රුසියාවේ විපක්ෂ නායක අලෙක්සි නවාල්නි (Alexei Navalny) රෝගාතුර වී ඇත්තේ ‘නොවිචොක්’ (Novichok) නම් වූ විෂ රසායනය ශරීරගත කරවනු ලැබීමෙන් යයි ජර්මන් ආණ්ඩුව පවසයි.
ජනාධිපති ව්ලදිමීර් පුතින් ගේ රාජ්‍ය පාලනය දැඩිව විවේචනය කරන්නකු වන අලෙක්සි නවාල්නි පසුගිය මාසයේ සයිබීරියාවේ ‘තොම්ස්ක්’ (Tomsk) නගරයේ සිට මොස්කව් බලා ගුවන් මගින් ගමන් ගනිමින් සිටියදී, ගුවන්යානය තුළ දී හදිසියේම රෝගාතුර වූ අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා බර්ලින් නගරයට ගෙනැවිත් සිටියි. ඔහු තවමත් සිටින්නේ සිහි මූර්ඡා තත්ත්වයෙනි.
‘නොවිචොක්’ යන නාමය මින්පෙර අවසන් වරට කරළියට පැමිණ තිබුණේ 2018 වසරේ දී රුසියාවේ පැරණි ඔත්තුකරුවකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය වන යුලියා ( Yulia) එක්සත් රාජධානියේ ‘සැලිස්බරි’ නගරයේ දී විෂ රසායන ප්‍රහාරයකට ගොදුරුවීමත් සමඟය.

නවාල්නි පත්ව සිටින අසීරු තත්ත්වය හෝ ස්ක්‍රිපාල්ට වසදීමක් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු ආකාරයක සම්බන්ධවීමක් නැතැයි රුසියාව කියා සිටියි.
මෙහිදී වැදගත් කරුණක් වන්නේ, යුද අවියක් ලෙස සැලකෙන ‘නොවිචොක්’ විෂ රසායනය සම්බන්ධයෙන් ලෝකය දැන සිටින්නේ කුමක්ද? යන්නය.
සෝවියට් පාලන සමයේ නිර්මාණයක්
රුසියානු භාෂාවෙන් ‘නොවිචොක්’ යන වචනයට ”නවකයා” යන තේරුම දෙයි. 1970 සහ 1980 දශකයන්හි සෝවියට් දේශයේ නිර්මාණය කොට වැඩිදියුණු කරන ලද විෂ රසායන වර්ග සමූහයක් අතරට මෙම ‘නොවිචොක්’ ද ඇතුළත් විය.
එම විෂ රසායන සමූහය අයත්වන්නේ සිව්වෙනි පරපුරේ රසායනික අවි ගණයටය. එසේම ඒවා වැඩිදියුණු කරනු ලැබ තිබුණේ ‘Foliant’ යනුවෙන් නම් කරන ලද රහස්‍ය නාමයෙන් පවත්වාගෙන ගොස් ඇති සෝවියට් ව්‍යාපෘතියක් යටතේය.
‘නොවිචොක්’ විෂ රසායනය රුසියාව සතු බව 1990 වසරවල එරට මාධ්‍ය මගින් පළමුවරට හෙළිදරව් කරන ලද්දේ ආචාර්ය විල් මිර්ෂායානොෆ් (Dr Vil Mirzayanov) විසිනි. අනතුරුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගියේය.’රාජ්‍ය රහස්’ (State Secrets) යන නමින් ආචාර්ය විල් මිර්ෂායානොෆ් විසින් ඇමෙරිකාවේ දී පළකරනු ලැබ ඇති කෘතියෙහි අදාළ රසායනික සූත්‍රය (chemical formula) ඇතුළත් කර ඇත.
සෝවියට් පාලන සමයේ පවත්වා ගෙනගොස් ඇති රසායනික අවි අත්හදා බැලීමේ විශාලතම මධ්‍යස්ථානය අක්‍රියකොට විනාශකර දැමීමට සහයවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 1999 වසරේ උස්බෙකිස්ථානයට ගොස් ඇත.
ආචාර්ය විල් මිර්ෂායානොෆ් සඳහන් කරන පරිදි, සෝවියට් පාලකයන් ‘නොවිචොක්’ විෂ රසායනයේ කුඩා සමූහයන් නිර්මාණය කිරීමට සහ අත්හදා බැලීමට එම මධ්‍යස්ථානය භාවිත කර ඇත. එම විෂ රසායන සැලසුම් කර තිබුණේ ජාත්‍යන්තර පරීක්ෂකයන්ගේ ඇසට හසුවීමෙන් වළකින පරිදිය.
‘නොවිචොක්’ වෙනත් රසායනයන්ට වඩා විෂකුරුය
‘නොවිචොක්’ පන්තියට වැටෙන වර්ග කිහිපයකට අයත් රසායන වර්ග, VX විෂ රසායනවලට වඩා පස්ගුණයේ පටන් අටගුණයක් තරම් අතිශයින් දරුණු යැයි සැලකෙයි.
”මෙම විෂ රසායනය සරීන් හෝ VX රසායනයට වඩා වැඩිදියුණු කරන ලද එසේම අතිශයින් දරුණු වූවක් වන අතර එය හඳුනාගැනීම දුෂ්කරය” ‘රෙඩින්ග්’ සරසවියේ (University of Reading) ඖෂධ විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ගැරී ස්ටීවන්ස් පවසයි.
‘නොවිචොක්’ විෂ බල පැවැත්වෙන කාලය
විෂ රසායන (nerve agent) නිකුත් වූ පසු කොතරම් කාලයක් බල පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් විශේෂඥයන් අතර එකමතිකභාවයක් නොමැත.
ආචාර්ය විල් මිර්ෂායානොෆ් තක්සේරු කරන පරිදි මාස කිහිපයක් ගතවෙන තෙක් එහි බලපෑම අවසන් නොවේ.
ස්ක්‍රිපාල් සඳහා භාවිත කරන ලද ‘නොවිචොක්’ විෂ රසායනය සොයාගන්නා ලද්දේ තමා යයි කියා සිටින ව්ලදිමීර් උග්ලෙෆ් (Vladimir Uglev) නම් විද්‍යාඥයා පවසන ආකාරයට ”එම විෂ ද්‍රව්‍ය නොනැසී දිගුකලක් පවතී”.
නොනැසී පවතින මට්ටමින් නිර්මාණය කරනු ලැබ ඇති එවැනි විෂ රසායන වර්ග විශේෂයෙන් ම ඇසුරුමක් තුළ බහා තැබුවහොත් මාස ගණනක් හෝ වසර කිහිපයක් වුවද දරුණු තත්ත්වයක පැවතීමට ඉඩකඩ ඇතැයි වෙනත් විශේෂඥයෝ පවසති.
”නොවිචොක් විෂ රසායන වර්ග වාෂ්පවෙන්නේ නැහැ.ජලයේ දී ඒවා දියවී යන්නේ නැහැ”ලන්ඩන් සරසවියේ අකාබනික රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇන්ඩ්රේයා සෙලා (Andrea Sella) ප්‍රකාශ කරයි.
මෙහිදී පැන නගින එක් ගැටලුවක් වන්නේ, ‘නොවිචොක්’ විෂ රසායන වර්ග පිළිබඳව මනා අධ්‍යයනයක් සිදුකර නොතිබීම සහ වෙනත් විෂ රසායන වර්ග තරම් ඒවා වටහාගෙන නොතිබීමය. එසේම ඒවා කොපමණ කාලයක් බල පැවැත්වෙන්නේද? යන්න සම්බන්ධයෙන් නිල මට්ටමේ විද්‍යාත්මක තොරතුරු නොමැත.
‘නොවිචොක්’ ප්‍රභේද
ඇතැම් ‘නොවිචොක්’ විෂ රසායන දියර ස්වරූපයෙන්ද, තවත් ඒවා ඝන ස්වරූපයෙන් ද පවතී. එහි තේරුම ඒවා ඉතා සියුම් කුඩක් (an ultra-fine powder)ලෙස ඒවා විසුරුවා හැරීමට හැකිවීමය.
මේ අතර, තවත් ‘නොවිචොක්’ විෂ රසායන වර්ග ”ද්විගුණික අවියක්” (“binary weapons”) මට්ටමින් තබාගත හැකි බවක් ද වාර්තා වී ඇත. ඉන් කියවෙන්නේ, එම විෂ රසායන වර්ග විෂ අඩු රසායනික ද්‍රව්‍ය දෙකක් ලෙස තැන්පත් කරමින් වඩාත් පහසුවෙන් හැසිරවීමට,ප්‍රවාහනයට සහ ගබඩා කිරීමට හැකි පරිදි සකස්කර ගැනීමය.
එසේ වෙන් වෙන්ව තබාගත් විෂ ද්‍රව්‍ය එකට මිශ්‍ර කළවිට බලාත්මක විෂ රසායනයක් බවට සක්‍රීය වෙයි.
”මෙම විෂ රසායන නිර්මාණය කරනු ලැබීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ, ඊට අන්තර්ගත ද්‍රව්‍ය කොටස් තහනම් ලැයිස්තුගත නොකිරීමයි” මහාචාර්ය ස්ටීවන්ස් පවසයි.

ඇතැම් විෂ රසායන සැණෙකින් බලපායි
‘නොවිචොක්’ නිෂ්පාදනය කරනු ලැබ තිබෙන්නේ වෙනත් රසායනික අවිවලට වඩා අතිශයින් විෂකාරක වන මට්ටමිනි. ඉන් ඇතැම් ඒවායේ බල පැවැත්වීම සැණෙකින් ආරම්භ වෙයි. එය තත්පර තිහේ පටන් මිනිත්තු දෙකක් අතර කාලයක් විය හැකිය.
එම විෂ ආශ්වාස කරවීමකින් හෝ ආහාරපාන මගින් පුද්ගලයකුගේ ශරීරගත කළ හැකිවෙයි. එපමණක් නොව චර්මය ඔස්සේද එය ශරීරගත විය හැකිය.
‘නොවිචොක්’ වෙනත් රසායනික අවිවලට සමානය
‘නොවිචොක්’ විෂ රසායන අවිවර්ග වෙනත් රසායනික අවිවල බලපෑමට සමාන බලපෑමක් ඇති අවියකි. එය ශරීරගත වීමේ දී ස්නායු පද්ධතියේ සිට මාංශපේශීන් කරා පණිවුඩ ගෙනයාම අවහිර කෙරෙන අතර, සිරුරේ බොහෝ ඉන්ද්‍රියයන් අක්‍රිය කෙරෙයි.
එවැනි විෂ ශරීරගතවීමක පළමු ලක්ෂණය ඇසේ කළු ඉංගිරියාව බෙහෙවින් හැකිළීම යැයි ආචාර්ය විල් මිර්ෂායානොෆ් පවසයි.
එවැනි විෂ රසායනයකින් විශාල ප්‍රමාණයක් ශරීරගත වුවහොත්, එය සිරුරේ ගැස්මට සහ හුස්ම ගැනීම අවහිර වීමට ද හැකි බවද ආචාර්ය විල් මිර්ෂායානොෆ් සඳහන් කරයි.
එසේම දිගටම සිරුරේ ගැස්ම පැවැත්ම සහ වමනය ද එහි කෙළවර මරණය වියහැකි බව ද ආචාර්ය විල් මිර්ෂායානොෆ් කියා සිටියි.

ආචාර්ය විල් මිර්ෂායානොෆ් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින්, විෂ ක්‍රියාකාරිත්වය නතර කිරීමට උදව්වෙන විෂ නාෂක ඖෂධ වර්ග ඇතත් ඒවා ප්‍රතිකාර නොවන බව ද පෙන්වා දුන්නේය.
යම්කිසි තැනැත්තකු විෂ රසයනික අවි ප්‍රහාරයකට ගොදුරු වූ අවස්ථාවක වහාම ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් ඉවත්කළ යුතුය.ඒ සමඟ සම සබන් යොදා ගනිමින් සෝදා පිරිසිදු කළ යුතුය. එසේම ඇස් සේදිය යුතු අතර වහාම සිරුරට ඔක්සිජන් සැපයිය යුතුව ඇත.
‘නොවිචොක්’ පහසුවෙන් නිපදවිය හැකිද ?
”විෂ රසායන සෙර්ගේයි ස්ක්‍රිපාල්ගේ සිරුරුගත කිරීම පිටුපස රුසියාව සිටියා වීමේ කරුණු තිබෙනවා. මොකද, රුසියාව තමයි එම විෂ රසායනය සොයාගත්තේ. ඒ ගැන විශේෂඥ දැනුම ඔවුන්ට තිබෙනවා. ඔවුන් එය අවියක් බවට පත්කර ගත්තා. එහි ක්‍රියාකාරිත්වය ගැන ඔවුන්ට පූර්ණ විශේෂඥ දැනුම තියෙනව” ආචාර්ය විල් මිර්ෂායානොෆ් පවසයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින රුසියාවේ තානාපතිවරයා පවසන්නේ, සෝවියට් අවධියට අයත් විෂ රසායන අවි නිෂ්පාදනය 1992 වසරේ දී නතරකරන ලද බවය. එපමණක් නොව, ඒවනවිට පැවති විෂ රසායන තොග 2017 වසරේ විනාශකර දමන ලද බවත් තානාපතිවරයා ප්‍රකාශ කරයි.
රුසියාව සතුව පැවති රසායනික අවි මෙට්‍රික් ටොන් 39,967 ක් සහමුලින්ම විනාශකර දමන ලද බව තහනම් රසායනික අවි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය (OPCW) 2017 වසරේ සැප්තැම්බර් මාසයේ තහවුරු කළේය.
”එහෙත් මෙම ‘නොවිචොක්’ විෂ රසායනය පිළිබඳ කිසිදාක OPCW සංවිධානයට හෙළිදරව් කරනු ලැබ නැත. හේතුව, එම විෂ අවියේ රසායනික සංයුතිය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය හමුවේ එය කිසිදු පාලනයක කොටසක් බවට පත් නොවූ රසායනයක් වීම” යැයි ලීඩ්ස් සරසවියේ මහාචාර්ය ඇලස්ටෙයාර් හේ (Prof Alastair Hay) පෙන්වා දී ඇත.

ඇතැම් ආණ්ඩු මගින් පවත්වා ගෙන යන විද්‍යාගාරයන්හි රසායනික මාත්‍රා පිළිබඳව සකස් කරන ලද ලුහුඬු වාර්තාවන්හි ඒවායේ ක්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු ඇතුළත් කර තිබීමේ ඉඩක් ඇති අතර,යම්කිසි තැනැත්තකුගේ රුධිරයෙහි නාඳුනන විෂක් ඇතැයි සොයාගනු ලැබුවහොත් පසු අදියරක දී ඒවායේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට එමගින් හැකිවනු ඇත.
Text by bbc