පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු

පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු
Spread the love

ලංකාව තුළ වාර්ෂිකව සිදුවන ගැබ්ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බව හඳුනා ගෙන තිබෙනවා. මෙය අදාළ පවුලට සේම සමාජයට ද ගැටලූවක් වුවත් ඒ කෙරෙහි තවමත් බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවීම ගැටලුවක්.

ඊට හේතුව වන්නේ ‘සැලසුම් නොකළ හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන සෞඛ්‍ය, ආර්ථික ගැටලූවලට අමතරව ‘ගබ්සාව’ ද බහුලව සිදුවීමයි. මේ තත්ත්වයට මුහුණ නොදී ‘සැලසුම් කළ පවුලක්’ පවත්වා ගැනීමට වඩාත් පහසුව සහ සෞඛ්‍ය විද්‍යාත්මක විසඳුම වන්නේ ‘පවුල් සැලසුම්’ ක‍්‍රම යටතේ සාකච්ඡා කරන ‘උපත් පාලනය’යි. ඒත් කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ බහුතරයක් කාන්තාව උපත් පාලනය සම්බන්ධයෙන් ද ‘නිසි‘ දැනුවත්භාවයකින් තොර වීමයි.

අප මෙම ලිපි පෙළ මගින් බලාපොරොත්තු වන්නේ කාන්තා ඔබ වගේම පිරිමි පාර්ශ්වයත් (තනි අතින් අත්පොළසන් දිය නොහැකි නිසා) උපත් පාලනය ගැන විද්‍යාත්මකව දැනුවත් කිරීමයි.

කිරි දෙන මවුවරුන්ට වඩාත්ම සුදුසු පවුල් සැලසුම් ක‍්‍රමය – පවුල් සැලසුම් එන්නත

පවුල් සැලසුම් එන්නත ( ඩිපෝ මෙ‍ඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට්) DMPA යනුවෙන් හැඳින්වේ.

ඩිපෝප්‍රොවේරා යනු කුමක් ද ? – මෙය මාස 3කට වරක් එන්නත් කර ගනු ලබන හෝර්මෝන නිෂ්පාදනයකි. (ප්‍රොජෙස්ටරෝන්)  එක් වරකට DMPA මිලිග්‍රෑම් 150ක් ඔබගේ මාංශපේශීය තුළට විදිනු ලැබේ. හෝර්මෝනය ටිකින් ටික මාංශපේශියෙන් රුධිරයට පිට කරනු ලැබේ.

එය ක‍්‍රියාකරන්නේ කෙසේද ?

  • දරුවන් ලබන වයසේ සිටින කාන්තාවන් දින 28කට පමණ වරක් බිත්තරයක් (ඩිම්බ) ඔවුන්ගේ ඩිම්බ කෝෂ මගින් පිට කරනු ලැබේ. මෙම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක්වීමෙන් (සංසේචනය) ගර්භිණීභාවයක් ඇතිවේ. DMPA වල ප්‍රධාන ක්‍රියාව වන්නේ මෙම බිත්තරය (ඩිම්බය) පිටවීම වැළැක්වීමයි.
  • ඊට අමතරව එමගින් ගැබ්ගෙල ස්‍රාවයන් ඝනබවට පත් කරන බැවින් ශුක්‍රාණුවක් ප්‍රජනන පද්ධතිය තුළ ගමන් කිරීම අසීරු කරයි.
  • තවද එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය තුනී බවට පත් කොට සංසේචනය ඇතිවුවත් කළලය ගර්භාෂයේ තැන්පත්වීම වළක්වයි.

එහි සාර්ථකභාවය කෙසේ ද ?

  • කාන්තාව නොකඩවා, නියම කරන ලද  දිනයට පැමින එන්නත ලබාගතහොත්, අතිශයින් සාර්ථකය. 99.97% ක් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
  • ආර්තවයෙන් දින 5ක් ඇතුළත ලබාගත හොත් වහා ප්‍රතිඵල ලැබේ. එන්නත ලබාගෙන සතියක් කොන්ඩමයක් භාවිත කළ යුතුය.
  • ලිංගිකව බෝවන රෝගවලින් ආරක්ෂාවක් නොලැබෙන හෙයින් එම අවශ්‍යතාවය ඇති නම් කොන්ඩමයක් භාවිත කළ යුතුය.

එය ලබාගත හැකි ස්ථාන මොනවා ද ?

  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සායනවලින්
  • පවු‍ලේ ‍වෛද්‍යවරයාගෙන්
  • රජයේ සහ පෞද්ගලික රෝහල්වලින්
  • පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සායනයක්
  • පවුල් සංවිධාන සංගමයෙන්

එන්නත වඩාත් සුදුසු වන්නේ කාහට ද ?

  • කිරි දෙන මව්වරුන්ට
  • ලිංගික ක්‍රියාවලියට බලපෑමක් නොමැති ක්‍රමයක් උවමනා අයට
  • දරුවන් අතර පරතරයක් අවශ්‍ය අයට
  • ඊස්ට්‍රජන් ‍හෝර්මෝනය නුසුදුසු අයට

ඕනෑම කාන්තාවකට ඩිපෝ ප්‍රෝවේරා එන්නත ලබාගැනීම සුදුසු ද ?

  • නැත, පහත සදහන් අවස්ථාවලදී එය සුදුසු නැත.
  • ගර්භිණී නම්
  • පැහැදිලි හේතුවක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
  • අක්මා රෝග ඇත්නම්
  • පියයුරු පිළිකා ඇතිනම්

එන්නත ලබාගැනීම පටන් ගත යුත්තේ කවදාද ?

  • මසකට වරක් ඔපස්වීම ඇතිනම් එන්නත දෙනු ලබන්නේ චක්‍රයේ මුල් දින 5 ඇතුළත
  • මව්කිරි දෙන්නේ නම්,
    • ප්‍රසූතියෙන් සති 6කට පසු
  • ගබ්සාවක් නම්,
    • ගබ්සාව මුල් මාස 3 තුළ සිදු වී නම් ගබ්සාව සිදු වී සතියක් ඇතුළත
    • ගබ්සාව මාස 3කට පසුව සිදු වී නම් ගබ්සාව සිදු වී සති 4කට පසුව

එය දෙනු ලබන්නේ කෙසේ ද ?

  • මාස 3කට වරක් දෙනු ලැබේ. එන්නත දුන් ස්ථානය සම්බාහනය කිරීමෙන් වළකින්න.
  • සෑම විටම කුප්පියේ කල් ඉකුත්වන දිනය පරික්ෂා කරන්න.

නියමිත දිනට එන්නත සදහා පැමිණීමට නොහැකි වුවහොත් ?

  • අසාර්ථකවීම වැලැක්වීම සදහා සෑම දින 90කට වරක් ලබාගත යුතුය
  • කිසියම් හේතුවක් නිසා නියමිත  දිනට පැමිණීමට නොහැකි වුවහොත් එම දිනට දින 14කට පෙර ලබාගැනීම සුදුසුය.
  • යම් හෙයකින් නියමිත දිනට නික්ෂේපනය ලබාගත නොහැකි වුවහොත් එම දිනයෙන් සති 4ක් ඇතුළත වහාම එය ලබාගත යුතුය. නමුත් ගර්භිණී තත්ත්වයක් නැති බව තහවුරු කළ යුතුය.
  • සති 4කට වඩා පමාවුවහොත් දින 7ක් සංසර්ගයේ යෙදීමෙන් වළකින්න. නැතිනම් කොන්ඩමයක් භාවිතා කරන්න.

ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ

  • ඔසප්වීමේ වෙනස්වීම් ඇතිවිය හැක.
  • මසකට වරක් ඔසප්වීම ඇතිවනවා වෙනුවට අක්‍රමවත් ලේ වහනයක් ඇතිවිය හැක. මෙය කරදයක් වුවද දරුණු සංකුලතාවයක් නොවේ. ‍තවත් අයකුට ඔසප්වීම එන්නත ගන්නා  කාලයේදී නතර විය හැක. මෙය කලබල විය යුතු කරුණක් නොවේ. එන්නත භාවිතය නවත්වා මාස 6-18ක් අතර කාලය තුළ නැවත ඔසප්වීම සාමාන්‍යය ලෙස ඇතිවේ.
  • බර වැඩි වීම
    ආහාර රුචිය වැඩිවීම නිසා බර වැඩි විය හැක. සෞඛ්‍යමත් ආහාර වේලක් ගැනීමෙන් සහ ව්‍යායාම කිරීමෙන් මෙය පාලනය කරගත හැක.
  • හිසරදය සහ කරකැවිල්ල
  • පියයුරුවල මද වශයෙන් වේදනාව සහ විශාලවීම

එන්නත නැවැත් වූ පසු නැවත ගැබ් ගැනීම කොපමණ කලකින් ප්‍රමාද වේ ද?

සාමාන්‍යයෙන් මේ සදහා නික්ෂේපන ගැනීම නවත්වා මාස 7-12 දක්වා කාලයක් ගතවේ.

අප මෙම සම්පූර්ණම ලිපිය උපුටා ගත්තේ ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.