අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි – රෝගීන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට

Spread the love

අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි – රෝගීන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට
උණ රෝගීන්ගෙන් පිරීයාම හේතුවෙන් ඊයේ(14) රාත්‍රීයේ සිට කිසිදු රෝගියෙකු අංගොඩ අයි.ඩී.එච් උණ රෝහල ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව නේවාසික ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරු 6 සිට රෝහල් ගේට්ටුවද වසා දමා ඇති අතර රෝහලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීමටද කටයුතු කර තිබේ.

උණ රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී යාමෙන් ඊයේ රාත්‍රී සිට අද(15) පෙරවරු කාලය දක්වා උණ රෝගීන් බාර නොගත් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අයි.ඩී.එච් උණ රෝහලේ ඇදන් 220ක් පමණ ඇති අතර රෝගීන් 600කට වැඩි ප‍්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇතැම් ඇදන්වල රෝගීන් හතර දෙනෙකු බැගින් සිටිති.

මේ හේතුවෙන් රෝහලේ ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවද වාර්තා වේ.

ගැටළුවට රාජිතගෙන් තීන්දු රැසක්

මේ අතර අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවැතීම හේතුවෙන් මතුව ඇති ගැටළුව නිරාකරණය කිරීම සදහා තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වලට මෙන්ම කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුලු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

එමෙන්ම කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක වැඩිදියුණු කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල් අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කර රෝගී සත්කාරක සේවා කළමණාකරණය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (15) පෙරවරුවේ උපදෙස් ලබාදී තිබේ.

දැනට අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 450 ක් පමණ ප්‍රතිකාර ලබති. එම රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වීම ද විශේෂත්වයකි.

අයි.ඩී.එච් රෝහලට අනුබද්ධ කරන රෝහල් සදහා ඇඳන් 200 ක් කඩිනමින් මිලදී ගැනීමට ද තීරණය කර ඇති අතර එම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇත. අයි.ඩී.එච් රෝහලේ තාවකාලික වැසිකිළි පද්ධතියක් පෞද්ගලික අංශයේ සහයෝගය මත ඉදිකිරීමට ද කටයුතු යොදා ඇත.

‍මේ අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ද රෝගීන් වැඩිවීම හේතුවෙන් දැනට නවීකරණය කරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක් රෝගීන් ඇතුලු කිරිම සදහා සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. තවද කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල් වල ද ඩෙංගු ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වන බැවින් එම රෝහල්වලට ද රෝගීන්ට ඇතුලත් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටි.

2017 වසරේ මේ වනවිට ඩෙංගු රොගීන් 62,000 ක් වාර්තා වී ඇත. අද (15) සහ හෙට (16) දෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නිවාස පරීක්ෂා කිරිම සහ ධූමායන කටයුතු සිදු කිරීම දිස්ත්‍රික්ක 21 ක් පුරා අද (15) පෙරවරුවේ ආරම්භ විය.

එහිදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වූයේ කසල බැහැර කිරීම විධිමත්ව සිදු නොවන බවයි. දරුවන් පාසල් වලට සහ නිවාස වල රැදී සිටිය දී මදුරු විකාශක භාවිත කරන ලෙස ද, නිදා ගැනීමේ දී මදුරු දැල් භාවිත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර සෑම සිකුරාදා දිනයකම උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දී ඇත. එම කාලය තුල නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරිම සදහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි.

[rns_reactions]