් සම්බන්ධයක් නොමැති බැව් පෙනෙයි. නමුත්, අපට මෙම අර්බුදයෙන් පෙනී යන පරිදි  චීනය තම පුරවැසියන්ගේ නිදහස අහිමි කර දැමූ විට ව්‍යසනයක් සිදු විය හැකි විය. මේ ජාත්‍යන්තර ප්‍රජාව මෙම ගැටළුව බරපතලව භාර ගත යුතු වෙලාවයි..”     

මෙය සත්‍යයකි; ශිෂෙක් පවසයි. චීනයේ රාජ්‍ය යාන්ත්‍රණය සහමුලින්ම ක්‍රියාත්මක වන්නේ චීන ජනරජයේ සමාරම්භකයා වූ මාවෝ සේතුං ගේ ප්‍රධාන උදෘතයකට එරෙහිව යමිනි:

“ජනතාව විශ්වාස කරන්න!”, මාවෝ පැවසීය.

නමුත්, දැන් චීන ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ ජනතාව විශ්වාස නොකළ යුතුය යන ප්‍රස්තුතය මත පිහිටාය. ජනතාවට ආදරය කළ යුතුය; ඔවුන්ව ආරක්ෂා කළ යුතුය; රැක බලා ගත යුතුය, පාලනය කළ යුතුය…නමුත්, විශ්වාස නොකළ යුතුය. මේ චීන ආණ්ඩුව පාරිසරික අරගල සම්බන්ධයෙන් සහ කම්කරුවන්ගේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයම කූට ප්‍රාප්තියට පත් වීමකි. 

ශිෂෙක් මෙහිදී චීන බලධාරීන් ඔවුනගේ විවේචකයින්ට එරෙහිව කටයුතු කරන ආකාරය නාට්‍යානුසාරී ලෙස ගෙන හැර දක්වයි. එම විවේචකයා පරිසර ක්‍රියාකාරිකයෙකු, මාක්ස්වාදී ශිෂ්‍යයෙකු, ජාත්‍යන්තර පොලීසියේ ප්‍රධානියෙකු, ආගමික දේශකයෙකු, හොං කොංහි ප්‍රකාශකයෙකු හෝ ජනප්‍රිය සිනමා නිළියක විය හැකිය. ඒ කවරෙකු වුවද ආණ්ඩුව විවේචනය කිරීමෙන් පසුව සති කිහිපයකට ඔහු හෝ ඇය අතුරුදහන් වේ; එම තැනැත්තා යළි මහජනයා අතරට එන්නේ ඔවුනට එරෙහි සුවිශේෂී චෝදනා ඉදිරිපත් වන අතරමය.

මෙම දිග් ගැසුණු නිහඬතාවයේ යුගය මගින් ලබා දෙන ප්‍රධාන පණිවිඩයක් තිබේ. එනම්, බලය පවත්වාගෙන යනු ලබන්නේ විනිවිද යා නොහැකි ආකාරයකින් බවයි; ඒ කිසිවක්ම ඔප්පු කළ යුතු නොවන පරිද්දෙනි. මෙම මූලික පණිවිඩය ලබා දී තත්පර කිහිපයකින් පසුව එම සිද්ධියට අදාළ නීතිමය හේතු දැක්වීම පැමිණේ.  නමුත්, මාක්ස්වාදී ශිෂ්‍යයින් අතුරුදහන් වීම සුවිශේෂී වේ. සෑම අතුරුදහන් කිරීමක්ම සිදුවන්නේ රාජ්‍යයට තර්ජනයක් වන ක්‍රියාකාරීත්වයන්හි යෙදෙන්නේ යැයි කිසියම් ආකාරයකින් හඳුනාගත හැකි පුද්ගලයන්ට අදාළවය.

නමුත්, අතුරුදහන් කිරීමට ලක්වන මාක්ස්වාදී ශිෂ්‍යයින් ඔවුනගේ විවේචනාත්මක ක්‍රියාකාරීත්වයන් යුක්ති සහගත කරගන්නේ රාජ්‍යයේ නිල දෘෂ්ටිවාදයම පරිශීලනය කිරීමෙනි. කොමියුනිස්ට් පක්ෂ නායකත්වය මෙම ශිෂ්‍යයන් කෙරෙහි දක්වන්නේ ත්‍රාසයට පත් ප්‍රතිචාරයකි. එම ප්‍රතිචාරය පන ගැන්වෙන්නේ ශිෂ්‍ය කණ්ඩායම් සහ කම්කරුවන් අතර තිරස් සබඳතා ගොඩ නගමින්ද, මාක්ස්වාදය මත පදනම් වූ ඇතැම් පැරණි පක්ෂ ක්‍රියාධරයන්ගේ සහ හමුදාවේ කොටස්වල පවා අනුකම්පාව දිනා ගනිමින්ද ක්‍රම ක්‍රමයෙන් නිර්මාණය වන ස්වාධීන සංවිධාන ජාලයක් පිළිබඳ අවතාර දැකීමෙනි. එවන් සංවිධාන ජාලයක් කොමියුනිස්ට් පක්ෂ පාලනයේ සුජාතභාවය සෘජුවම බිඳ හෙලනු ඇත; එම පාලනය ව්‍යාජයක් ලෙස ප්‍රතික්ෂේප කර දමනු ඇත.  

එබැවින්, මෑත වසරවලදී චීන ආණ්ඩුව “මාවෝවාදී” වෙබ් අඩවි රැසක් වසා දැමීමත් විශ්ව විද්‍යාලවල මාක්ස්වාදී විවාද කණ්ඩායම් තහනම් කිරීමත් පුදුමයට කරුණක් නොවේ. අද දිනයේ යමෙකු චීනය තුළ කරන්නට වඩාත්ම බිය විය යුතු කාරණය වන්නේ රාජ්‍යයේ නිල දෘෂ්ටිවාදය බරපතල ලෙස විශ්වාස කිරීමය. චීනය දැන් එවන් ස්ථාවරයක් දැරීම වෙනුවෙන් වන්දි ගෙවමින් සිටී.

මීළඟට ශිෂෙක්ගේ අවධානය යොමු වන්නේ වසංගතය පාලනය කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් පැවතිය යුතු වීමත් ඒ සමගම ජනතාවගේ කතා කිරීමේ නිදහස ආරක්ෂා විය යුතු වීමත් යන පරස්පර තත්ත්වය තේරුම් කිරීමටය.

ඔබ සමාජ මාධ්‍ය, ව්‍යාජ පුවත් සහ සැබෑ පුවත් යන සියල්ලම මිශ්‍ර කරගෙන සිටී නම්, එබැවින් ප්‍රවෘත්ති පිළිබඳව තවදුරටත්  විශ්වාසයක් තැබිය නොහැකි නම්, ඔබ මේ වසංගතය සමග සටන් කරන්නේ කෙසේද?”

කොරෝනා වසංගතය පාලනය කරන්නට නොහැකි වුව හොත්, එය ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකට පැතිර යා හැකිය.” මෙසේ පවසන්නේ හොං කොංහි වෙසෙන මහජන සෞඛ්‍ය සහ වසංගත රෝග විශේෂඥයෙකු වන ගේබ්‍රියෙල් ලෙයුන් ය.

“විද්‍යාත්මක ප්‍රජාව රෝගය අලුතින් පැතිර යාම සම්බන්ධයෙන් වැඩ කරන අතරතුර ජනතාව තමන්ගේ ආණ්ඩුව ගැන විශ්වාසය තැබිය යුතු” යැයි ඔහු පවසයි. ඔහු මෙලෙස විමසයි: 

“ඔබ සමාජ මාධ්‍ය, ව්‍යාජ පුවත් සහ සැබෑ පුවත් යන සියල්ලම මිශ්‍ර කරගෙන සිටී නම්, එබැවින් ප්‍රවෘත්ති පිළිබඳව තවදුරටත්  විශ්වාසයක් තැබිය නොහැකි නම්, ඔබ මේ වසංගතය සමග සටන් කරන්නේ කෙසේද?”

“ඔබට දැන් අමතර විශ්වාසයක් වුවමනාය; අමතර සහයෝගීතා හැඟීමක් වුවමනාය; යහපත් චේතනාව පිළිබඳ අමතර හැඟීමක් වුවමනාය; ඒ සියල්ලම දැන් සහමුලින්ම නැති නාස්ති වී ගොස් තිබේ.” 

වෛද්‍ය ලී මිය යාමට පෙර රෝහලේ සයනය මතදී මෙලෙස පැවසීය:

නිරෝගී සමාජයක් තුළ එක් හඬකට වඩා තිබිය යුතුය. සෙසු කට හඬවල් ඇසීම හදිසි අවශ්‍යතාවකි.

නිරෝගී සමාජයක් තුළ එක් හඬකට වඩා තිබිය යුතුය. සෙසු කට හඬවල් ඇසීම හදිසි අවශ්‍යතාවකි.

මෙහිදී ශිෂෙක් වහාම මෙයට තවත් කරුණක් එකතු කරයි; එනම්, මෙසේ හඬවල් රැසක් පැවතිය යුතුය යන්නෙන් බටහිර මාදිලියේ බහු-පක්ෂ ක්‍රමයක් අනිවාර්යයෙන්ම අදහස් නොවන බවයි. ඒ වෙනුවට එයින් අදහස් වන්නේ හුදෙක් පුරවැසියන්ගේ විවේචනාත්මක ප්‍රතිචාර සන්නිවේදනය කිරීමට විවෘත අවකාශයක් තිබිය යුතුය යන්නයි. 

අනවශ්‍ය භීතියක් ඇති වීම පාලනය කිරීම සඳහා කටකතාවලට වැට බැඳීමට රාජ්‍යයට සිදු වේය යන අදහසට එරෙහිව ඉදිරිපත් කළ හැකි ප්‍රති-තර්කයක් ඇත; එනම්, එවන් පාලනය කිරීමක් මගින්ම අවිශ්වාසය පැතිර යන්නේය යන්නයි; එමගින් තව තවත් කුමන්ත්‍රණ න්‍යායන් නිර්මාණය කෙරේ. මෙවැන්නක් සිදු වීම වැළැක්විය හැක්කේ සාමාන්‍ය ජනතාව සහ රාජ්‍යය අතර අන්‍යොන්‍ය විශ්වාසය මගින් පමණකි.                           

මෙහිදී ශිෂෙක් ඉදිරිපත් කරන තරමක් විවාදාත්මක අදහසක් නම් වසංගත තත්ත්වයක් තුළදී ශක්තිමත් රාජ්‍යයක් වුවමනා වන බවයි. මන්ද යත්, නිරෝධානය වැනි මහා පරිමාණ ක්‍රියා මාර්ග මිලිටරි විනයක් සහිතව කළ යුතු නිසාය. චීනයට මිලියන ගණනක ජනයා නිරෝධානය කළ හැකි විය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ එතරම්ම පරිමාවක වසංගතයක් පැතිර ගිය හොත් ඔවුනට මීට සමාන ක්‍රියා මාර්ග ගත නොහැකි වනු ඇතැයි ශිෂෙක් පවසයි (ඔහු මේ පරිච්ජේදය ලියූ කාලය වන විට එක්සත් ජනපදයේ කොරෝනා වසංගතය එතරම් දුරට පැතිර ගොස් නොතිබුණා විය යුතුය). 

ඔහු මෙලෙස ලියයි: “එක්සත් ජනපදයේ ආර්ථික නිදහස්වාදීන්ගේ කල්ලි රැසක් අත්වල ආයුධ දරාගෙන නිරෝධානය යනු රාජ්‍යයේ කුමන්ත්‍රණයක් යැයි සැක කරමින් පිටතට පැමිණීමට සටන් කිරීමක් පරිකල්පනය කිරීම අසීරු නොවනු ඇත” (ශිෂෙක්ගේ කෘතිය ප්‍රකාශයට පත්ව දින කිහිපයක් තුළ එක්සත් ජනපදයේ ටෙක්සාස්, කැලිෆෝනියා, පෙනිසිල්වෙනියා යනාදී නගරවල සැබවින්ම එවන් ලොක් ඩවුන් විරෝධී උද්ඝෝෂණ දැක ගත හැකි විය). 

රට අගුළු දැමීමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ

ඔහු ඉන්පසුව ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කරයි: “වඩ වඩාත් කතා කිරීමේ නිදහස ලබා දීමෙන් වසංගතය ආරම්භ වීම වැළැක්විය හැකිව තිබුණේද? නොඑසේනම්, ලෝකය ගලවා ගැනීම සඳහා හුබෙයි ප්‍රදේශයේ සිවිල් නිදහස කැප කරන්නට චීනයට බල කෙරුණේද?” 

ශිෂෙක් පවසන්නේ එක්තරා අරුතකින් ඉහත විකල්ප දෙකම සත්‍ය බවය. ඔහුට අනුව, මෙහිදී අප තවත් අසීරුවට පත් වන කාරණය වන්නේ “යහපත්” වූ කතා කිරීමේ නිදහස “අයහපත්” වූ කටකතා වලින් වෙන් කර ගැනීමේ පහසු මගක් නොතිබීමයි. “චීන බලධාරීන් නිතරම සත්‍යය සලකන්නේ කටකතා ලෙසින්” යැයි විවේචකයෝ චෝදනා කරති; යමෙකු මෙයට එකතු කළ යුතු දේ වන්නේ නිල මාධ්‍ය සහ ඩිජිටල් අවකාශයේ විශාල පෙදෙසක් දැනටමත් පිරී ඇත්තේ කටකතා වලින්ය යන්නයි.        

රුසියාවේ ප්‍රධාන ජාතික රූපවාහිනී නාලිකාවක් වන Channel 01 මේ සඳහා කැපී පෙනෙන නිදසුනක් සපයයි. එය තම ප්‍රධානතම සන්ධ්‍යා ප්‍රවෘත්ති වැඩ සටහන වන “ව්රෙම්යා” (කාලය) වැඩ සටහන තුළ කොරෝනා වසංගතයට අදාළ කුමන්ත්‍රණ න්‍යායන් වෙනුවෙන් කාල පරාසයක් වෙන් කළේය. එම පුවත් වාර්තා කරනු ලබන්නේ උභයාර්ථ දනවන ආකාරයකටය. මතුපිටින් පෙනෙන්නේ කුමන්ත්‍රණ න්‍යායන් හෙළිදරව් කරන්නාක් සේය; නමුත්, ඒවා තුළ සත්‍යයේ හරයක් ගැබ්ව තිබේය යන හැඟීම ප්‍රේක්ෂකයා තුළ ඇති කරනු ලැබේ. එහි කේන්ද්‍රීය පණිවිඩය වන්නේ මෙයයි; කොරෝනා වසංගතය පිළිබඳව අවසාන වශයෙන් චෝදනාව එල්ල විය යුත්තේ කිසියම් බටහිර සහ විශේෂයෙන්ම එක්සත් ජනපද රහසිගත ප්‍රභූ කණ්ඩායමකටය. මෙය ප්‍රචාරය කෙරෙන්නේ සැක සහිත කටකතාවක් ලෙසිනි. “පිස්සුද, ඒක ඇත්තක් වෙන්න බෑ..ඒත් ඉතිං, කව්ද දන්නේ..?”       

සැබෑම සත්‍යය සඟවා දැමීමෙන් අරුම පුදුම ලෙස එහි සංකේතීය .වලංගුතාව අහෝසි වී යන්නේ නැත. මෙයට එකතු කළ යුතු තවත් කරුණක් ඇත. එනම්, ඇතැම්විට, මහජනයාට සම්පූර්ණ සත්‍යය නොපවසා සිටීමෙන් තව තවත් මිනිසුන් වසංගතයට ගොදුරු වීමට හේතු විය හැකි ආකාරයේ සමාජ භීතිකාවේ රැල්ලක් වැළැක්විය හැකිය යන්නයි; අප එයද හඳුනාගත යුතුය. මේ තලයේදී ගැටළුව විසඳිය නොහැකිය. මෙයින් මිදිය හැකි එකම මාර්ගය වනුයේ ජනතාව සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර අන්‍යොන්‍ය විශ්වාසය පමණි. චීනය තුළ තදබල ලෙස නොපවතින්නේද එයයි.   

මීළඟට ඔහුගේ අවධානය යොමු වන්නේ වසංගතය පාලනය කිරීම සඳහා වෙළඳපල ක්‍රියාවලිය දක්වන්නා වූ අසමත්භාවය ගැනයි. ශිෂෙක් මෙසේ ලියයි:

ලෝක පරිමාණව වසංගතය පැතිර යන විට සමාජ වියවුල සහ සාගතය වැළැක්වීමට වෙළඳපල යාන්ත්‍රණයන් ප්‍රමාණවත් නොවනු ඇති බව අප වටහා ගත යුතුය. අද දිනයේ අප බොහෝ දෙනෙකු “කොමියුනිස්ට්” යැයි හඳුන්වනු ලබන ආකාරයේ ක්‍රියාමාර්ග ඉදිරියේදී ගෝලීය තලයක් තුළ සලකා බැලීමට සිදු වනු ඇත: නිෂ්පාදනය සහ බෙදා හැරීම වෙළඳපල ඛණ්ඩාංකවලට පිටතින් සම්බන්ධීකරණය කරන්නට සිදු වනු ඇත.

මෙහිදී යමෙකු 1840 ගණන්වලදී ඇති වූ අයිරිෂ් අල වගාව ආශ්‍රිත දුර්භික්ෂය සිහිපත් කර ගත යුතුය. එයින් අයර්ලන්තයේ මහා විනාශයක් ඇති විය. මිලියන් ගණනක් ජනයා එක්කෝ මිය ගියහ; නැතහොත් රට හැර දා ගියහ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙළඳපල යාන්ත්‍රණයන් ගැන විශ්වාසය තබා සිටියේය; අති විශාල ජනතාවක් පීඩාවට පත්ව සිටියදීත් අයර්ලන්තයෙන් පිටතට ආහාර අපනයනය කරන ලදී. “අද දිනයේ එවන් ආකාරයේ මෘග විසඳුම් තව දුරටත් පිළි ගත නොහැකි වේය යන්න අපගේ අපේක්ෂාවයි.”

පරිච්ජේදයේ අවසන් කොටසේදී කතුවරයා ඔහුට සුපුරුදු ලෙස දේශපාලන ආර්ථික විශ්ලේෂණයේ සිට සාහිත්‍ය කරා සුඛනම්‍ය ලෙස මාරු වේ.  

ඔහුට අනුව, යමෙකුට වත්මන් කොරෝනා වසංගතය එච්.ජී. වේල්ස්ගේ “The War of the Worlds” (1897) නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ  කණපිට හැරීමක් ලෙස කියැවිය හැකිය. එම නවකතාව තුළ කියැවෙන්නේ අඟහරු ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමක් ගැනය. නමුත්, ආක්‍රමණික අඟහරු ජීවීන් සියළු දෙනාම මරණයට පත්ව ඇති බව අසරණභාවයට පත්ව සිටින කතාකරුවා අවසානයේදී දැන ගනී. ඔවුනගේ මරණයට හේතුව වන්නේ පෘථිවියේ ඇති එක්තරා වෛරසයකට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ඔවුන් සතුව නොතිබීමය. “මිනිසා සතු සියළු ආයුධවලින් පලක් නොවූ පසුවද ඔවුන් මරණයට පත් වූයේ දෙවියන් ඔහුගේ මහා ප්‍රඥාවෙන් මේ මිහිතලය මත ස්ථානගත කළ නොවටිනාම දෙයිනි.” 

මෙහිදී සටහන් කර ගත යුතු වැදගත් දෙයක් ඇතැයි ශිෂෙක් අපට පෙන්වා දෙයි. එනම්, වෙල්ස් පවසන පරිදි, මේ කතාව ඔහුගේ මනසේ පැන නැගුණේ ඔහු තම සහෝදරයා වූ ෆ්රෑන්ක් සමග කළ සාකච්ජාවකදීය; ඔවුන් සාකච්ජා කර ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් තස්මේනියාවේ ස්වදේශිකයන් වෙත මුදා හළ ව්‍යසනකාරී බලපෑම ගැනය. ඔහු එවිට මෙලෙස කල්පනා කොට ඇත; “බ්‍රිතාන්‍යයන් තස්මේනියාවට කළ දෙය අඟහරු ජීවීන් බ්‍රිතාන්‍යයට සිදු කළේ නම් කුමක් සිදු විය හැකිව තිබුණේද?” (බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් 19 වන සියවසේ පළමු දශක තුන තුළදී තස්මේනියාවේ ස්වදේශික ඇබෝරෝජිනිස් ජනයා සමූල ඝාතනය කළහ – පරිවර්තක). කෙසේ වුවත්, තස්මේනියානුවන් සතුව ආක්‍රමණිකයන්ව පරාජය කිරීම සඳහා අවශ්‍ය මාරාන්තික වෛරස තිබුණේ නැත. 

මිනිස් වර්ගයාගෙන් විශාල පිරිසක් විනාශ කොට දමන්නා වූ මෙම වසංගතය වේල්ස්ගේ නව කතාව අනෙක් පැත්තට හැරවීමක් ලෙස සැලකිය යුතු යැයි ශිෂෙක් යෝජනා කරයි. පෘථිවි තලය මත අනුකම්පා විරහිත ලෙස ජීවිත සූරා කනු ලබන්නා වූද, වනසා දමන්නා වූද “ආක්‍රමණික අඟහරු ජීවීන්” වන්නේ මානවයින් වන අපමය. ආක්‍රමණිකයන් වන අපගෙන් ආරක්ෂා වීම සඳහා පෘථිවියේ ඉතාම බුද්ධිමත් ජීවීන් සතුව තිබූ සියළුම අවි ආයුධ අසාර්ථක වූ පසුව “දෙවියන් ඔහුගේ මහා ප්‍රඥාවෙන් මේ මිහිතලය මත ස්ථානගත කළ නොවටිනාම දෙයින්” අපව තර්ජනයට පත් කෙරී ඇත; ඒ නොවටිනා දෙය වනාහී අන්ධ ලෙස නැවත නැවතත් තමන්ව නිර්මාණය කර ගන්නා සහ වෙනස් කර ගන්නා මෝඩ වෛරසයන්ය.  

අප සැබවින්ම කොරෝනා වසංගතය විය හැකියාවක් වූයේ කවර සමාජ තත්ත්වයන් යටතේද යන්න විස්තරාත්මකව විශ්ලේෂණය කළ යුතුව තිබේ. අද දිනයේ පවත්නා අන්තර්-සම්බන්ධිත ලෝකය තුළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සිංගප්පූරුවේදී යම් පුද්ගලයෙකු හමු වී, ආපසු එංගලන්තය බලා ගොස්, ප්‍රංශයේ හිම ක්‍රීඩා කරන්නට යන්නේ යැයි සිතමු; ඔහු ඒ අතර තවත් කිහිප දෙනෙකුට රෝගය වහනය කරමින් යනු ඇත. මෙහිදී ප්‍රශ්න කිරීම සඳහා පෙළ ගැසී සිටින සුපුරුදු සැක කරුවන් වන්නේ ගෝලීයකරණය, ධනවාදී වෙළඳපල, ධනවතුන්ගේ අනිත්‍ය දිවි පැවැත්ම යන මේවාය.        

කෙසේ වුවද, මින්පසුව ශිෂෙක් ඔහුම ඉහත පැවසූ අදහසක් සමග බැලූ බැල්මට පරස්පර යැයි පෙනෙන කරුණක් තම විශ්ලේෂණයට එක් කරයි. (එය ඔහුගේ ලිවීම්වල ආවේණික ගති සොබාවයක්ය යන්න ඇතැම් විවේචකයෝ පවසති – පරිවර්තක) ඔහු පවසන්නේ සමකාලීන කොරෝනා වසංගතය කිසියම් ගැඹුරු අරුතක් ඇති යමක් යැයි සිතීමේ පෙළඹුමට අප ඉඩක් නොදිය යුතු බවයි. ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කරන්නේ මෙම වසංගතය වනාහී මිනිසා මිහිතලයේ වෙසෙන සෙසු ජීවයන් අනුකම්පා විරහිත ලෙස සූරා කෑම හේතු කොටගෙන මිනිස් වර්ගයාට ලැබුණු කුරිරු නමුත් සාධාරණ දඬුවමක් වේය යන අදහසයි.

අප මේ වසංගතයේ එවන් සැඟවුණු අරුතක් සොයන්නේ නම්, අප පූර්ව-නූතන තැනක ස්ථානගත වනු ඇත. මන්ද යත්, අප එහිදී අපගේ විශ්වය සලකන්නේ සන්නිවේදනය කළ හැකි සගයෙකු ලෙසිනි. අපගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබුණද, අප දඬුවමට ලක්ව තිබේය යන කාරණයෙන් තහවුරු කරනු ලබන්නේ විශ්වය (නැතහොත්, එහි සිටින කිසිවෙකු) අප සමග සබඳතා පවත්වමින් සිටින බවයි. එවිට යම් ප්‍රගාඪ අරුතකින් අප වටිනා කියන අයවළුන් බවට පත්වේ. 

නමුත්, සැබවින්ම අපට පිළි ගැනීමට අසීරු කාරණය වන්නේ සමකාලීන වසංගතය මුළුමනින්ම ස්වාභාවික අහඹුවක ප්‍රතිපලයක්ය යන්නයි; එය නිකම් සිදු විය; එහි කිසිදු ගැඹුරු අරුතක් නැත. මහා විශාල දේවල්වල පිළිවෙල තුළ තබා බැලූ කල්හි, අප නිකම් සත්ව වර්ගයක් පමණි; අපගේ කිසිදු සුවිශේෂී වැදගත්කමක් නැත. 

පළමු පරිච්ජේදයේ අවසන් ජේදයේදී ශිෂෙක් අපට මෑතකාලීන සිත් ගන්නා සුළු සිදුවීමක් සිහිපත් කරයි. එනම්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කොරෝනා වෛරසයෙන් එල්ල වූ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් තම දිගුකාලීන සතුරා වන පලස්තීනයේ පාලකයින් හට සහාය දැක්වීමටත් ඔවුන් සමග සම්බන්ධීකරණයක් පවත්වා ගන්නටත් හදිසියේම ඉදිරිපත් වීමයි. ඒ කිසිදු යහපත් භාවයක් නිසා හෝ මානවීය කාරණා සැලකිල්ලට ගැනීම නිසා නොවේ. එම ප්‍රදේශයේ යුදෙව්වන් සහ පලස්තීන ජාතිකයන් එකිනෙකාගෙන් වෙන් කළ නොහැකිය යන සරල කාරණය නිසාය. එක් කණ්ඩායමකට රෝගය වැළඳුන හොත්, අනෙක් කණ්ඩායමටද නියතයෙන්ම පීඩා විඳීමට සිදු වනු ඇත. 

ශිෂෙක් තම කෘතියේ පළමු පරිච්ජේදය අවසන් කරන්නේ මෙම වචනවලිනි.
අප දේශපාලනයට පරිවර්තනය කළ යුතු යථාර්ථය වන්නේ මෙයයි. මේ “ඇමෙරිකාව (හෝ අන් කවරෙකු) අංක එක”  වන්නේය යන උදෘතය අත් හැර දැමිය යුතු කාලයයි. මාර්ටින් ලූතර් කිංග් දැනට අඩ සියවසකට පෙර පැවසූ පරිදි, “අප විවිධ නැව් මගින් මෙහි පැමිණියා විය හැකිය; නමුත්, දැන් අප සැවොම සිටින්නේ එකම බෝට්ටුවේය.”      

ඉතිරි කොටස පසුවට        

පරිවර්තනය – සුමිත් චාමින්ද 

Loading...