ඩෙංගු රක්‌තපාතයට ගොදුරු වන අවස්‌ථා මෙන්න..

Spread the love

පැරන්හයිට්‌ අංශක සියයට වඩා (100 f) උණ ඇතිවී අධික හිසදරය, දැත් දෙපා වේදනාව පවතින විට අපට නිතැතින්ම සිහිපත්වන්නේ ඩෙංගු රෝගයයි.

ඩෙංගු රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මතුවීම ඊට හේතුවය.

ඩෙංගුද වෛරස රෝගයක්‌ බැවින් වර්තමානයේ වෛරස රෝගයක්‌ වැළඳුනවිට අප ප්‍රතිකාර ලබාගන්නේ ඩෙංගු යෑයි සිතමිනි.

ඩෙංගු පිළිබඳව අප තුළ මේ තරම් අවධානයක්‌ යොමුව ඇත්තේ එය මේ වන විට ශීඝ්‍ර ලෙස පැතිරයාමත් මාරාන්තික තත්ත්වයට ඉතා ඉක්‌මනින් පත්වීමටත් ඇති අවස්‌ථාවත් වැඩිවී තිබීමය.

ඩෙංගු පැතිරෙන අයුරු

ඩෙංගු යනු වෛරස රෝගයකි. එය ඇති කරන වෛරස වර්ග 04 ක්‌ ඇත. එකම පවුලක සාමාජිකයන් වන මෙම වර්ග වෙනස්‌ වන්නේ ඉතා සුළු ලක්‍ෂණවලිනි. මෙම වෛරස වර්ග 04 ම එකවර මතුවීමක්‌ දක්‌නට නොලැබේ. බොහෝ විට එක්‌වරකට එක්‌ වර්ගයක්‌ පමණක්‌ මතුවේ.

ඩෙංගු වෛරසය පැතිර යන්නේ ඊඩිස්‌ ඊජීප්ටයි (Aedes aegypty)) සහ ඊඩීස්‌ ඇල්බොපික්‌ටස්‌ (Aedes albopictus) කාණ්‌ඩවලට අයත් මදුරුවන් දෙදෙනා ගෙනි. එම නිසා මෙම මදුරුවන්ට ඩෙංගු මදුරුවන් කියා සාමාන්‍යයෙන් අපි පවසන්නෙමු.

ඩෙංගු වෛසරය ශරීර ගතවීම

ඩෙංගු වෛරසය සහිත මදුරුවකු අපගේ ශරීරය විද ලේ උරාබොනවිට වෛරසය ශරීර ගතවේ.

එසේම ඩෙංගු මදුරුවකු ඩෙංගු රෝගියකුගේ ශරීරයේ ලේ උරාබොන විට රෝගියාගේ ශරීරයේ ඇති ඩෙංගු වෛරසය මදුරුවාගේ ශරීරයට ඇතුළු වේ.

එවැනි මදුරුවකු වෙනත් අයකුගේ ශරීරයෙන් ලේ උරා බොනවිටදීද ඩෙංගු වෛරසය එම පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වේ.

අපගේ රුධිරය හැඩගැසී ඇත්තේ ඉතා ඉක්‌මනින් කැටි ගැසීමටය. මදුරු තුඩකින් ඇතිවන රුධිර ගැලීමකදී ඩෙංගු වෛරසය ශරීර ගත වන්නේ කෙසේ දැයි කියා යමෙකුට සිතෙනු ඇත.

මදුරුවන් අපගේ ශරීරයෙන් ලේ උරා බීම සඳහා සිරුර විදින විට ලේ කැටි ගැසීම වළක්‌වන ද්‍රව්‍ය උගේ කෙලමගින් පිටකරයි. ඉන්පසු ලේ උරා බොයි. මෙම අවස්‌ථාවේදී මදුරුවාගේ කෙල මගින් ශරීරයට වෛරසය ඇතුළුවේ.

ඩෙංගු රෝගය මතුවීම

වෛරසයක්‌ ශරීර ගතවූ විට දින 03 ක්‌ සක්‍රියව පවතී. ඒ අනුව ඩෙංගු වෛරසය ශරීර ගතවූ විට දින 03 ක්‌ සක්‍රියව ක්‍රියා කරයි.

වෛරසයක්‌ ශරීර ගතවූ විට ඊට එරෙහිව සිරුරේ ප්‍රතිශක්‌තිය නිපදවා එය විනාශ කිරීමට කටයුතු කරයි. මෙම ප්‍රතිදේහ ක්‍රියා කිරීමේදී රුධිර පට්‌ටිකාද විනාශ වේ.

එබැවින් වෛරස රෝගයකදී විවේකීව සිටීම ඉතා වැදගත්ය.

සිරුරේ ඇති ලක්‌ෂ 1 1/2 ක්‌ පමණ වූ රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස්‌ දහසට වඩා අඩුවූ විට රුධිරය කැටි ගැසීම දුර්වල වේ. එවිට රුධිර සංසරණයටද බාධා මතුවේ.

ඩෙංගු රෝගයේදී අධික හිසරදය ඇස්‌ යට වේදනාව ඇඟපත වේදනාව, උණ ඇතිවීම යන රෝග ලක්‍ෂණ මතුවේ.

ඩෙංගු රක්‌තපාතය

ඩෙංගු වෛරසයට එරෙහිව ශරීරය ක්‍රියාකිරීමේදී ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වුවහොත් වෛරසය ප්‍රබලවී රුධිර පට්‌ටිකා දින දෙකක්‌ පමණ කාලයකදී ඉතා ඉක්‌මනින් විනාශ වේ. එවිට රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස්‌ දහසට වඩා අඩුවී රක්‌තපාත තත්ත්වය හටගනී. එවිට සිරුර අභ්‍යන්තරයේ රුධිරය ගලායාමක්‌ සිදුවී මරණයට පත්විය හැකිය.

ඩෙංගු රක්‌තපාතයට ගොදුරුවීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙස කුඩා දරුවන්, වැඩිහිටියන් රෝගී පුද්ගලයන් සහ වරක්‌ ඩෙංගු රෝගයට ගොදුරු වූවන් හඳුනාගෙන ඇත.

ඩෙංගු සඳහා ප්‍රතිකාර

එකදිගට උණ පවතිනවානම් ඇඟපත වේදනාව ඇත්නම් උණ ඇතිවී තෙවැනි දිනයේදී වෛද්‍ය උපදෙස්‌ මත රුධිර පට්‌ටිකා පරීක්‍ෂාවක්‌ හෝ සම්පූර්ණ රුධිර පරික්‍ෂාවක්‌ සිදු කළ යුතුය.

එම වාර්තාව අනුව රුධිර පට්‌ටිකා විශාල ලෙස පහළ බැසීමක්‌ පවතී නම් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතුය.

රුධිර පට්‌ටිකා පහළ බැසීමේ අවදානමක්‌ දක්‌නට ලැබේ නම් පසු දිනයේදීත් රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකර ඒ අනුව රෝහල් ගත කිරීම පිළිබඳව තීරණයක්‌ ගනු ලැබේ. රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන විට රුධිර සංසරණය පවත්වා ගැනීම සඳහා විශේෂිත සේලයින් වර්ගයක්‌ ලබාදේ.

ඇඳෙන් බිමටවත් නොබැස විවේකීව තබයි.

පැයකට වරක්‌ ජලය මිලි ලීටර් 100 ක්‌ (100 ml) බැගින් පානයට දී මුත්‍රා පිටවන ප්‍රමාණය පරික්‍ෂා කරනු ලබයි.

මෙමගින් සිදු කරන්නේ අභ්‍යන්තර රුධිර වහනයක්‌ සිදුවන්නේ දැයි කියා පරික්‍ෂා කිරීමටය. පානය කරන ජලය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටවේ නම් අභ්‍යන්තර රුධිර වහනය අවදානමක්‌ පවතී.

ඩෙංගු රෝගය නිසා මියයැමට ඇති අවදානම වළක්‌වා ගැනීමට නම් දින තුනකට වඩා උණ පැවතීම ඇස්‌ යටින් මතුවන අධික හිසදරය, ඇ`ගපත වේදනාව යන අපහසුතා මතු වූ වහාම වෛද්‍ය උපදෙස්‌ මත රුධිර පරීක්‍ෂාවකට යොමුවී නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.

[rns_reactions]