තරබාරු නම් ප්‍රවේශම් වන්න – කොවිඩ් මාරයා ඔබට වඩාත් සමීපයි

තරබාරු නම් ප්‍රවේශම් වන්න – කොවිඩ් මාරයා ඔබට වඩාත් සමීපයි
Spread the love

තරබාරු පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම සහ ඒ නිසා රෝහල් ගතවීමට සිදුවීමේ අවදානම දෙගුණයක් වන අතර මිය යාමේ අවදානම 50% කින් පමණ වැඩි බව උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පර්යේෂණ කණ්ඩායම, රෝගීන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, ලෝකය පුරා සිදුකරන ලද පර්යේෂණ 75ක දත්ත සොයා බැලීය.

තරබාරුකම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි වෙනත් රෝග සඳහා වැඩි ඉඩක් නිර්මාණය කරන බව එක්සත් ජනපද පර්යේෂකයෝ පවසති.

ඉහත රෝග තත්ත්ව නිසා නිර්මාණය වන දුර්වල ප්‍රතිශක්තිකරණය කොවිඩ් අවදානම ඉහළ දැමීමට ඍජුව බලපාන බවත් කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීමට අවස්ථාව ලැබුණහොත් එය තරබාරු පුද්ගලයින්ට එතරම් ඵලදායී නොවනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

පර්යේෂණ වාර්තාවේ මෙසේ ද සදහන් වේ.

‘කොවිඩ්-19 ආසාදිත සාමාන්‍ය පුද්ගලයින් (තරබාරු නැති) රෝහල්ගත වීමට වඩා තරබාරු පුද්ගලයින් කොවිඩ් ආසාදනය නිසා රෝහල්ගත වීම 200%කින් වැඩි බව අප සොයා ගත්තා. තරබාරු පුද්ගලයින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේ ප්‍රතිශතය 74%ක් වන අතර කොවිඩ් ආසාදනය නිසා තරබාරු පුද්ගලයින් මියයාමේ අවධානමත් ඉතාම ඉහළ බව අප මේ පර්යේෂණයේදී සොයා ගත්තා‘

එක්සත් රාජධානියේ කරන ලද අධ්‍යයනයන් මගින් ද අධික තරබාරු පුද්ගලයින් අතර මෙවැනිම අවධානමක් හදුනාගෙන ඇති අතර තරබාරුකම මැඩපැවැත්වීම සදහා නව ක්‍රියාමාර්ග හඳුන්වා දීමට රජයට බලපෑම් එල්ල වෙමින් ඇත.

උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයට නායකත්වය දුන් මහාචාර්ය බැරී පොප්කින් පැවසුවේ තරබාරු වීම සහ කෝවිඩ් -19 ඇතිවීමේ අවදානම “බලාපොරොත්තු වූවාට වඩා වැඩි” බවයි.

‘ අධික තරබාරුකම සහ ආහාර අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. සීනි අධික ආහාර, සැකසූ ආහාර මීට ඍජුව දායක වෙනවා. ඒ නිසා මේ ආහාරවලින් තොර සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුයි‘ මහාචාර්ය බැරී පොප්කින් පැවසුවා.

තරබාරුකම රෝග රැසකට සම්බන්ධ වන අතර කොවිඩ්-19 ආසාදනය වීම සහ එය උග්‍ර තත්ත්වයට පත්වීමට හේතු වෙයි. එය ශරීරයේ වැඩි ප්‍රදාහයක් ඇති කිරීමටත්, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව අඩු කිරීමටත්, අනෙකුත් අවයව වලට වැඩි පීඩනයක් ඇති කිරීමටත්, හුස්ම ගැනීමටත් හේතු වේ.

“කොවිඩ්-19ට එරෙහි එන්නතක් සොයා බලමින් සිටින පර්යේෂකයන් එය තරබාරු පුද්ගලයින්ට බලපාන්නේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුයි”

තරබාරුකමෙන් ඉහළ ප්‍රතිශතයක් සහිත ජනගහනයක එන්නතක් භාවිතා කිරීමට සුදානම් වන විට එය අඩු ඵලදායී වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

ලොව පුරා ස්ථුලතාවය ඉහළ යාමත්, සෑම රටකම පාහේ ජනගහනයෙන් 20% ක් පමණ අධික බර හෝ තරබාරු පුද්ගලයින් වීමත් ගෝලීය සෞඛ්‍ය අවධානමක් නිර්මාණය කර ඇත. ( අධික තරබාරු හෝ තරබාරු ජනගහනය එක්සත් රාජධානියේ 66%ක් පමණ වේ)

‘මෙම කණ්ඩායම සදහා ප්‍රතිකාර හා එන්නත් ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම තීරණාත්මක සාධකයක්. පොදුවේ ජනගහනයට බලපාන එන්නතක් සාර්ථක වේ යැයි සිතිය නොහැකියි. මොකද අධික තරබාරු පුද්ගලයින් කියලා සුවිශේෂ කොටසකුත් මේ අතර ඉන්නවා. ඔවුන් තමයි කොවිඩ් -19 හමුවේ වඩාත් අවධානම් කාණ්ඩය බවට පත්ව සිටින්නේ ‘මහාචාර්ය බැරී පොප්කින් පවසනවා.

2020 අගෝස්තු 29 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ