‘ලිංගික සංසර්ගයෙන් පසු’ ගර්භනී වීම වළක්වා ගැනීමේ ක්‍රම

‘ලිංගික සංසර්ගයෙන් පසු’ ගර්භනී වීම වළක්වා ගැනීමේ ක්‍රම
Spread the love

ශ‍්‍රී ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් වන බව සොයා ගෙන ඇත. මේ අතර ඇතැම් කාන්තාවන් අනපේක්ෂිත ලෙස ලිංගික ක‍්‍රියාවක යෙදිය හැකි අතර (දූෂණයට ලක්වීම වැනි) එවැනි තත්ත්වයකදී ද ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.

මෙහිදී ලිංගික සංගර්ගයෙන් පසුව ගැබ් ගැනීමක් වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වඩාත් විශ්වාසදායී පවුල් සැලසුම් ක‍්‍රම ඇති අතර මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඒ ගැනය. මෙම ලිපිය ‘ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ’ නිල වෙබ් අඩවියෙන් සම්පාදිත එකකි.

හදිසි උපත් පාලනය යනු – මෙය අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු ඔබට අනවශ්‍ය ගර්භනී වීමක් වලක්වා ගැනීම සදහා කාන්තාව විසින් භාවිත කල යුතු ක්‍රමයක්වේ.

හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද?

  • හදිසි උපත් පාලන පෙති
  • ලූපය (ගර්භාෂය තුලට ඇතුල් කරන කුඩා උපකරණයක්)

හදිසි උපත් පාලන පෙති

හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි. මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය. මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.

ඔබ හදිසි උපත් පාලන පෙති භාවිත කල යුතු වන්නේ කුමන අවස්ථාවලදීද ?

  • වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්.
  • ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වී යැයි ඔබට සැකයක් පවතී නම්,
    උදාහරණයක් ලෙස
    • ඔබ භාවිත කරන කොන්ඩමය සිදුරු වී හෝ ගැලවී ගියේ නම්,
    • ඔබගේ උපත් පාලන එන්නත ලබාගැනීමට ඔබ නියමිත දිනට වඩා පමා වී සිටින්නේ නම්,
    • ඔබ භාවිත කරන සාමාන්‍ය (දිනපතා)උපත් පාලන පෙති දෙකක් හෝ වැඩිගණනක් මෙම මාසයේ දී ඔබට අතපසු වුයේ නම්,
  • ලිංගික අතවරයකට හෝ දුෂණයකට ලක් වු අයෙක් නම්,

මෙම පෙති ක්‍රියා කරන්නේ කෙසේ ද ?

පෙත්තේ ක්‍රියාකාරිත්වය ඔබගේ ආර්තව චක්‍රය තුළ පෙත්ත ලබාගන්නා දිනය මත වෙනස්වේ.

  • ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමට පෙර අවස්ථාවක නම්, එමගින් ඩිම්බය මෝචනය වීම දින 3-4ක කාලයකින් ප්‍රමාද කරනු ලබයි. මෙමගින් ඩිම්බය ශුක‍්‍රාණු හා එකතුවීම වලක්වා දමයි.
  • ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමෙන් පසු අවස්ථාවක නම්, එමගින් ඔබගේ ගර්භාෂයේ ඇතුළත ස්තර සිහින් කරනු ලබයි. මේ මගින් සංසේචනය වූ යුක්තානුව (පළමු දරු සෛලය) ගර්භාෂයේ තැන්පත් වීම වලක්වා දමයි.
  • පෙත්තේ අඩංගු හෝර්මෝන මගින් ශුක්‍රාණු සහ ඩිම්බ පරිවහණය අඩාල කරන බැවින් ශුක්‍රාණු සහ ඩිම්බ මුණගැසීමට ඇති හැකියාව අඩු කරයි.

හදිසි උපත් පාලන පෙති භාවිත නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

ඔබ දැනටමත් ගර්භනී තත්වයට පත්ව ඇත්නම් මෙම පෙති භාවිත නොකල යුතුය.

ප්‍රසිද්ධ අලෙවි නම්පළමු මාත්‍රාව
(ලිංගිකව හැසිරීමෙන් පැය 72ක් ඇතුළත භාවිත කළ යුතු පෙති ගණන)
  දෙවන මාත්‍රාව
(පළමු මාත්‍රාවෙන් පැය 12කට පසු භාවිත කළ යුතු පෙති ගණන)
පොස්ටිනෝර් 2 (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති)0101
සාමාන්‍ය උපත් පාලන පෙති (අඩු මාත්‍රාව)
-මිතුරි ‍
0404
නොර්ඩේ‍ට්
කහ පැහැති පෙති
 0404

හදිසි උපත් පාලන පෙත්ත ඔබගේ ආර්තව චක්‍රයේ කුමන අවස්ථාවක වුවත් භාවිත කල හැක. නමුත් ඔබ කිරි දෙන මවක් නම් මෙය භාවිත කිරීමට පෙර ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.පෙත්ත ලබාගැනීමෙන් පැය 2ක් ඇතුළත ඔබට වමනය ගියේ නම්, ඔබ භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගත යුතුය.

වමනය යෑම අවම කරගැනීම සදහා කිරි වීදුරවක්, බීමෙන් අනතුරුව පෙති පානය කරන්න.ඔබට අවශ්‍ය නම්, පොස්ටිනෝර් 2 උපත් පාලන පෙති 2ම එකවර ගැනීමට ද හැක.

මෙම ක්‍රමය කෙතරම් සාර්ථක ක්‍රමයක් ද?

මෙම පෙති නිවැරදි ආකාරයෙන් භාවිත කරන කාන්තාවන් සදහා 98% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ලිංගිකව හැසිරි‍මෙන් පසු ඉක්මණින්  පෙති භාවිත කරන තරමට එහි සාර්ථකත්වය ද වැඩිවේ.

මෙම ක්‍රමය අසාර්ථක වී ඔබ ගර්භනී වුවත්, මෙම පෙත්තෙන් දරුවාට කිසිදු හානියක් වන බවට සාධක ලැබී නැත.

හදිසි උපත් පාලන පෙත්තෙන් ඇතිවන අතුරු ආබාධ

  • ඔක්කාරය
  • වමනය
  • අක්‍රමවත් ආර්තව රුධිර වහනය
  • පියයුරු වේදනාව
  • හිසරදය

එකවර – එක දිගට සිදුවන සංසර්ග කිහිපයකට පසුත් හදිසි උපත්පාලන පෙති සාර්ථකවේද?

ඔව්.හදිසි උපත් පාලන පෙති එක් සංසර්ගයක දී මෙන් ම එකවර, එක දිගට සිදුවන සංසර්ග කිහිපයක දී ද සාර්ථකවේ. නමුත් එම සංසර්ග සියල්ල පෙති පානයට පැය 72ක් ඇතුළත සිදුවිය යුතුය.

එක් වරක් හදිසි උපත් පාලන පෙති ලබාගැනීමෙන් පසු එය ඉදිරි පැය 72 ඇතුලත මා ගර්භනීවීමෙන් වලකයිද?

නැත. එබැවින් ඔබ හදිසි උපත්පාලන පෙති ලබාගැනිමෙන් අනතුරුව, ක්‍රමවත් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කිරිම ආරම්භ වනතුරු කොන්ඩමයක් වැනි බාධක උපත්පාලන ක්‍රමයක් (Barrior method) භාවිත කල යුතුය.

හදිසි උපත් පාලන පෙති මාගේ ඉදිරි ආර්තවය දක්වා සාර්ථක උපත් පාලන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි ද ?

නැත. ඔබගේ ලබන ආර්තවය දක්වා සිදුකරන සෑම ලිංගික සංසර්ගයකදීම බාධක උපත් පාලන ‍ක්‍රමයක් භාවිත කිරිමට අප තරයේ අවවාද කරනුයේ එබැවිනි.ඉන් පසු ඔබ ඔබට ගැලපෙන ක්‍රමවත් උපත්පාලන ක්‍රමයක් භාවිත කල යුතුය.

හදිසි උපත්පාලන පෙති භාවිතයෙන් පසු මාගේ ආර්තවය ප්‍රමාද වන්නේ නම්?

බොහෝ අවස්ථාවලදී ඔබගේ ආර්තවය සුපුරුදු දිනයේ දී සිදුවේ.නමුත් සමහර අවස්ථාවලදී එය කලින් සිදුවීමට හෝ දින කිහිපයක් ප්‍රමාදවිය හැක.ආර්තවය දින 10කට වඩා ප්‍රමාද වන්නේ නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වී ගර්භනී පරික්ෂාවක් කරගන්න. මන්ද යත් හදිසි උපත් පාලන ක්‍රම 100% සාර්ථක නොවන බැවිනි.

හදිසි උපත්පාලන පෙත්තෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (සමාජ රෝග)වලින් ආරක්ෂාවක් ලැබේ ද ?

නැත.ඔබගේ වෛද්‍යවරයා හමු වී සමාජ රෝග සදහා පරික්ෂණයක් කරගැනීමට මැලි නොවන්න.

හදිසි උපත් පාලන පෙත්ත දිනපතා ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිත කල හැකි ද ?

හදිසි උපත් පාලන පෙති හදිසි අවස්ථා සදහා පමණි.එය ක්‍රමවත් උපත් පාලන පෙති මෙන් පලදායි නොවේ.එමගින් ක්‍රමවත් උපත් පාලන පෙතිවලට වඩා වැඩි අතුරු ආබාධ ප්‍රමාණයක් ගෙන දෙයි.

හදිසි උපත් පාලනය සදහා වන අනෙකුත් ක්‍රම ද ?

තඹ ලුපය (Copper Intra Uterine Contraceptive device)
මෙය අනාරක්ෂිත සංසර්ගයකින් පසු දින 5ක් ඇතුළත ගර්භාෂය‍ට ඇතුල් කල යුතුය. මෙය 99% සාර්ථක ක්‍රමයකි. විශේෂයෙන් මෙය දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් අපේක්ෂා කරන කාන්තාවන් සදහා යෝග්‍ය වේ.

සැකසුම – තුෂාධවි