ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි.
ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි පත් වූයේ ඉන් අනතුරුවයි.
කමලා හැරිසන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇමරිකාව පුරා ජාතිවාදයට එරෙහි විරෝධතා පැවැත්වෙන අතර එහිදී දැඩි ලෙස චෝදනාවට ලක් වන ඇමරිකානු පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි.
කවුද මේ කමලා හැරිස්?

ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමෙයිකාවේ උපත ලැබූවෙකි.
දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිසන් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි.
ඉන්දීය උරුමය සමග හැදී වැඩුණු කමලා සිය මව ඉන්දියාවේ සංචාරය කරන විට ඇය සමග එම ගමන් සඳහා එක් විය. නමුත් සිය මව ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ට අනන්‍ය වූ සංස්කෘතියට අනුගත වූ බව කමලා පවසයි. තමන් සහ සිය නැගෙණිය ද එම සංස්කෘතියට හුරු කළ බව ඇය වැඩිදුරටත් කියා සිටී.
“තමන් කළු ජාතික දියණියන් දෙදෙනෙකු ඇතිදැඩි කරන බව මගේ මව හොඳින් වටහාගෙන සිටියා,” යනුවෙන් කමලා ‘he Truths We Hold’ නැමති සිය ස්වයං චරිතාපදානයේ සටහන් කර තිබේ.
ස්ථීර පදිංචිය සඳහා පැමිණි දෙවන මව්රට තම දියණියන් දෙදෙනා කළු කෙල්ලන් වශයෙන් දකිනු ඇති බව සිය මව දැන සිටි බව කමලා එහි පවසා තිබේ. එමෙන්ම තමා සහ නැගෙණිය ආත්ම විශ්වාසයක් සහිත අභිමානවත් කළු ජාතික කාන්තාවන් ලෙස උස්මහත් කිරීමේ අධිෂ්ඨානයෙන් සිය මව පසු වූ බවත් ඇය පවසයි.
කැලිෆෝනියා සෙනෙට් සභික කමලා හැරිස් මුල් වසරවලදී කෙටි කලක් කැනඩාවේ ද වාසය කර තිබේ. එවක ඇයගේ මව මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ගුරු රැකියාවක් ලබා ගත් අතර කමලා සහ නැගෙණිය මායා ද සිය මව සමග එහි ගියහ. වසර පහක කාලයක් ඔවුන් මොන්ට්‍රියල් හි පාසලක අධ්‍යාපනය ලැබූහ.
උසස් අධ්‍යාපනය ඇමරිකාවේ නිම කළ ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය වසර හතරකි. සිය ජීවිතය හැඩගැස්වීමට එම කාලය මහෝපකාරී වූ බව කමලා පවසයි.
සිය අනන්‍යතාව ගැටළුවක් නොවූ බව සඳහන් කරන ඇය තමන් හඳුන්වා ගනු ලබන්නේ “ඇමරිකානුවෙක්” වශයෙනි.
සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයන් යම් ස්ථානයකට ලඝු නොකළ යුතු බව කමලා 2019 වසරේදී ‘වොෂිංටන් පෝස්ට්’ වෙත පවසා තිබිණි.
නීති ක්ෂේත්‍රය ඔස්සේ ඉහළට

වසර හතරක් හාවර්ඩ් හි ගත කළ කමලා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හිමි කර ගත් අතර ඇලමෙඩා දිස්ත්‍රීක් නීතිපති කාර්යාලයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.
2003 වසරේදී ඇය ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිපති ධුරයට පත් විය. ඒ ඇය කැලිෆෝනියාවේ නීතිපති ධුරයට පත් පළමු කාන්තාව සහ කළු ජාතිකයා වීමට පෙරය. කැලිෆෝනියාව ඇමරිකාවේ ජනහගනය වැඩිම ප්‍රාන්තය වන අතර නීතිපති ධුරය එම ක්ෂේත්‍රයේ පවතින ඉහළම පදවියයි.
නීතිපති ධුරයේ සිටි කාලය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් වශයෙන් ඇය නමක් දිනා ගත්තාය. 2017 වසරේදී කමලා හැරිස්, කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නාය.
නොවැම්බර් 03 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග කරනු ඇත.
Text by – bbc