මොනවද මේ ප්ලාස්‌ටික්‌ හාල්? දැනගන්න කියවන්න

Spread the love

U ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්‌සේ පසුගියදා මහ භයානක වීඩියෝවක්‌ පෙන්වන ලදී. ජුනි මාසය මුලදී පිටකෝට්‌ටේ සතොස ගබඩාවකින් අලෙවි කරන ලද බාස්‌මතී ස්‌වරූපයේ සහල් වර්ගයක්‌ එම වීඩියෝවේ නිරූපණයවිය. පිසීමෙන් පැය 24 කට පසුත් පිළුණු නොවන, ගුලි කර බිම ගැසූ විට බම්ප්වන මේ සහල් වර්ගය ප්ලාස්‌ටික්‌ වලින් සාදා ඇති බව පසුව කියෑවිනි. Face Book ඔස්‌සේ ඉතා ඉක්‌මනින් පැතිරෙන්නට පටන් ගත් මේ වීඩියෝව නිසා සතොස වෙළෙඳ ජාලයට සිදු වූ හානිය ස්‌වල්ප නොවේ. වීඩියෝව U ටියුබ් ජාලයට ඇතුළු වී තිබුණේ ජුනි 3 වැනිදාය. දින 2 කට පසු ප්‍රකාශයක්‌ නිකුත් කළ සතොස U ටියුබ් වීඩියෝව සම්පූර්ණ අසත්‍යයක්‌ බවත් තම ආයතනය විසින් ප්ලාස්‌ටික්‌ සහල් අලෙවි නොකරන බවත් සඳහන් කළේය. සතොස අවසන් වතාවට බාස්‌මතී සහල් තොගයක්‌ ගෙන්වා තිබුණේ පාකිස්‌තානයෙනි. ඒ 2017 මැයි මස 15 වැනිදාය. මෙටි්‍රක්‌ ටොන් 20 කින් සමන්විත වූ එම සහල් ‘ආනයනික බාස්‌මතී’ යන ලේබලය යටතේ විකුණන ලදී. මේ සහල්වල කිසිදු ආකාරයක නරකක්‌ නැති බවට සතොස සහතික විය. එහෙත් සහතිකයෙන් හිතහදා ගන්නට පාරිභෝගික ජනයා සූදානම් නැත. තමන් ප්ලාස්‌ටික්‌ සහල්වලින් පිසූ ප්ලාස්‌ටික්‌ බාස්‌මතී බත් අනුභව කරන ලද බව ජනයාගේ මතය.

මේ සිද්ධියෙන් දින හතරකට පමණ පසු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයෙන් සහ හයිද්‍රdබාද් ප්‍රාන්තයෙන් ප්ලාස්‌ටික්‌ සහල් භීතියක්‌ මතු විය. ඉන් දවසකට පසු, එනම් ඉකුත් අඟහරුවාදා (6 දා) ඉන්දියාවේ හයිද්‍රබාදයේ බුරියානි කඩයකින් ප්ලාස්‌ටික්‌ බුරියානි කෑ බවට ප්‍රදේශවාසියෙක්‌ පොලිසියට පැමිණිලි කළේය. එහිම සිල්ලර කඩයකින් තමන් මිලට ගත් බාස්‌මතී සහල් ප්ලාස්‌ටික්‌ සහල් බව වැසියෙක්‌ කීවේය. ඊට පැය කිහිපයකට පසුව සිල්ලර කඩය වටලා සැක කටයුතු සහල් තොගය අත්අඩංගුවට ගන්නා ලදී. එම තොගයෙන් ලබා ගත් සහල් සාම්පල් රස පරීක්‍ෂක වෙත යවන ලද නමුත් එයට අදාළ විශ්ලේෂණ වාර්තාව තවම ලැබී නැත. සහල් කඩය වටලා ස්‌වල්ප වේලාවකට පසු එම කඩයෙන් සහල් මිලට ගෙන කෑ වැඩි දෙනාට වමනය යන්නට පටන් ගත්තේය. තව කට්‌ටියකට නොනවතින පාචන තත්ත්වයක්‌ ඇති විය.

මේ අතර අන්තර්ජාලය මහත් සේ දරුණු ලෙස ක්‍රියාත්මක වනු දක්‌නා ලදී. දවසක්‌ පමණ ගත වන විට නෙලන්ගනා සහ අන්ද්‍රd ප්‍රාන්තවල ප්ලාස්‌ටික්‌ සහල් ප්‍රශ්නය ගැන මුළු ඉන්දියාවම දැන ගත්තේය. මේ නිසා බාස්‌මතී සහල් ඉල්ලුම පූසා ගහෙන් බහින්නාක්‌ මෙන් ක්‍ෂණිකව පහළ බැස්‌සේය. අන්තිමේදී බාස්‌මතී සහල් නොමිලේ දීමටවත් බැරි තත්ත්වයක්‌ හට ගත් බව කියනු ලැබේ.

ප්ලාස්‌ටික්‌ සහල් පිළිබඳ කතන්දරය මුල්වරට ලෝකවාසී ජනතාව එළිපිට දැන ගත්තේ වසර 2011 දී ය. චීනයේ සිටින සමහර වංචනික කර්මාන්තකරුවන් ප්ලාස්‌ටික්‌ සහල්, ප්ලාස්‌ටික්‌ බිත්තර, සුදුÊපැහැති වර්ණකයක්‌ දියකර එයට කැල්සියම්, මෙලමයින් සහ ලුනු දමා සාදන ව්‍යාජ කිරි යනාදිය නිපදවන බවට එකල ලොව පුරා ආරංචියක්‌ පැතිර ගියේය. පසුව එම බඩු අතුරින් ව්‍යාජ කිරි අතටම හසුවිය. මේ සම්බන්ධයෙන් වරදකරුවන් වූ කර්මාන්තකරුවන්ට චීන ආණ්‌ඩුව මරණ දණ්‌ඩනය නියම කළේය. එසේම එම කිරිවලින් සාදන ලද කිරිපිටි පානය කළ චීන ළමයින් 100 ක්‌ පමණ මෙලමයින් විසෙන් බරපතළ ලෙස රෝගී වූහ. සමහරු මියගියහ. ඉන් පසු කතාව යට ගියද යළි එය මතුවන්නේ 2016 දීය. එම වසරේ දෙසැම්බර් 24 වැනිදා නයිජීරියාවේ පොලිsසිය ප්ලාස්‌ටික්‌ සහල් ටොන් 2.5 ක්‌ අත්අඩංගුවට ගත්තේය. මේ සහල් තොගය බෑග් 102 ක අසුරා තිබිණ. සහල් නිෂ්පාදන සමාගම Best Tomato Rice නමැති චීන ආයතනයකි. මෙය අදටත් චීනයේ තිබෙන අංක එකේ සහල් නිෂ්පාදනාගාරයකි. සැකකටයුතු සහල් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි සාම්පල කිහිපයක්‌ නයිජීරියාවේ රස පරීක්‍ෂකට යවන ලදී. සති කිහිපයකින් ඔහු සිය වාර්තා ප්‍රකාශයට පත් කරන ලද අතර එහි සඳහන් වූයේ එම සහල්වල ප්ලාස්‌ටික්‌ නැති නමුත් සෞඛ්‍යයට හානිකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටි බවය.

මෙහිදී අප විසින් සොයා බැලිය යුතු වැදගත්ම කාරණය වූ කලී ප්ලාස්‌ටික්‌වලින් සහල් නිෂ්පාදනය කළ හැකි ද යන්නය. ප්ලාස්‌ටික්‌වලින් සහල් නිපදවිය හැකිය. ප්ලාස්‌ටික්‌ මිදි වලු, ප්ලාස්‌ටික්‌ කෙසෙල් ඇවරි, ප්ලාස්‌ටික්‌ දොඩම් ගෙඩි යනාදිය වසර තිහ හතළිහක සිටම ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක විසිතුරු බඩු ලෙස වෙළෙඳපළේ විකිණීමට ඇත. ස්‌වභාවික කෙසෙල් ඇවරියක්‌ රුපියල් 150 ක්‌ නම් ඒ හා සමාන ප්ලාස්‌ටික්‌ කෙසෙල් ඇවරියක්‌ රුපියල් 550 ක්‌ පමණ වේ. ඒවා කිසිදු ආකාරයකින් අනුභව කළ නොහැකි වනඅතර, කෑම මේසය මත බන්දේසියක බහා අවුරුදු 20 ක්‌ වුවත් තබාගත හැකිය. ප්ලාස්‌ටික්‌ සහල් නිපදවීම සඳහා සුදුසු විනිවිද පෙනෙන ප්ලාස්‌ටික්‌ ඇට (grnules) කිලෝවක ගිය සතියේ මිල රුපියල් 139.50 කි. මේවා චීනයේ නිපදවන අතර ලංකාවට නැවෙන් ගෙන්වන විට නැව් ගාස්‌තු වශයෙන්කිලෝවකට රුපියල් 10 ක්‌ පමණ එකතු කළ යුතුය. මේවා වරායෙන් පිටතට ගන්නා විට කිලෝවට රුපියල් 50 දක්‌වා වූ බද්දක්‌ ගසනු ලැබේ. අනතුරුව යන්ත්‍රානුසාරයෙන් ඒවා සහල් බවට පත් කරන විට නිෂ්පාදන වියදම් වශයෙන් කිලෝවට තව රුපියල් 20 ක්‌ වත් එකතු කළ යුතුය. අනතුරුව නිෂ්පාදකයා සියයට 30 ක්‌ ලාභ තබාගෙන සහල් වෙළෙඳපොළට යවයි. වෙළෙන්දා 10% ක්‌ ලාභ තබාගෙන එය විකුණයි. මේ සියලු වියදම් එකතු කළ විට සහල් කිලෝවක්‌ රුපියල් 330 ක්‌ පමණ වේ . හොඳම කීරි සම්බා රුපියල් 150 ට අඩු මුදලකටත් බුරුම බාස්‌මතී කිලෝව රුපියල් 200 කටත් ලබා ගත හැකි ලංකාව වැනි රටක කොතරම් තැම්බුවත් නොපිසෙන, කොතරම් හැපුවත් නොහැපෙන ප්ලාස්‌ටික්‌ සහල් තිබීම විහිළුවකි. එසේ නම් මේ ප්ලාස්‌ටික්‌ සහල් කියන්නේ මොනවාද?

ප්ලාස්‌ටික්‌වල ඉතිහාසය රබර්වල ඉතිහාසයට කිට්‌ටුය. ක්‍රි. පූ. 1600 දී විසූ ලතින් ඇමරිකානු ගෝත්‍රික ජනයා රබර් කිරිවලින් බෝල, ශීර්ෂ පළඳනා, කුඩා මිනිස්‌ රූප සෑදූහ. මධ්‍ය කාලීන යුගයේ විසූ ජනයා විෂ්කම්භයෙන් වැඩි හරක්‌ අං දෙකොනින් කපා මැදින් සිදුරු කර ලන්තෑරුම් වශයෙන් පාවිච්චි කළහ. මේ සියල්ල අද කරන්නේ ප්ලාස්‌ටික්‌ වලිනි. එහෙත් රබර් කිරි උණු කර තමන්ට අභිමත පරිදි විවිධ දේ තනා ගැනීමටත්, හරක්‌ අං උණු කර භාණ්‌ඩ තැනීමටත්, එකල තාක්‍ෂණයක්‌ නොවීය. මේ අනුව තමන්ට අවනත කර ගත හැකි කෘත්‍රිම ද්‍රව්‍යයක්‌ සෑදීම කෙරෙහි මිනිස්‌සු උනන්දු වූහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1800 දී චාල්ස්‌ ගුඩ්ඉයර් නමැති ඇමරිකන්කාරයා රබර් හා ගෙන්දගම් මිශ්‍ර කර වඩා ශක්‌තිමත් රබර් වර්ගයක්‌ සෑදුවේය. මේ අත්දැකීම් ආශ්‍රයෙන් 1856 දී ප්ලාස්‌ටික්‌ නිපදවා පේටන්ට්‌ බලපත්‍රය ගනු ලැබේ. ඒ ඇලෙක්‌සැන්ඩර් පර්න්ස්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ය.

ප්ලාස්‌ටික්‌වලට සිංහල තේරුම් අවම වශයෙන් 9 ක්‌ තිබේ. ඒවා අතුරෙන් වැඩි හරියකින් කියෑවෙන්නේ ප්ලාස්‌ටික්‌ යනු වාත්තු කළ හැකි වීම. පහසුවෙන් නැවිය හැකි වීම, මූර්ති සෑදීම යන ක්‍රියාවලින්ට කියන නමක්‌ බවය. එසේම ප්ලාස්‌ටික්‌ යන වචනය යොදන හැම තැනකම ප්ලාස්‌ටික්‌ යන ද්‍රව්‍යය පාවිච්චි වන්නේ නැත. උදාහරණයක්‌ ලෙස ප්ලාස්‌ටික්‌ සැත්කම් ගතහොත් ප්ලාස්‌ටික්‌ සහ එම සැත්කම් අතර සම්බන්ධයක්‌ නැත. එසේම ප්ලාස්‌ටි සහ ප්ලාස්‌ටික්‌ සහල් අතර ද සම්බන්ධයක්‌ නැත. ප්ලාස්‌ටික්‌ සහල් සාදනු ලබන්නේ ඉරිඟු පිටි බතල පිටි, අර්තාපල් පිටි, මඤ්ඤොක්‌කා පිටි යනාදිය ජලය සමඟ මිශ්‍ර කර එම මිශ්‍රණයට සෝයා වලින් සාදන ගම් වර්ගයක්‌ එකතු කිරීමෙනි. ඉන් පසු එම මිශ්‍රණය යන්ත්‍රයකට ඇතුළු කරන අතර යන්ත්‍රයෙන් පිටතට එන දිගටි බාස්‌මති සහල් වැනි සහල් විශේෂයකි. මේවා යන්ත්‍රයෙන් එළියට එන්නේම වියළිලාය. මේ සහල් තැම්බූ විට සාමාන්‍ය සහල්වල රසය හෝ සුවඳ ඇති නොවෙයි. එහෙත් මේවායින් බුරියානි ප්‍රයිඩ් රයිස්‌ වැනි දැ සෑදූ විට කරදරයක්‌ නැතිව අනුභව කළ හැකිය. ඒ ඒවාට එකතු කරනු ලබන සෝස්‌ වර්ග සහ රසකාරක නිසාය.

නිසි ප්‍රමිතියට ඇති අමුද්‍රව්‍ය වලින් මේ සහල් සාදන ලද්දේ නම් කිසිදු සෞඛ්‍ය ගැටලුවක්‌ හටගන්නේ නැත. එහෙත් මේ සහල්වලට දමන ගම් වර්ගය සෝයා ආශ්‍රිත නිෂ්පාදනයක්‌ නොවී කෘත්‍රිම ගම් වර්ගයක්‌ වූයේ නම් සෞඛ්‍ය ගැටලුව පටන් ගන්නේ එතැනින් ය.

ප්ලාස්‌ටික්‌ සහල් වැනි ව්‍යාජ නිපැයුම් ඕනෑතරම් අප අවට තිබේ. අප ඒවා නොදැන පරිහරණය කර තිබෙන්නට ද පුළුවන. සියලු බඩේ අමාරු හට ගන්නේ එම නිපැයුම් ව්‍යාජ ඒවා බව අප දැනගත් දින පටන් ය.

[rns_reactions]