බඹරුන් පහර දෙද්දී මියගිය සිය ස්වාමියා අතහැර නොගිය සුනඛයා සති දෙකකට ආසන්න කාලයක් සොහොන ළඟ රැඳී සිටියදී කොළඹ සිට ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයට පැමිණ සුනඛ ආරක්ෂක සංගමයේ සාමාජිකයන් විසින් එම සුනඛයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් කොළඹට රැගෙන යන ලදී.
ගම්පොළ පුපුරැස්ස ලෙවලන්වත්ත මානිකට්ටුව ප්‍රදේශයේ මියගිය 79 හැවිරිදි අයකුගේ අවසන් කටයුතු සිදුකිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමඟ බඹර ප්‍රහාරයක් එල්ලවීම නිසා දේහය සහිත පෙට්ටිය බිම දමා බඹරුන්ගෙන් බේරීම සඳහා අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පිරිස සී සී කඩ දිව ගියද මෙම සුනඛයා එම දෙණ සහිත පෙට්ටිය තනි නොකර බඹර ප්‍රහාර එල්ල වෙද්්දීත් පිරිස යළි පැමිණෙන තුරු පැය දෙකක් පමණ එහිම රැඳී දේහයට රැකවරණය ලබා දී තිබේ.
ඇඳිරි වැටී ගෙන එනවිට පන්දම් දල්වාගෙන පැමිණි පිරිස දෙණ මිහිදන් කොට ආපසු ගියේ මෙම බල්ලාගේ ගුණය ගැනද කතා කරමිනි.
මෙම බඹර ප්‍රහාරයට ලක්වූ 8 දෙනකු රෝහල් ගත කොට තිබිණි.
මෙම පුවත මාධ්‍ය මඟින් අප හෙළි කළේ කෙළෙහිගුණ සහිත මෙම බල්ලා යළි නිවෙසට නොගොස් මිනී වළ මත රැඳී සිටින බවද හෙළි කරමිනි.
එම පුවත දුටු සත්වාරක්ෂක සංගමයේ රුවන් ඩග්ලස් හා ගිහාන් වෙනුෂ්ක තොරතුරු විමසා කොළඹින් වාහනයක්ද රැගෙන අප සමඟ කිලෝමීටර් 160ක් පමණ දුර ගෙවා එම බල්ලා සිටි පුපුරැස්ස මනිකට්ටුව ප්‍රදේශයට ගියේ සුනඛයාට අවශ්‍ය ආහාරද රැගෙනය.
ඒ වනවිට එම ප්‍රදේශයේ පදිංචි රවි නමැති තරුණයා මෙම බල්ලා ගැන සොයා බලා අප හට ලබා දුන් තොරතුරු අනුව ඔහුද රැගෙන සොහොන වෙත ගොස් සොහොනේ වළ උඩ රැඳී සිටි බල්ලා දැක ගත්තෙමු.
මෙම සුනඛයාගේ කතාවද තරමක් වෙනස්ය. මනිකට්ටුව පේළි නිවාසයක හැදී වැඩී ඇති බල්ලාට ලොම් හැලෙන රෝගය වැලඳී ඇඟේ තුවාල දමා ඇති අතර මේ නිසා මිනිසුන්ගේ සැලකිල්ලද අඩු වී ඇත.
මෙයින් අසරණ වූ සතා මහලුවියට පත්වී සිටි එම පේළි නිවාසයේ සිටි මාරිමුත්තු සමඟ හිතවත් වී ඇත.
පේළි නිවාසවල අය කම්කරුවන් ලෙස වත්තේ වැඩට යද්දී තනිවන මාරිමුත්තු හා “ජිමි” නමැති මෙම බල්ලා බොහෝ කාලයක් එකට ගතකොට ඇත.
පසුගියදා මාරිමුත්තු මෙසේ මියයෑමත් සමඟ ජිමීද ඔහු අත නොහැර ඔහුගේ සොහොන උඩ මෙසේ දවස ගතකොට තිබේ.
පුවත්පත් මඟින් අප මෙය වාර්තා කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර ඒ සමඟ මෙම සත්වාරක්ෂක සංගමය හා සත්ත්ව සුබසාධක සංගමය මේ සඳහා ඉදිරිපත් වී මෙම සතා බේරා ගැනීම සඳහා කටයුතු කොට ඇත.
ඒ අනුව ජිමි කොළඹට රැගෙන යෑමට පෙර උෟ ජීවත් වූ පේළි නිවාසවලටද එම සතා රැගෙන ගියේ රවි හා මිල්ලගහමුල ගුණරත්න යන අයගේ සහාය ඇතිවය.
එහිදී පේළි නිවාසවල අය රැස්වී ජිමිට සමුදුන්නේ මෙම සතාගේ කෙළෙහි ගුණ පිළිබඳ අවබෝධ වීමෙනි.
රුවන් ඩග්ලස් හා ගිහාන් වෙනුෂ්ක එක්ව සතා කොළඹට රැගෙන ආ පසු උෟට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ඇරැඹූ අතර බඹර විස සඳහාද ප්‍රතිකාර ආරම්භ කොට ඇත. දැනට මෙම සතා රුවන් ඩග්ලස් මහතා භාරයේ කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් වේ.
[rns_reactions]