20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අධිකරණ ඇමැතිවරයා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂය විසින් ඊට දැඩි විරෝධයක් පළ කළේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු “20 එපා” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවාගෙන, කළුපටි පැළඳ සිටිනු දක්නට ලැබිණි. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කළහ.
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් ඇතැම් වගන්ති ඉවත් කරමින් සකස් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූයේ සැප්තැම්බර් 02 වැනිදා ය. අනතුරුව සැප්තැම්බර් 03 වැනිදා එය ගැසට් කරනු ලැබීය.
20 වැනි සංශෝධනයේ ඇතැම් සංශෝධන පිළිබඳ ව එල්ල වූ විවේචන හේතුවෙන් තවදුරටත් සිදුකළ යුතු සංශෝධන සලකාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත්කළේය. එම කමිටුවෙන් යෝජනා ඉදිරිපත් කෙරුණ ද පළමුවෙන්ම ඉදිරිපත් කෙරුණු 20 වැනි සංශෝධන කෙටුම්පතම වෙනසකින් තොරව එලෙසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළහ.
ඒ අනුව ව්‍යවස්ථානුකූලව, ගැසට් කර දින 14ක් සම්පූර්ණ වී ඇති 20 වන සංශෝධන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි.
අද සිට දින හතක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පවතී. එලෙස විරෝධතා ගොනු නොවන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකිය.
කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයට ලක් කළහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීන්දුව ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය වේ.
දෙවන වර කියවීමේ ජන්ද විමසීමෙන් අනුමත වීමෙන් පසු සංශෝධන ඇතොත් කාරක සභා අවස්ථාවේදී ඒවා එක් කෙරෙන අතර තුන්වන වර කියැවීමේ ඡන්ද වීමසීමේදී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය.
අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකූල නීතිය බවට පත් වේ.