මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න
Spread the love

සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත්

පසුගියදා හදිසියේ වාර්තා වූයේ මාවතගම ප්‍රදේශයෙන් මතුවූ පළඟැටි සේනාවක් භවබෝග කා දමමින් සැරිසරන බවයි. මාස කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට ඉන්දියාව දක්වා පැමිණ ඇති කාන්තාර පළඟැටියා පිළිබඳව මාධ්‍යය මගින් දැනුවත් කරතිබූ නිසා ප්‍රදේශවාසීන්ට එම පුවත මතක්වී මෙම කෘමි හානිය ගැන වඩාත් උනන්දුවූ බවක් පෙනිණ.

ප්‍රාදේශීය කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් විසින් වහාම තත්වය වාර්තා කල බැවින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුළු කණ්ඩායමක් මාවතගම ප්‍රදේශයට ගොස් හානියට පත් ප්‍රදේශ පරීක්ෂා කරන්නට යෙදුණි.

පළඟැටියා යනු මෙරටට අලුත් සත්වයෙක් නොවේ. විවිධාකාර පළඟැටි විශේෂ අතීතයේ සිට මෙරට ජීවත් වෙන අතර ඔවුන් සියල්ලෝම ශාක භාක්ෂකයෝය. බැලූ බැල්මට ඔවුන්ගෙන් හානියක් සිදුවෙන බව නොපෙනෙන්නේ ඔවුන් පරිසරයත්, අවට වෙසෙනා ස්වභාවික සතුරනුත් සමග තුලිතවී ගහන පාලනයකින් යුතු ජීවිතයක් ගතකරන බැවින්ය.

එසේ නමුත් හදිසියේ සිදුවෙන දේශගුණික වෙනසක් වැනි පාරිසරික සාධකයක් හමුවේ ඔවුන්ගේ බෝවීමේ සීග්‍රතාවය වැඩිවීම ස්වභාවිකය. ඒ හරහා ආක්‍රමණික තත්වයෙන් සතුන් බෝවේ. විද්වත් කණ්ඩායමට අවබෝධ වී ඇති ආකාරයට වර්තමානයේ සිදුවී ඇත්තේ එවන් අසාමාන්‍ය සතුන් බෝවිමකි.

අවට ජනතාව පවසා ඇති තොරතුරු වලට අනුව දැනට වසරකට පමණ ඉහතදී මෙම පළඟැටි උවදුර මෙම පළාත ආශ්‍රිතව තිබී ඇත. එහෙත් එය එතරම් ප්‍රබල නොවූ නිසා සමාජ අවධානයෙන් නොදැනුවත්වම ගිලිගී ගොස් ඇති බව පෙනේ. මෙම ලිපිය සම්පාදනය කරන මොහොත වනතුරු සත්වයාගේ විද්‍යාත්මක නම පැවසිය හැකි තරමට හඳුනාගෙන නැත. විදවතුන්ගේ අවධානයට මුල්වරට සත්වයා හසුවූයේ පසුගිය ඉරිදා නිසාය.

“සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත්. “

එසේ තම අදහස් ප්‍රකාශ කෙරුවේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවට එක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතායි. බිත්තරයෙන් පිටතට එන පළඟැටි පැටවුන් සුහුඹුලන් බවට පත්වීමට පෙර හැව හැලීම් කීපයක් සිදුකරනු ලබති. නිරීක්ෂණයට අනුව දැනට ඔවුන් සිටින්නේ අතරමැදි අවස්ථාවකය. නිසියාකාරව වැඩුණු පියාපත් දක්නට නොලැබෙන්නේ එබැවිනි.

මේ නිසාම පළඟැටියාගේ ඉක්මන් ව්‍යාප්තියක් තවම සිදුවන්නේ නැත. මන්දයත් දැනට සත්වයා පියාසර නොකර ශාක මත පැන පැන යමින් පැතිරෙන නිසාය. මේ මොහොතේ මර්දනය පහසුවන්නේද එබැවිනි. පොල් ගසක කඳ දිගේ මෙම ලාබාල සතුන් ඉහළට ඇවිද යන බවත්, ඔවුන් මේරූ පොල්කොළ පවා අනුභව කරනා බවත් තමා නිරීක්ෂණය කලබව මහාචාර්ය මාරඹේ පවසයි.

තත්වය එසේනම්, අනිවාර්යයෙන්ම පොල්ගසේ ලපටි කොටසට හානිවීම ගැන සැකයක් නැත. පොල් පර්යේෂණායතනයට කරුණු වාර්තා කිරීමෙන් පසු කඩිනම් ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණීමට නියමිත අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ඉතාමත් සැර අඩු වර්ගයේ කෘමිනාශක ඉසීමට වහාම කටයුතු කර තිබේ.

එය ස්පර්ශ කෘමිනාෂකයකි. ඒ හා ගැටෙන සතුන් මැරී යන බවද නිරීක්ෂණය කර තිබේ. ගැටලුවකට ඇත්තේ උස ගස්වල රැඳී සිටිනා සතුන් වෙත කෘමිනාශක යෙදිය හැකි ඉසින යන්ත්‍ර යනාදිය විශාල වපසරියකට සරිලන ප්‍රමාණයක් නොමැතිවීමයි. පොල් පර්යේෂණායතනයේ සහාය ලබාගැනීමට අදහස් කර ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් කෘෂි බලධාරීන් ජනතාවට උපදෙස් දෙන්නේ සතියක් පමණ යනතුරු කෘමිනාශක හා ගැටුණු ශාක කොටස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසයි.

බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ මේ පැමිණ සිටින්නේ කාන්තාර පළඟැටියාද යන්නය. මීට මාස කීපයකට පෙර එවන් අවදානමක් ගැන විදෙස් වාර්තා උපුටා ගනිමින් අප සඳහන් කළෙමු. එහෙත් එම සත්වයා තවමත් සිටින්නේ ඉන්දියාවේය. සුළං ධාරා ඔස්සේ මෙරටට පැමිණෙනවානම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේද නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වන අවස්ථාවේදීය. එම සුළං හමන්නේද ඔක්තෝබරයෙන් පසුවයි.

එසේ නමුත් අවදානමක් නැත්තේද නැත. පරික්ෂාකාරීව සිටීම අතවශ්‍ය කරුණකි. නාඳුනන ආගන්තුක පළඟැටි විශේෂයක් තම ගෙවත්තෙහි හෝ වෙනත් වගාවක් ආශ්‍රිතව දක්නට ලැබේනම් ඔබගේ යුතුකම වහාම කෘෂි බලධාරීන් දැනුවත් කිරීමයි. පේරාදෙණියේ පැලෑටි සංරක්ෂණ සේවය (0812388316) හෝ ගොවි සහන සේවාව (1920) අමතා දැනුම්දිය හැකිය.

වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටපුරා කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන් ආරම්භවී ඇති අවධියකදී පැමිණි මෙම පළඟැටි ආක්‍රමණය වහාම මර්දනය කිරීමටත්, ඉදිරියේ සිදුවියහැකි ආගන්තුක කෘමි ආක්‍රමණයක් වැලක්වීමටත් අවශ්‍ය සහාය ලබාදීම අතපසු නොකළ යුතු සමාජ වගකීමක් වනු ඇත. 

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය