Author: Editor[A]

  • ශ්‍රීලනිපය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයිති නෑ – මහින්දගෙන් ප්‍රකාශයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයත් පක්ෂයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේදී ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායමට අදාළ පක්ෂයක් බවට සිතා සිටින බවයි.

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගනිමින් ඉදිරියට ගෙන යමින් සිටින බව  අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    [rns_reactions]
     

  • තාක්ෂණ ආයතන පාසල් හෝ සිරකදවුරු නොවේ..HNDA සිසුන් යලිත් සටනට එන ලකුණු…

    දෙහිවල උසස් තාක්ෂණ අයාතනයේ පවතින ගැටළු පිලිබදව එහි අධ්‍යාපනය හදාරන  HNDA සිසු සිසුවියන් අප වෙත දැක්වූ අදහස් මෙසේය. ගැටලුව කොතනද? විසදුම් කුමක්ද යන්න බලධාරීන් තීන්දු කලයුතු වුවත් එය එසේ නොවන්නේ නම් සිදු කල යුත්තේ කුමක්ද? මේ ඔවුනගේ කතාවයි…
    දෙවන සමාසික විභාගය ඉවර කරලා මාස දෙකක විතර කාලයක් අපට නිවාඩු ලබලා දීලා සමාසිකය මාස තුනක් දක්වා කප්පාදු කරලා විතරක්ම නෙවෙයි, ඇති වෙලා තියෙන අර්බුධ වලින් තවත් අර්බුධ වලට ATI ඇද දාන කාල සීමාවක් තමා අපි මේ ගත කරමින් ඉන්නේ.
    අපි මාස දෙකක් ගෙදර හිටියට තාම කිසිම දෙයක් වෙනස් වෙලා නම් නෑ. ඉස්සර ලැබුණු මහපොළ සොච්චම තමා තවම ලැබෙන්නේ. දේශන ශාලා පහසුකම් නෑ කියලා ඉතිහාසේ දරුණුම ශිෂ්‍ය බඳවාගැනීම් කප්පාදුව සිදු වෙමින් එනවා.ඒ වගේම ආචාර්ය පුරප්පාඩු, ශිෂ්‍ය සුභසාධන ගැටළු තවමත් ඒ වගේම තියනවා. ශිෂ්‍යයන්ට වසර හතක කාලයක ඉදලා නේවාසිකාගාර පහසුකම් නෑ. ශිෂ්‍යාවන්ට අළුතින් ඉදිකරපු නේවාසිකාගාරයේ වැඩ ඉවර කරලා අවුරුද්දක් විතර වහලා තියාගෙන ඉන්නවා.
    අපේ ප්‍රශ්න අපි කොච්චර පරිපාලනයට යොමු කලත්, ඒවා විසඳන්න පරිපාලනයට කිසිම වුවමනාවක් නෑ. හැබැයි එයාලට මුදල් ලක්ෂ ගණනින් වියදම් කරලා CCTV නම් හයිකරගන්න ලොකු වුවමනාවක් තිබුනේ.
    ඇයි මේ CCTV හයිකරලා තියෙන්නේ අපට තියෙන ආදරේටද? එයාලා කියන විදියට නම් ආයතනයේ තියෙන දේපල ආරක්ෂා කරන්නලු, ගැටුම් නිරාකරණය කරන්නලු.  අපි කරන හැම ක්‍රියාකරකමක්ම CCTV හරහා නිරීක්ෂණය වෙනවා හරියටම කිව්වොත් සිර කඳවුරක වගේම. ඔයා කැමතිද ඔයා කරන හැමදේම තව කෙනෙක් බලාගෙන ඉන්නවට, ඔයා ඇවිදින දිහා, කෑම කන දිහා, සෙල්ලම් කරන දිහා කෙලින්ම කිව්වොත් ඔයා ආදරය කරන දිහා බලන් ඉන්නවට ඔයා කැමතිද? ඔයාගේ අවසරයක් නැතිව ඔයාව වීඩියෝ කරනවට ඔයා කැමතිද? මේකට තමයි මානසික හිංසනය කියන්නේ. ආයතනය පරිපාලනය හිතනවා අපි ආයතන දේපල සොරකම් කරනවා කියලා.
    ඇත්තටම අපිට ඉගෙනගන්න තියෙන සම්පත් අපිම විනාශ කරගන්න තරම් මෝඩ නෑ කියලා පරිපාලනයට තේරෙන්නේ නැතිව ඇති. ඒ වුනාට එයාල කරන මුදල්, භාණ්ඩ වංචාකිරීම් ගැන දැනගන්න නම් ක්‍රමවේදයක් නම් නෑ. ඒ වගේම ශිෂ්‍යයෝ විදිහට අපට ඇතිවන ගැටලු වලට අපි සංවිධානය වීම වැළැක්වීමට හොඳම ක්‍රමයක් තමයි මේක. අපිට අපේ ගැටඑ ගැන කියන්න පෝස්ටරයක් ඇලෙව්වත් අපි වැරදිකරුවො වෙයි. අපිට උදේ 8.00ට ATI ඇවිත් 5.30ට යන්න වෙයි. අපිට ATI එක ඇතුලේ විනෝදවෙන්නවත් අවස්ථාවක් නැතිව යාවි. 
    දෙමාපියන්ව බලෙන් රැස්වීම් සදහා කැදවාගෙන මේක පාසලක් කියලා ඔලුවට දාගන්න ලොකු උවමනාවක් තියෙනවා පරිපාලනයට. මෙන්න එකට සාක්ෂි.
    මේ ඔවුනගේ ගැටලුවයි… 
    [rns_reactions]
  • තව්හීද් ජමාආත්හි රෙදි ගලවමින් බාල වයස්කාර විවාහවලට එරෙහිව බි.බි.සිය සටනට..

    වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ යන්න අද බිබිසි සිංහල සේවය වාර්තා කොට ඇත.

    “විවාහයක් අවශ්‍ය වීම අදාල දැරියට තිබෙනා අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් අපොහොසත් වූ බවත් “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පසුවත් විවාහ වීමට අවශ්‍ය නොවිය හැකි බවත්  එම නිසා ශ්‍රී ලංකාවේ ළමා විවාහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥ්ඥප්තිය උල්ළංගණය කරමින් තිබෙන බවත් බිබිසී සිංහල සේවය ලොවට ප්‍රකාශ කර තිබෙනවා.

    ”එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින්” බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරන බව එහි දැක්වෙයි.

    [rns_reactions]

  • සුදානම් වන්න – වසර අවසානයේ මැතිවරණයක් – මහින්දගෙන් ප්‍රකාශයක්…

    නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවයි.

    නැනෙහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 08 වැනි දා අවසන් වන අතර සබගරමු පළාත් සභාවේ නිල කාලයක සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වීමට නියමිතයි. උතුරුමැද පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ඔක්තෝබර් මස පළමු වැනිදායි. පළාත් සභා සම්බන්ධයෙන් වන මැතිවරණ නීති අනූව එය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. 

    [rns_reactions]

  • රෝගීන්ගේ දුක සැප සොයන්න ජනපති මෛත්‍රී අයි ඩී එච් රෝහලට..

    මුල්ලේරියාව අයි ඩී එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එක්වුනා. 

    ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින මෙහි අඩුපාඩු සොයා බැලු ජනාධිපතිවරයා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

    ඩෙංගු රෝගීන්ගෙන් මෙම රෝහල පිරීයාම නිසා ඇති වූ තදබදය හේතුවෙන් රෝගීන් ඇතුළත් කිරීම ඉකුත්දා තාවකාලිකව නතර කෙරුණු අතර වැඩි රෝගින් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වෙත යොමු කිරීමටයි පියවර ගැණුනේ. 

    කෙසේවෙතත් අයි ඩී එච් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි දැන් සිදුවනවා. 

    අදාළ රෝහල් වෙත යොමු කෙරුණු රෝගීන්ට අවශ්‍ය සියලූ විශේෂඥ වෛද්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී තිඛෙනවා. 

    ජනාධිපතිවරයා මෙම  චාරිකාවේදී අයි ඩී එච් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක්ද විමසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රෝහල් අධ්‍යක‍ෂිකා දිමුතු රත්නායකද එක්ව සිටියා.  





     [rns_reactions]
  • ඇමති කටමැත දොඩද්දී එංගලන්තයට ගිය ලංකාවේ අපේ ක්‍රීඩිකාවන්ට අඩු සැළකිලි !

    කාන්තා ක්‍රීකට් ලෝක කුසලාන‍යට තරග කිරීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් හෝටල ලබා දුන් පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.

    තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය දැරුවත් , ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින දහයකට පෙර එංගලන්තයට ගොස් තිබෙන නිසා තරගාවලිය ආරම්භ වනතෙක් කණ්ඩායමේ නවාතැන් පහසුකම් හි වියදම් දරා  ගැනීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයටයි. තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ හෝටල සදහා වියදම් ICC ය විසින් දරණු ඇත.

    වියදම් අඩු කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නියෝජනය කරන බළධාරීන් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් කාමර ලබා දී තිබෙන අතර එම කාමර කුඩා වීම නිසා කණ්ඩායමේ ක්‍රීඩීකාවන් එම කාමර ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව බලධාරීන් මැදිහත් වී කණ්ඩායමට තවත් අමතර කාමර තුනක් ලබා දීමෙන් පසුව තත්වය සමතයකට පත්ව ඇත.

    [rns_reactions]

     

  • එංගලන්තයේදී ක්‍රීඩා කළේ හරි ටීම් එකද?තිසරගේ උඩපන්දුව – මැතිව්ස්ගේ කමිසෙ තාම කරලියේ

    ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී තිසර පෙරේරා අතින් ගිලිහී ගිය පහසු උඩ පන්දුව බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව තිබුණි. ඒ පිළිබඳව විවිධ අදහස් පළවෙමින් තිබූ අතර ඉන් සමහරක් භයානකය.

    ශ්‍රී ලංකා පිල පළමු වටයෙන්ම ඉවත්වී මේ වන විට මව්බිමට පැමිණ තිබේ. ඒ හේතුවෙන් තිසර සහ සීකුගේ අතින් ගිලිහී ගිය උඩ පන්දු පිළිබඳව කතාකිරීම ඵල රහිතය.

    තරගයකදී පන්දු රකින්නකු අතින් උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය සිද්ධියකි. ගිලිහී යන උඩ පන්දුවට පිතිකරුගේ කීර්තිනාමය සහ තරගයේ ස්වභාවය අනුව බර තැබීමක් හිමිවේ. මෙය ද එවැනි තත්ත්වයකි. එම උඩපන්දුව රැකගත්තේ නම් තරගයේ වෙනසක් වේ යැයි බොහෝ දෙනා විශ්වාස කරති. බොහෝ විට එය එසේ වීමට ද ඉඩ තිබුණි. කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග පැවැසුවේ උඩපන්දු අතහැරීමෙන් තරග පරාජය නොවන බවය. තමන් අතින්ද උඩ පන්දු ගිලිහී ගොස් තිබෙන බව පැවැසූ මාලිංග කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කළ බවද කීය.

    මෙම තරගය අවසන්වීමෙන් තිසර පෙරේරා විවේකාගාරයට පැමිණ දැඩි කණස්සල්ලට පත්ව සිටි බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන් එකක් පමණක් ජය ලැබූ අතර ඉතිරි තරග දෙකම පරාජයට පත්විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය පිළිබඳව කවුරුන් ෙහා් අවධානය යොමු කරන්නේ නම් පළමුවෙන්ම අවධානය යොමුවිය යුත්තේ මෙම තරගාවලියට සහභාගි වූ සංචිතය දෙසට සහ ක‍්‍රීඩකයන් තරගවලට යොදාගත් ආකාරය දෙසටය.

    තේරීම් කමිටුව මෙම සංචිතය ඉතාමත් අමාරුවෙන්ම තෝරාගත් බව සනත් ජයසූරිය මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. මෙවැනි සංචිතයක් තේරීම එතරම් අමාරු නැතැයි සමහරු කියති.

    මෙම සංචිතය ඇස ගැටුණු ඕනෑම කෙනෙකුට දැනෙන්නේ මෙය පැත්තක් බර සංචිතයක් බවයි. මෙම සංචිතයේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නෙක් හෝ නිත්‍ය පා දඟ පන්දු යවන්නෙක් සිටියේ නැත.

    එම සංචිතයට ඇතුළත්ව සිටි එකම දඟ පන්දු යවන්නා වන චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන්ට පුහුණු තරග පමණක් ලැබුණි. අවස්ථානුකූලව ඔහුව යොදා ගැනීමට පියවරක් ගත්තේ නැත.

    පාකිස්ථානයට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දඟ පන්දු යවන්නකු යැයි කිවහැකි පන්දු යවන්නකු සිටියේ නම් මොහොමඩ් අමීර්ට පීඩනයක් යොමු කර දවාගැනීමේ අවස්ථාව තිබුණි. කෙසේ වෙතත් එහිදී එවැනි පීඩනයක් යොමු කළ හැකි දඟ පන්දු යවන්නෙක් සිටියේ නැත.

    දකුණතින් මඳ වේග පන්දු යවන්නකු වන අසේල ගුණරත්නට පිට දඟ පන්දු යවන්නාගේ කාර්යය බාර දී තිබූ අතර ඔහු ද ඕවර 5 ක් පමණක් යැවීමට යොදා ගත්තේය. පිට දඟ පන්දු යවන්නන් වන ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ඕවරය බැගින් යවා තිබුණි.

    අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා තරගාවලිය ආරම්භයේ සිටම එංගලන්තයේ රැදී සිටියහ. පරිසරයට හුරුව සිටි ඩිල්රුවන් මඟ හරිමින් මැජික් පෙන්වීමට ධනංජය ද සිල්වා එක තරගයකට පමණක් සහභාගි කරවීමට එංගලන්තයට කැඳවා තිබිණි. ඒ පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකා පිලේ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ පැවසුවේ එංගලන්ත තණ තීරු වේග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වූ බැවින් සඳකැන්ට අවස්ථාවක් නොලැබුණු බවය. එසේම මැද පෙළ හොඳ පිතිකරුවකු අවශ්‍යව තිබූ බැවින් ඩිල්රුවන් සිටියදී ධනංජය ගෙන්වාගත් නමුත් ඔහු ලකුණු රැස් නොකළ බවත් කීය.

    මෙම තරගාවලිය අවසන් වන විට ද කණ්ඩායම් අභ්‍යන්තරයේ ගැටුම් නිර්මාණය වී තිබූ බව වාර්තා වේ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු නොයවන්නේ නම් තරගවලට සහභාගි නොකරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියකු බලපෑම් කළ බවත් අසංක ගුරුසිංහගේ මැදිහත් වීමෙන් මැතිව්ස්ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණු බවත් දැනගන්නට තිබේ.

    මැතිව්ස් එයට පිළිතුරු දැක්වීමක් ලෙස ඉන්දියාවට එරෙහිව තරගය ජය ලැබීමෙන් පසුව කමිසයේ ඇති ඔහුගේ නම පෙන්වූ බවට කතාවත් පැතිර ගියේය.

    කෙසේ වෙතත් මැතිව්ස් පැවසුවේ එය කිසිවකු ඉලක්ක කරමින් පෙන්වීමක් නොවන බවත් සතුට වැඩිවීම නිසා කළ දෙයක් බවත්ය.

    [rns_reactions]

  • අතේ පත්තුවූ ජනපතිගේ හූනියම.. කියවන්න මේ ස‍ටහන…

    මල් බිත්තර කටු අරවා මේවා සොහොන උඩ දාලා ගිහිල්ලා

    හිටපු ඇමැති කෙනෙකු දෙසට ඇඟිලි දිගුවෙයි

    කාන්තාවකගෙනුත් උදව් අරන්!

    යක්කු ගස්යන වෙලාවේ කරපු කට්ටඩි වැඩක්

    කළුවර අඳුන ගාගෙනයි එන්න ඇත්තේ….

    සල්ලි විසිකරලා කටවහන්න ඇති

    ජනපතිගේ රූපය තඹ තහඩුවේ ඇඳලා නමත් කොටලා තිබුණා

    කුවේණියගේ ශාපය – ශාපයක් වී ලක් පොළොව දවාලන වග විශ්වාස කරන ජනකොටසක් 21 වැනි සියවසේදීත් මේ දෙරණ මත ජීවත් වෙති. එමෙන්ම යක්ෂ ප්‍රේත භූත හදිහූනියම් ආදි අදෘශ්‍යමාන බලවේග සහ විධික්‍රම විශ්වාස කරන එකී බලවේග පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යනයක නිරත පිරිසක්ද ලොව වෙති. බුදුදහම ගැඹුරින් අධ්‍යනය කරද්දීත්, විද්‍යාව අභිබවා යමින් ත්‍රිමාන දෘෂ්ඨියෙන් ඔබ්බට අහස පොළොව අතර සියල්ලක් අධ්‍යනය කරද්දීත්, ඉහත කී සියල්ල විශ්වයේ පවතින්නේ යැයි විමර්ශනාත්මකව හෙළිදරව් කරන පිරිසක් මෙන්ම මේ සියල්ල ගල් යුගයේ සංකල්ප හා විශ්වාස ලෙස සලකා බැහැර කරන පිරිසක්ද විශ්වය මත වෙති. බුද්ධිය සහ අතීත සම්ප්‍රදායන් සමඟ හුදු ආත්මීය අරගලයක යෙදෙමින් සත්‍ය ගවේෂණයේ යෙදෙන්නන් පිරිසක්ද ධරණීතලයේ වෙසෙති. ආසියාකරයේ මෙන්ම නවීන විද්‍යාව ජීවිතයේ පදනම කරගත් යුරෝපයේද එවැන්නන් අඩු නැති බව අපි දනිමු.

    මේ මොහොතේ මේ තොරතුරැ සොයන්නේ එකී ජන විඥානය හෝ විශ්වාසය පිළිබඳ නොවේ. මින් දින කිහිපයකට ඉහතදී මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි හා ෆේස්බුක් ආදි ජනසමීප මාධ්‍යට කදිම කටගැස්මක් වූ රජරට තඹ තහඩුවේ හූනියම ගැනය. මේ හූනියම එසේ මෙසේ හූනියම් කතාවක් නොව තුඩ තුඩ රැව්දෙන හූනියම් කතාවක් බවට පත්වූයේ හූනියමට පාත්‍ර වී සිටි මුඛ්‍ය චරිතය අද මෙරට පාලක චරිතය වූ හෙයිනි.

    අම්මට සිරි… බුදු අප්පේ… ඔහේ බලපන්… හාහා කට කට… ඕක ගැන දැනගත්තත් දන්නවා නොදන්නවා වගේ ඉන්න එක ඇඟට ගුණයි… ගමේ සෝමලතාට… විල්සන්ට කරපු හූනියමක් නෙවෙයිනේ… මොකක්… ජනාධිපතිට කරපු හූනියමක් එහෙනම් එසේ මෙසේ සල්ලියක් නෙවෙයි යට කරන්න ඇත්තේ… හොඳ කට්ටඩියෙක් තමා වැඩේ කරන්න ඇත්තේ… හා… හා… කට.. කට…

    මෙවැනි කතා ඉකුත් දින දෙක තුනේම කැබිතිගොල්ලෑව ගම්මානයෙන් ඇහෙන්නට වූයේ මේ හූනියම කරණ කොටගෙනය.

    පදවිය – කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියෙන් හමු වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලන රජයේ පිරිසක් අරමුණු කරගෙන කර ඇතැයි කියන තඹ තහඩු හූනියම අද වෙද්දී රටම දන්නා හූනියම් කතාවක් වුවත් එහි උණුසුම නම් තවමත් එලෙසමය.

    අපේ මතකය නිවැරදිනම් 2006 ජුනි 16 වැනිදායින් පසුව කැබිතිගොල්ලෑව මේ රටේ ජනතාව උණුසුම් හැඟීමෙන් කතා කළ මාතෘකාවක් බවට පත්වූයේ නැත. එදා 2006 ජුනි 16 වැනිදා මේ රටේ මිනිසුන් තමන්ගේම යැයි කියා එකෙක්, යාළුවෙක්, නෑදෑයෙක් එතැන නොසිටියත් උන් වෙනුවෙන් අපමණක් සුසුම් ලෑහ. ඒ කැබිතිගොල්ලෑවේදී කොටි බෝම්බයකින් බසයක් පිපිරවීම හා ඉන් ජීවිත ගණනාවක් මියැදුණු දවසයි. තමාගේ පුංචි පුතුගේ දේහය දෝතට ගත් තාත්තා කෙනෙක් පුත්‍ර ස්නේහයෙන් විලාප නගමින් අනේ මේ යුද්ධය ඉවර කර දෙන්න යැයි රට කරපු ජනාධිපතිගෙන් ඇයද සිටි ඒ අතිශය සංවේදී දර්ශනය මුළු රටක්ම කැළඹීමට ප්‍රකම්පනයට පත්කළා ඔබට මතකද? ඒ සංසිද්ධියෙන් ඉනික්බිති කැබිතිගොල්ලෑව ගැන සුවිශේෂි සිද්ධියක් අළලා කතා කළා අපට මතක නැත. එකී සිදුවීමෙන් අවුරුදු 11කට පසු කැබිතිගොල්ලෑව රටේත් මාධ්‍යයේත් මාතෘකාවක් වූයේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉලක්ක කර ඇතැයි කියන මෙම හූනියම නිසාය.

    පදවිය කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටිය යනු ජනශුන්‍ය පෙදෙසක් නොවේ. ඒ අවට කාලයක් තිස්සේ ජනවාස වී පවතින අතර මහවැහි වහින වැහි දිනයකදී හෝ අන්ධකාර මැදියමකදී හැරෙන්න ගම්මුන්ගේ වංහුං හොයන විමසිලිමත් නෙතින් මුවාවී ඒ සොහොන් පිටියේ හොර වැඩක්, හූනියමක් කිරීම තබා කසිප්පු වඩියක් ගැසීමවත් ලේසි පහසු කාර්යයක් නොවේ. එහෙයින්ම මේ හූනියම් තතු විත්ති සොයාගෙන අප පහළ උස්ගල්ල සොහොන් පිටියට ගිය මොහොතේ අප හා කතා කළ ගැමි කාන්තාවක් පැවසූයේ මෙවැන්නකි.

    ඈ යකෝ… අපේ ඇස් වහලා මොකා මෙතන්ට ඇවිත් හූනියම් කළාද… එහෙනම් ඉතින් යක්කු ගස්යන වෙලාවේ කට්ටඩියා ආවා වෙන්න ඕනෑ… ඒත් අපේ මිනිහා නම් පොඩි සද්දෙටත් ඇහැරෙනවා. වටපිට සෝදිසි කරනවා. ඒ නැතත් මේ වටේ පිටේ බලු හැත්ත අඩි සද්දයක් ඇහුණත් වරුවක් බුරන එකේ මේක මෙතෙන්ට ඇවිත් කළා කියලනම් අපට විශ්වාස කරන්න අමාරුයි. එහෙමනම් ඉතින් කළුවර අඳුන ගාගෙන එන්න ඕනෑ…

    අද ඊයේ නෙවෙයි දැන් මාසයක් දෙකක් ඇතුළෙ කාලෙදිවත් මොකුත් සිද්ධියක් වුණා මතක නැද්ද? අපි නැවතත් ඇයගෙන් විමසුවෙමු

    ඔහේ නෑ… මහත්තයෝ… හාංකවිසයක්වත් ඇහුණෙ නෑ…

    මේ ගමේ ඉන්නවද ඔය හූනියම්වලට ප්‍රසිද්ධ කට්ටඩිලා එහෙම…

    ගම්වල ඕවා විශ්වාස කරන මිනිස්සුනම් එමට ඉන්නවා. උගත් නූගත් භේදයන් නෑනේ මහත්තයෝ ඔය වැඩවලට. ඒත් එහෙමම දන්න කියලා කෙනෙක් නම් නෑ…

    අම්මා මේ සොහොන් පිට්ටනිය ළඟම ගෙදරකද ඉන්නේ?

    අනේ අනේ මහත්තයෝ පත්තරවලටනම් අපි ගැන ඕන නැති ඒවා ලියන්න එපා… ඊළඟ වඩියේ පොලිසියේ මහත්තුරු අපේ ගෙදර එයි කටඋත්තර ගන්ට… ඒවා මේ නැති ප්‍රශ්න… අන්තිමේ පොලිසිගාණේ රස්තියාදු වෙලා අපට මේ ගෙදර දොරේ වැඩක්වත් කරගන්න බැරිවෙයි… ඔය කැමරාව උලුක් කරගෙන හිටියට කමක් නෑ… අපේ එහෙම ෆොටෝ කෑලි දානවා නෙවෙයි ඕං….

    ඇය සැබැවින්ම ඉල්ලීමක් කළා නොව කෙළින්ම විධානයක් දුන්නාය. ඇගේ කතාව අසා සිනාසුණු තවත් ගැමියෙකු පැවසූවේ ගෑනි කියන කතාවත් ඇත්ත මහත්තයෝ කරපු උන් පැත්තක ඉද්දී අන්තිමේ ඕවට පොලිසි ගාණේ බඩගාන්න වෙන්නේ අපිට. සමහර මිනිස්සු විස්තර දන්නවා. ඒත් කටක් හොල්ලන්න මිනිස්සු කැමති නෑ.

    වචනයක් හරි කීව ගමන් පොලිසියෙන් ඇවිත් එක්ක යනවා කට උත්තරයක් ගන්න. හූනියම් ආරංචිය ආව ගමන් අපිත් ආවා බලන්න. සමහරු තවත් හූනියම් තියේද කියලත් හෙව්වා. කටවහන් ඉන්න බැරිකමට මිනිස්සු කට අරින්ට ගිහින් අන්තිමේට කටඋත්තර ගන්න කියලා පොලීසියට දක්කපු එක තමා වුණේ… ඒකයි මිනිස්සු දන්න දේ හරි කියන්න බය. හැබැයි සමහර මිනිස්සුන්ට නම් කොඩිවිනේ කරපු මිනිස්සුම සල්ලි විසික් කරලා කට වැහුවද දන්නෙ නෑ… සොහොන් පිටිය අවට මිනිසුන් සමඟ මේ ගැන වැඩිදුර කතාව අසීරු වූයේ කටඋත්තර ගන්නට අපි පොලීසියට එක්ක යයි යන සිතුවිල්ල මත තිබූ බිය නිසා බව පැහැදිලිවම පෙනී ගිය කරුණකි. එමෙන්ම ඉහත ගම්වැසියා පැවසූ පරිදි සල්ලි නිසා කට වහගෙන සිටින පිරිසක් ඉන්නවාද යන්නත් කිසිවක් අපි නොදනිමු. අනුරාධපුර කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පහළ උස්ගල්ල ගමෙහි සොහොන්පිටියක තිබී හමුවු අඟල් දෙකක පළලින් සහ අඟල් දහයක දිගකින් යුත් තඹ පත්‍රිකාවක කෙටුවේයැයි විශ්වාස කරන මෙම හූනියම් තඹ පත්‍රිකාව හමුවී ඇත්තේ මේ සොහොන් පිටියට යාබදව ඇති විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් ඉදිකිරීම් බිමක සේවයේ නිතර තරුණයන් දෙදෙනෙකුටය.

    සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, පර වූ රතු මල්, පොල් තෙල් සහ පහන් කිහිපයක් තිබෙනු දුටු තරුණයෝ ඒ පිළිබඳව විමසිලිමත්ව අවට විපරම් කර බලන්නට වූහ. එහිදී ඔවුන්ගේ නෙත ගැටී ඇත්තේ සොහොන ආසන්නයේ රෝල් කර දමා තිබූ අඟල් දහයක් දිග අඟල් දෙකක් පළල තඹ පත්‍රිකාවකි. සැක සංකාවෙන් යුතුව වුවත් ඔවුහු එය අතට ගෙන මේ කුමක්දැයි විමසා බැලූහ. ඒ වෙද්දී වෙලාව දවල් 12.30ය. රෝල් කර තිබූ තඹ පත්‍රිකාව දිග හැර බලද්දී තරුණයන් දෙදෙනා මොහොතකට වික්ෂිප්ත වූයේ එහි මෛත්‍රිපාල සිරිසේන යන නමත් තවත් දන්න කියන නම් කිහිපයකුත් කොටා තිබූ දුටු විටය.

    මෛත්‍රිපල සිරිසේන, කේ.එච්. නන්දසේන හෙවත් හේතුහාමිගේ නන්දසේන, සුසිල් ගුණරත්න, තුසිත ගුණරත්න, කවීන් දිසානායක, අමිල දිසානායක, රවින්ද්‍ර දිසානායක යන නම් ඒ පත්‍රිකාවේ සටහන්ව තිබූ අතර ඔවුන්ගේ හැඩරුව මතුකළ අනුරූද එහි කොටා තිබුණි. කේ.එච්. නන්දසේන යනු උතුරු මැද පළාත් හිටපු අමාත්‍යවරයාය. සුසිල් ගුණරත්න යනු උතුරු මැද පළාත් අමාත්‍යවරයාය. තුසිත ගුණරත්න යනු ඔහුගේ පුත්‍රයාය. කවීන් දිසානායක යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෙන්ම කෘෂිකර්ම ඇමැතිවරයා වන දුමින්ද දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයාය. එමෙන්ම කවීන් අමිල හා රවින්ද්‍ර යනු දුමින්දගේ සහෝදරයන් තිදෙනාය.

    මෙම තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හතක් ඇඳ එහි තිරස් අතට නම් රේඛණය කොට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූපය අඟවන රූපය ඇඳ එහි පසෙකින් නම ලියා ඇති අතර ජනාධිපතිවරයා ජාතික ඇඳුමේ කමිසයට උඩින් අඳිනා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජැකැට්ටුවද ඒ රූපයේ මනාව මතුකර දක්වා ඇත.

    මෙම හූනියම් තඹ තහඩුව තරුණයන් දෙදෙනාට හමු වූ පුවත ගම්දොරින් දොර සැලවෙද්දී ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නෙකු විසින් එය රැගෙන ගිය බව තඹ පත්‍රිකාව සොයාගත් තරුණයෙකු අප හා පැවසීය.

    ගම්වැසියන් පවසන්නේ මේ සොහොන්බිම නගරයට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි නිසාත්, ඒ මැද්දෙන් වැටී ඇති පාරේ ගමේ මිනිසුන් හිතර ගැවසෙන නිසාත් මෙහි පැමිණ හූනියම් කිරීම නම් ඉතා දුෂ්කර කාර්යයක් බවය. කොහේ හරි කරලා ගෙනත් දැම්මද දන්නේ නෑ… ඔවුන් එසේ පැවසුවත් එහෙනම් මල් බිත්තර කටු අරවා මේවා සෙහොනක් උඩ තිබෙන්නේ කොහොමද… වටේ ඉන්න කාට කාට හරි සල්ලි කීය කීය හරි දීලා කටවල් වැහුවද කව්ද දන්නේ යනුවෙන් විමසන පිරිසක්ද සිටිති.

    ආන්දෝලනයට තුඩු දුන් මෙම තඹ පත්‍රිකාව පිළිබඳව කවර හෝ තොරතුරක් සොයමින් ඒ අවට පැය ගණනක් ගත කරද්දී අපට ඒ පිළිබඳව රහසිගත තොරතුරු රැසක්ම අනාවරණය කරගන්නට හැකිවුවත් ඒ තොරතුරු අප වෙතට ලබා දුන් ප්‍රදේශවාසින්ගේ බලවත් ඉල්ලීම වූයේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ගැන කවර හෝ සඳහනක්වත් නොකරන ලෙසය. ඔවුන් ඉතා විශ්වාසවන්ත ලෙස හෙළිදරව් කළ ඒ තොරතුරුවලට අනුව මෙම හූනියම කර ඇත්තේ අධික බල තණ්හාවෙන් යුතු දේශපාලනඥයකු විසිනි. අමාත්‍යධූරයක් දැරූ මේ දේශපාලනඥයා මෙම හූනියම කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මනස ව්‍යාකූල වී පක්ෂයේ වැඩකටයුතු අකර්මන්‍ය කිරීමටත්, මෙහි නම් සඳහන් පුද්ගලයන් භේදභින්න කර ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට වර්තමාන ආණ්ඩුවෙන් තැනක් ලබාගැනීම සඳහා බවටත් මෙම තඹ තහඩු හූනියම හමුවීමත් සමඟ ගමපුරා කටකතා පැතිර ගියත් එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව කියන්නට අපි නොදන්නෙමු.

    එහෙත් කාලයක් මුළුල්ලේ මේ ගමේ ජීවත්වෙන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය හොඳින් හඳුනන පුද්ගලයන් කිහිප දෙනෙක්ම ගමේ ජීවත්වන එක් කාන්තාවක් පිළිබඳව අපට තොරතුරු පැවසූහ. මහත්තයෝ අහවල් හිටපු ඇමැතිට උදව් කළේ ඒ ගෑනිම තමා න්‍යායෙන් ප්‍රදේශයේ ජීවත් වන එක් කාන්තාවක පිළිබඳව අපට ඔවුන් පැවසුවේ මෙවන් තොරතුරකි.

    ඔය සොහොන් පිට්ටනිය ළඟම ගෙදරක ඉන්න ගෑනු කෙනෙක් ඉන්නවා. නගරෙ වගේ නෙවෙයිනේ මහත්තයෝ මේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත. කාමරයේ දොර වහගෙන කරන දෙයක් ඇරෙන්න ආයෙ මොනවා කීවත් කළත් හාව හූව යනවා වටේටම. ඔය ගෑනු කෙනයි අර හිටපු ඇමැතියි අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා කියලා තමා ඔය වටේ මිනිස්සු නම් කියන්නේ. අනිත් එක ඔය ඇමැති හදි හූනියම් පස්සෙ හරියට දුවන කෙනෙක්. ඔය දෙකම ප්‍රසිද්ධ රහස්.
    එහෙත් මේ සියලු සංසිද්ධීන් කරුණු කාරණා සහ ගම් දොර දොරින් දොර පැතිර යන කතා අතරේ අප විචක්ෂණ බුද්ධියෙන් සහ අවබෝධයෙන් විමසා බැලිය යුතු සහ වටහා ගත යුතු කරුණු කිහිපයක්ද තිබෙන බව අපි විශ්වාස කරමු.

    හූනියම් කළා නම් ඒ කළ තැනැත්තා හූනියමක් කළ බවට තවකෙනෙකුට සැක කළ හැකි කිසිදු සාක්ෂියක් ඉතුරැ කර තබයිද?

    තමා සැකයට භාජනය විය හැකි බැවින් එසේ සැකයට තුඩු දිය හැකි ප්‍රදේශයක හූනියමක් කරයිද?

    ජනශුන්‍ය නොවූ තැනකදී ලෙහෙසියෙන්ම කෙනෙකුගේ ඇස ගැටිය හැකි තැනක මේ ආකාරයේ පැහැදිලිව නම් සඳහන් කළ එසේම අව් රශ්මිය වැදුණු සැනින් දිලිසෙන තඹ පත්‍රිකාවක් දමා තබයිද?

    නොඑසේනම් වළදැමීමට හෝ සැඟවීමට අමතකව මෙසේ වැටී තිබුණාද?

    නොඑසේනම් මේ සියලු කාරණාවලට පිටස්තරව හූනියමක් නොකරම නම් සඳහන් කර ඇති පුද්ගලයන් බිය ගැන්වීමේ හා මානසිකව ව්‍යාකූල කිරීමේ අටියෙන් තඹ තහඩුවක නම් කොටා අන් අයගේ අවධානයට පාත්‍රවන තැනක මෙවැන්නක් දමා තිබුණාද?

     

  • දිවි නසාගැනීමේ පීඩාව හැමෝටම… කියවන්න දැනගන්න…

    * සමාජ අන්තර්ක්‍රියාව ප්‍රතිනිෂ්පාදනය නොවීම ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු කෙරෙහි බලපෑම් කරයි

    * අනෙකාගේ හැඟීම් සිතිවිලි පිළිබඳ අවධානය යොමු කරන්න
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 -15 වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා කර තිබේ. ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය තරින්දි උදලාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් පහළ ගොස් ඇති බවයි. ඒ අලළා කථිකාචාර්ය තරින්දි උදලාගම සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකැසණි.

    ලෝකය විෂමය. මිනිස් සිත චංචලය. ක්ෂණයෙන් පීඩාවටද, වේදනාවටද පත් වන මිනිස් සිත සන්සුන් කරගැනීමට ආගම දහම උපයෝගී කරගත හැකිය. එසේ සිත පහසුවෙන් සන්සුන් කරගත නොහැකි පිරිස් ද සිටිති. ඔවුන් කෙරෙහි සමාජයේ විශේෂ අවධානය යොමු විය යතුය. එහෙත් වේගයෙන් වෙනස් වෙමින් පවත්නා ශ්‍රී ලාංකේය සමාජයේ අනෙකා කෙරෙහි අවධානය යොමු කිරීම අවම වෙමින් පවතී. ඒ අවම වීම හේතුවෙන් ඉඳ-හිට සිදු වන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වුවද ඉක්මනින් ‍සමාජගත වේ. සමාජගත වන මේ මරණ පිළිබඳ තොරතුරු දෙස විමසිලිමත්ව බැලීමෙන් අවධාරණය වන්නේ සාක්ෂරතාව ඉහළ රටක් වන ශ්‍රී ලංකාවේ උගත් පිරිස්ද සියදවි නසාගැනීමට යොමු වන බවයි. පසුගිය සති දෙක තුළ අනුරාධපුරයේ රෝහලේ තිස්එක් හැවිරිදි වෛද්‍යවරියක හා පේරාදෙ‍ණිය විශ්වවිද්‍යාලයේ විසිහතර හැවිරිදි උපාධිධාරිනියක සියදිවි නසාගත් බවට පළ වූ වාර්තාවලින් පැවසෙන්නේ ඒ සත්‍යතාවයි.

    ක්ෂණික තීරණ මත සිදු වන මේ තත්ත්වය ඉතා කනගාටුදායකය. ඉන් අහිමි වන ජීවිත ස්වල්පය වුවද සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන අප රටට බොහෝ වටී. එබැවින් සියදිවි නසාගැනීම් හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව අවම කරගැනීමට සමාජයක් ලෙස අප අවධානය යොමු කළ යුතු වේ.

    ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අවම වුවද තමන්ට ශාරීරිකව හානි පමුණුවාගැනීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මහාචාර්ය රවී හංවැල්ල වාර්තා කොට තිබේ. එහෙත් ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් පර්යේෂණයක් තවමත් ශ්‍රී ලංකාවේ සිදු වී නැත.

    සියදිවි නසාගැනීම තනි සංසිද්ධියක් නොවේ. එය එක් විශාල ප්‍රශ්නයක කොටසක් පමණි. කෘෂිකාර්මික – ධීවර සමාජයක් ඇති ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ගෝලීයකරණය වැනි සංකල්ප හේතුවෙන් සමාජ තත්ත්වය වෙනස් වෙමින් පවතී. ඒ හේතුවෙන් ඥාතිත්වයට නව අර්ථකථනයක් ලැබෙමින් තිබේ. මිනිස් අදහස් නූතන වී ඇත. මේ හේතුවෙන් සමාජ සබඳතා මත ගොඩනැගෙන අන්තර්ක්‍රියා පාලනය කරගැනීමට (තමන් කරනු ලබන ක්‍රියාව මගින් අනෙකාට වන බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට) නොහැකි වීම හේතුවෙන් මිනිස් සබඳතා වන ඥාතිත්වය හා බැඳෙන අඹු-සැමි සබඳතා, මාපිය-දූදරු සබඳතා, ගුරු-සිසු සබඳතා බිඳ වැටේ.

    ශ්‍රී ලංකා සමාජය නූතනත්ත්වය කරා යන ගමනේදී සිදු වන සංස්කෘතික වෙනස් වීම් සමඟ එකිනෙකා හා සහයෝගයෙන් හා සාමූහිකත්වයෙන් ජීවත් වීමට අවශ්‍ය ව්‍යූහය ගොඩනැඟී නොතිබීම හේතුවෙන් මානව බැඳීම් ලිහිල් වෙමින් තිබේ. රට තුළ භෞතික සංස්කෘතික සංවර්ධනය සඳහා අවශ්‍ය අන්තර්ක්‍රියාව ශ්‍රී ලාංකේය සමාජය තුළ නිෂ්පාදනය වී නොතිබීම හේතුවෙන් පුරවැසියන්ගේ ජීවිත ගැටලුකාරී වීම හා පුද්ගල හැඟීම් ප්‍රකාශ කරගත නොහැකි වීම හරහා ලජ්ජාව, භය, තමන් අවතක්සේරු වීම යන හැඟීම් මත පුද්ගලයා සියදිවි නසාගැනීමට කැමැත්ත ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාව වැනි රටකදී සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නන් සත්‍ය වශයෙන්ම සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නේද යන ගැටලුව පැනනඟින බව විෂයය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන්නන්ගේ අදහසයි. එබැවින් වර්තමානයේ සමාජ විද්‍යාත්මකව සියදිවි නසාගැනීම එනමින් හඳුන්වන්නේ නැත. ඒ වෙනුවට ‘සියදිවි ගැනීමට කැමැත්ත පළ කිරීම‘ ලෙස එම ක්‍රියාව සමාජ විද්‍යාත්මකව හඳුන්වනු ලැබේ.
    සියදිවි නසාගැනීමට ශ්‍රී ලාංකිකයන් යොමු වන්නේ බහුල වශයෙන්ම සන්නිවේදන ගැටලු හේතුවෙන් බව පර්යේෂණ මගින් අනාවරණය කොට ගෙන ඇත. සන්නිවේදන ගැටලු හේතුවෙන් පවුලේ පිරිස් හෝ හිතවත් පිරිස් බිය කිරීම, තමන් වෙත අවධානය යොමු කරවාගැනීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකී වීම, ලජ්ජාව, බිය, හෝ සංස්කෘතික හේතූන් මුල් වී මීට පුද්ගලයා පෙලඹේ. මේ තත්ත්වය ‘සියදිවි නසාගැනීමට කැමැත්ත පළ කිරීම‘ ලෙස සමාජ විද්‍යාඥයන් හඳුන්වන්නේ එබැවිනි.
    ශ්‍රී ලංකාවේ දී සිදු වන සියදිවි නසාගැනීම් ‘චේතනාව‘ තුළ පමණක් සිදු නොවේ. එබැවින් මේ තත්ත්වය සෞඛ්‍ය අංශය අවධානය යොමු කරන ආකායේ මානසික සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුන්වා දීමට නොහැකි බව මේ කාරණය පිළිබඳ ලංකාවේ පර්යේෂණ සිදු කරන පර්යේෂණ කණ්ඩායම විසින් හඳුනාගෙන ඇත.

    මෙරට සියදිවි නසාගැනීම පිළිබඳ පැහැදිලි දත්ත නැත. ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ ප්‍රබල චේතනාවෙන් ලිපියක් ලියා තබා දිවි හානි කරගත් බව දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. සියදිවි නසාගැනීමට කැමැත්ත පළ කරන්නන් වැඩි දෙනකු ඒ සඳහා යොමු වන්නේ ‘කවුරුන් හෝ තමන් බේරාගනු ඇත‘ යන හැඟීම සමඟ බව පර්යේෂකයන් අවධාරණය කර තිබේ.

    ගැහැනු දරුවන් සියදිවි නසාගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේදී පර්යේෂණ කළ අමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ Jeanne Marecek විසින් දියණිවරුන් හා මවුපියන් අතර ඇති වන ගැටුම් හේතුවෙන් දියණිවරුන් සියදිවි නසාගැනීමට උත්සාහ කරන බව අනාවරණය කරගෙන තිබේ. මෙහිදී සංස්කෘතික හේතූන්, දෙමවුපියන් හා කතාබහ කිරීමට (සන්නිවේදනයට) ඇති අපහසුතා, තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම, හා සිදු කෙරෙමින් පවත්නා දෝෂාරෝපණ තවදුරටත් වළක්වා‍ගැනීම අපේක්ෂිත බවය. එහෙත් කිසි විටෙකත් සත්‍ය වශයෙන්ම දිවිය තොර කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාව නොවන බව හඳුනාගෙන තිබේ.

    මානවවංශ ක්‍රමවේදය භාවිත කරමින් හලාවත ගම්මාන ආශ්‍රය කොට ගෙන සියදිවි නස‍ාගැනීම් පිළිබඳ ග්‍රන්ථයක් රචනා කළ Tom Widger ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තිකයන් ‘දුක‘ හේතු කොට ගෙන සියදිවි නසාගැනීමට කැමැත්ත පළ කරන බව අවධාරණය කර තිබේ. ඒ පවුල් සබඳතා තුළදීය. ඒ පූර්ණ වශයෙන් සියදිවි නසාගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.
    උතුරු මැද පළාතේ වස පානය කිරීමෙන් වන මරණ අවම කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා SATRAC ආයතනය එක්ව වස තැන්පත් කිරීමට ගොවියන් සඳහා සුදුසු පෙට්ටියක් නිර්මාණය කර තිබේ. ඒසඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහාය ලබා දී ඇත.

    ඒ හැරුණු විට 1995-96 කාලයේ සියදිවි නසාගැනීම් අවම කිරීමට පත් කළ කොමිසම මගින් අතිශයින් මිනිස් ජිවිතයට හානිකර කෘෂිරසායන ලංකාවට ‍ගෙන ඒම නවතා ලූ අතර, වර්තමානනයේ රට තුළ භාවිත කෘෂිරසායන ක්ෂණිකව මරණය ළඟා කර නොදෙන බැවින් මිය යන සංඛ්‍යාව අඩු වී ඇත.

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදිය නිසා ලංකාවේ සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව අඩු වී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව කුමක් කීවද ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අවම වී ඇති බව ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේදී පර්යේෂණ කරන ආචාර්ය Dee Knipe සංඛ්‍යා දත්ත සහිතව අවධාරණය කර තිබේ. ඔහු එම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර ඇත. තවම ඊට ප්‍රතිචාර තවමත් ලැබී නැත.

    සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම, කැමැත්ත ප්‍රකාශ කිරීම අවම කිරීම සඳහා වර්තමාන සමාජයේ වෙසෙන මිනිසුන් තමන් හා ගැටෙන අනෙකාගේ හැඟීම් පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අනෙක් පුද්ගලයන් භාවිත කිරීම, අනෙක් පුද්ගලයන් කෙරෙහි සංවේදි නොවීම හා අනෙකාගේ ජීවිත චර්යා පාලනයට පෙලඹීම හේතුවෙන්ද ඇතැම් විට මිනිස්සු සියදිවි නසාගැනීමට පෙලඹෙති.

    සියදිවි නසාගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන හෝ සියදිවි නසාගන්නා පුද්ගලයා වර්තමානයේ නීතිය ඉදිරියේ වරදකරුවෙක් නොවේ. එහෙත් යම් අයකු සියදිවි නසාගැනීමට පෙලඹවීම, හෝ සියදිවි නසාගැනීමට පෙලඹෙන ආකාරයේ ශාරීරික මානසික පීඩා සිදු කිරීම හෝ සියදිවි නසාගැනීම කැමැත්ත ප්‍රකාශ කිරීමට සිත යොමු වන ආකාරයේ සමාජ වටපිටාවක් සැකැසීම දණ්ඩනීති සංග්‍රහය යටතේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් ඔබේ ක්‍රියාකාරකම්, හැසිරීම් ඔබ වෙසෙන සමාජයේ අනෙක් පුද්ගලයන් මානසිකව හෝ ශාරීරිකව හෝ සමාජීයව පීඩාවට පත් පත් නොකරන ඒවා විය යුතුය. එ‍සේ නොවුව හොත් ඔබ නීතියෙන් වරදකරුවකු නොවූවද සමාජය ඉදිරියේ හා ඔබේ හෘදයසාක්ෂිය ඉදිරියේ වරදකරුවකු වනු ඇත.

    සියදිවි නසාගැනීම් අවම කරගැනීම සඳහා සමස්ත සමාජයම කැප විය යුතුය. ඒ සඳහා කැමැත්ත පළ කරන්නකු කෙරෙහි වැඩි අවධානයක යොමු කිරීම, එවැනි අපේක්ෂා ඇතැයි වැටහෙන අයකු ළඟම ඇති රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම මඟින් ජීවිත ආරක්ෂාව සලසා දිය හැකිය.

    යම් පුද්ගලයකු හට එවන් සිතිවිල්ලක් පහළ වේ නම් ළඟම ඇති රෝහ‍ලේ වෛද්‍යවරයා වෙත ‍ගොස් තම ගැටලුව සාකච්ඡා කිරීම මඟින් සහනයක් සලසාගත හැකිය. මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා උපකාරක සේවා රැසක් රට තුළ ක්‍රියාත්මකය. ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඔබට උපකාරි වන රජයේ ආයතන අතර වේ

    [rns_reactions]

  • එක්තරා යක්ෂයෙක් ඇවිත් දවාලට ලෙනේ නිදාගන්නවා; රාත්‍රියට පිටවෙනවා – දෙවිපහල දේවමිත්ත හිමි

    ගිලීමලේ රජ මහා විහාරය සිරිපා භිමේ ට ඉතා කිට්ටු අතීත පූජා භූමියකි. ඒ අවට ප්‍රදේශයේ උඩුකුලාන, මස්කෙළිගඟින් එහා බටේපොළ, ලබුවාව, මාපලාන, පලාබද්දල, ගල්කඩුවමඩම, ඇඳිරිකැලේ ආදී ගම්මානවලත් ගැමියෝ එකාවන්ව අපට තොරතුරු බෙදති. එය අපට මහත් ම සතුටකි. ඒත් පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේව මිත්ත හිමියන්ගේ තොරතුරු කෝෂ්ඨාගාරය තවමත් එහෙම ම ය . කල්තොට බුදුගල රජ මහා විහාරාධිකාරි බුදුගල සෝමරතන හිමියන් ද මා වෙනුවෙන් බොහෝ ‍තොරතුරු සපයනු ඇත. රත්ගඟ විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හාමුදුරුවන්ට යළිත් ඉඩ හසර හදමු.

    “සබරගමු පළාතේ තිබෙන විශාලත ම ඒ වගේ ම ගුප්ත ම වන රක්ෂිතය මේ සිරිපාද වන රක්ෂිතයයි. මනුෂ්‍යයන් වගේ ම විවිධාකාරයේ අමනුෂ්‍ය්‍යන් ද ඉන්නවා. සමහරුන් තිසරණය රකින අය. සමහරුන් මස් මාංශ කන ජනතාවට හිරිහැර කරන අය. ඒත් මා විශ්වාස කරන අන්දමට මේ සිරිපා හිමේ එවැනි කෲරතර අමනුෂ්‍යයන් අඩුයි. වැඩිහරියක් ඉන්නෙ සමන් දෙවියන්ට ආවතේව කරන උන්වහන්සේ වෙනුවෙන් මේ වනය හා කූඨය රකින යක්ෂයින්.

    l අමනුෂ්‍ය හූ හඬ තුනක්

    බෑණ සමනළට දකුණු පැත්තට වෙන්නට තිබෙන ගල්ගුහාවේ අපේ බේබි සිඤ්ඤෝ නැවතුණ දවසක එක්තරා යක්ෂයෙක් පිළිබඳ අපූරු දෙයක් අසන්නට ලැබුණා. කෙම්මුර දවස්වලට මෙයා මේ කැලේ ගමන් කරනකොට මහා බියක් ඇති වන අන්දමේ යටිගිරියෙන් හූ හඬ තළමින් යන්නේ. මේ හූ හඬ ඇසුණු මහා හිමේ රාත්තිරියට ලගින මල් කපන්නන්, හකුරු හදන්නන් බොහෝ දෙනකුට පහුවෙනිදාට අනිවාර්යයෙන් ම සහලෝල උණ. මෙයා මා මුලින් කී අය අතර තෙරුවන් සරණ නොගිය කෙනෙක්. සමහරුනට දර්ශනය වෙලත් තියෙනවා. හැඩපලු ගෙතුණා වගේ දිග අවුල් සහගත කොණ්ඩයක්, රතු පාට ඇස් සහිත මේ යක්ෂයා දවසක් බේබි සිඤ්ඤෝ නිදා උන් ගල්ලෙන උඩටත් ඇවිත් යටිගිරියෙන් හූ තැළුවා. මෙයා හූ හඬ තළමින් යනකොට ගමේ මිනිස්සුත් ඒ හූ හඬට හිමිහිට වචනයක් මතුරනවා. ආයු බෝ වේවා! කියලා. ආයුෂ වර්ධනය වේවා. එහි අරුත. එහෙම නොකියා මේ හූ හඬ තුනට බීරන්තට්ටු වුණොත් එයාට පහුවැනිදාට උණ බස්සන්න ඇදුරෙක් හොයන්න වෙනවා. ඒත් කොච්චර දේවල් දන්නවා වුණත් මේ මර හඬට මිනිස්සු බයයි. යක්ෂයින්ගේ කතන්දර පටන් ගත් නිසා මේ හිමේ වසන යකුන් යක්ෂණියෝ ගැන තවත් පැත්තක් කියන්න අවශ්‍යයි.

    l සියවටුක නම් යක් සේනාධිපති

    සමන් දෙවියන් බුදුන්ගෙන් බණ අසා සෝවාන් වූ උත්තමයෙක්. උන්වහන්සේ මේ සිරිපා කූඨය හා මහා හිමය රැක ගන්නවා. එය වනසන්න එහි වැරැදි ක්‍රියාකාරකම් කරන්න පෙලැඹෙන සමහරුනට දඬුවම් කරන්නට යන්නෙ නෑ. එහෙම දඬුවම් කරන්න එතුමා නොගියත් ඒ කටයුතු කරන්න පිරිසක් මෙහි ඉන්නවා. සමන් දෙවියන් වෙනුවෙන් ඒ කටයුතු කරන්නෙ යක්ෂ සේනාපතියෙක්. එයාගෙ නම සියවටුක. බෑණ සමනළට උඩින් තිබෙන වන තලාව හා ගල්තලා තමයි ඒ යකුන් යක්ෂණියන්ගේ රජදහන. මා මේ ගැන කියාගෙන යන්නෙ හිතළුවට නොවේ. අදත් ධර්මරාජගලේ බවුන් වඩනා යෝගී භික්ෂුවක කියන ‍තොරතුරු අනුවයි. උන්වහන්සේ තමන්ගේ නම හෙළිකරන්න එපා කීවා. ඒ වගේ ම ඡායාරූප ලබා දෙන්නත් කැමැති නෑ, මේ සිරිපා හිමේ අසිරිය රැ‍කගන්න ඒවා සැඟවීම තිබෙන්න ඕනෑ බවයි උන්වහන්සේගේ අදහස.

    l කරජ ශරීර

    මේ යක්ෂයින් අතර බණ භාවනා වඩන අයද ඉන්නවා කිවහොත් ඔබ පුදුම වෙයි. මා මුලින් කී යෝගී භික්ෂුවට වියළි ආහාර හා වෙනත් කළමනා දායකයො ගිහින් තියන්නෙ වෙන ම තැනක. උන්වහන්සේ බවුන් වඩන ස්ථානයට පහසුවෙන් වන්දනාකරුවනට යන්න බෑ. ඒ නිසා උන්වහන්සේ ගේ අනුදැනුම අනුව වෙන ම ස්ථානයක මේ වියළි ආහාර ආදිය තබන්නේ. කොටින් ම සමහර විට මේ ආහාර උන්වහන්සේට උයා පිහා දෙන්නෙත් යක්ෂයින්මයි. මේ හිමියන් දවසට එක වේලයි වළඳන්නේ. උදේ ආහාර වේල පමණයි. ඒකත් උදේ හතයි තිහත් අටයි තිහත් අතර විතරයි. 20 වැනි සියවසේ ඔබ මේ කතා විශ්වාස නොකළත් කතාව ඇත්තයි. පෝය දාට ගමට වඩින මේ යෝගී හිමියන් කියන කතා අනුව අපට ඒ බව විශ්වාසයි. බුදු රජාණන් වහන්සේගේ සිරිපා ලකුණ හා සමන් දෙවියන් කෙරෙහි භක්තිය‍ පෙරදැරි කරගෙන ඉතා ම සැදැහැවත්ව කටයුතු කරන යකුන් යක්ෂණියන් මෙහි ඉන්නවා. ඒ අයට තිබෙන කරජ ශරීර කියලා තමයි උන්වහන්සේ හඳුනා ගන්නේ. ඉතාම කළු දුෂ්කර ලකුණු පෙන්වන, මහ විශාල අවලස්සන ශරීර ඔවුනට තිබෙනවා. ඒ අතීත අකුසල කර්ම නිසා. ඒ නිසා ඔවුන් ඉන් මිදීමටයි මේ වතාවත් කරන්නේ. මේ යකුන් යක්ෂණියන්ට වලසුන් කොටි ආදී වශයෙන් වෙස් මාරු කරගන්නත් පුළුවන්. අවස්ථාමය වශයෙන් සියවටුක නම් සේනාධිපති අණ අනුව ඔවුන් සත්ත්ව ස්වරූප ගන්නවා.

    l යක්ෂයා සමඟ කතා බහක්

    මේ යෝගී හිමියන් ධර්මරාජ ගල ළඟ එක්තරා ගුහාවක වැඩ වාසය කරන විට හිමියන්ට හිත එකඟ කරගන්න බැරිව ගියා මුල් දවස්වල. යකුන්ගේ බෑඟිරියත් නිසාම. ඒ නිසා උන්වහන්සේ රකින ශීලය භාවනාවට කැමැති යක්ෂයෙක් උන්වහන්සේ ගේ දෑස් මානයේ පෙනෙන්නට ම ඇවිත් හිමියන් භාවනා කරන තැනට සමීපයෙන් දහවල් කාලයේ නිදා ගන්නවා. රාත්‍රියට පිටවී යනවා. මේ විදියට දවස් ගණනක් ගතවෙද්දී උන්වහන්සේ හිතට ශක්තිය අරන් අර යක්ෂයා සමඟ කතා කළා. ඇයි? දවල්ට මෙහි නිදියන්නේ. රාත්‍රියට පිටවී යන්නේ… උන්වහන්සේ එසේ ඇසුවා. දහවල් මා ඔබ වහන්සේගේ භාවනාවට කවුරුන් හරි හිරිහැර කරාවි යැයි ඔබ වහන්සේ ආරක්ෂා කරනවා. රාත්‍රියට ඔබ වහන්සේට සැතපෙන්න දීලා මං ආහාර සොයාගෙන යනවා. යක්ෂයාගේ පිළිතුර වුණා. මෙය අදත් සිදුවෙන්නක් කිවහොත් නිවැරැදියි.

    l දිවා ගුහාව

    පලාබද්දල පතිරාජ පිරිවෙනේ තිබිලා මට හමුවූ පුස්කොල පොතක තියෙනවා. සමන් දෙවි හාමුදුරුවොයි බුදු හාමුදුරුවොයි දිවා ගුහාවේ තරමක සාමිචීයක සිටි බව. එහි කියැවෙනවා. පසුව එහි ම බුදුන් දිවා විහරණය කළ බවත්. සියවටුක කියන යක්ෂ සේනාධිපතියා තමයි මේ ස්ථානය සාමාන්‍ය ජනතාවට දැනගන්න ඉඩ නොතබන්නේ. රත්නපුර මහා සමන් දේවාලයේ ඇතුළු වන තැනම මකර තොරණේ සියවටුක නම් යක්ෂ සේනාධිපතියාගේ රූපයක් කොටා තිබෙනවා. ඕනෑ ම කෙනෙකුට බලාගන්න පුළුවන්. මේවා නිකමට මේ තැන්වල කෙටෙන්නෙ නෑ.

    l ධර්මරාජගල

    ධර්මරාජගල ගැන මේ පළාත්වල අපූරු ජනප්‍රවාද රැසක් තිබෙනවා. ඒවායින් සමහර ඒවා පිළිගන්නත් බෑ. ඒත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය තබන්නට මෙහි වැඩි අවස්ථාවේදී සමන් දෙවි ප්‍රමුඛ දේව, බඹ, යක්ෂ සමූහයාට බණ කීවේ ධර්මරාජගල මුදුනතයි කියන මතයක් ද තිබෙනවා. පුරාණ ගැමියන් ඒ කතාව අදහනවා.

    තවත් විශේෂ කතාවක් තියෙනවා. කහවත්ත බමුණුගම පැත්තෙ නිලමේ කෙනෙක් රාජ උදහසට ලක්ව දඬුවමක් ලැබුවා. ඒ සිරිපා නඟින්න එන බැතිමතුනට පහසු වන විදියට මේ ධර්මරාජගල කියන පෙදෙස සිට ඉහළට පඩිපෙළ කපන්න කියලා. මේ ගල් පඩිපෙළ සකස් කළේ ඒ නිලමේ. මේ ගල්පඩි පෙළ කපන්න කෙතරම් කාලයක් ගියාද කියන්නෙ නිලමේ වයසට පත්වුණා. අන්තිමේ නිලමේ ධර්මරාජගල තමන්ගෙ අසපුව කරගෙන තපස්වරයෙක් ලෙස ජීවත්ව මිය ගියා. ධර්මය වෙනුවෙන් ම කැප වී අවසාන මොහොත දක්වා ජීවත් වූ මිනිසා ජීවත් වූ ගල ධර්මරාජගල වූ බවයි ඒ මතය.

    l මැද ඉන්න ගල්ගුහාව

    මේ යකුන් යක්ෂණියන් තවත් රැ‍ඳෙන ගල්ගුහාවක් තමයි මැදඉන්න ගල් ගුහාව. එරත්න පාර හරහා සිරිපා වන්දනාවෙ යන විට මේ ගල් ගුහාව දකින්නට පුළුවන්. යෝගී චන්දිම හිමියන් අපවත් වන තුරු ම වැඩ උන්නෙ මේ ගල් ගුහාවෙ. මීට පෙර ලිපියක වලහා කෑ හාමුදුරුවෝ නමින් අප හැඳින්වුවෙ ඒ හිමියන් තමයි.

    l වැඩ සිටි ඉසව්ව

    ඒ හිමියන් වැඩ හිටි ඉසව්වට එදා මිනිසුන් වඳින්න ගියා. ඒක පසුව කරදරයක් වුණා. ඒ නිසයි අදත් වැඩ ඉන්න හිමිවරුන් තම ඉසව්ව නම් ගම් නොකියන්නෙ. අද වගේ නොවේ එදා ගෙත්තම් කිරීම පවා සිදුවුණේ. මට ඒ ගැන මතකයට ආවෙ හැරමිටිපාන හරියෙ අම්බලම් ගැන ඔබ ඇසූ නිසයි.

    එදා පැමිණි පිරිස් නවතින්නේ මේ විශාල අම්බලම්වල. ඒ අය මේ අම්බලම්වල දවස් තුන හතර නවතිනවා. නැවතිලා උයා පිහාගෙන කාලා තමන් ගෙනාපු සුදු රෙදි මේ දවස් තුනේ ම මහලා ඒවා සීත ගඟුලේ සෝදලා වේලාගෙන නියම පිළිවෙලට අන්දාගෙනයි එදා මළුව කරුණා කළේ. අද එහෙම කරන්න බැරි බව ඇත්ත. දැන් නිකම් නූලක් ඇදගෙන යාමයි කරන්නේ.

    l ලිහිණිහෙළ වලස් ප්‍රහාරය

    මාතර ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ඩොලැක්කි, මවුත්ඕගන් හා වෙනත් සංගීත භාණ්ඩ වයමින් ගී කියමින් විනෝදයට සිරිපා වන්දනාවට ආපු වෙලාවක සිදුවූ දෙයක් මේ. පලාබද්දල පාරේ සිරිපා රජ මාවත ඔස්සේ මහත් ඝෝෂා නංවමින් සිගරට් බොමින් මේ කට්ටිය එනවා. පහළ සිට හමුවන මිනිසුන් නොයෙක් අවවාද කළා. “‍ෙම්ක දෙයියන්ගෙ රට. මෙහෙම යන්න එපා. කරදර වෙයි දරුවනේ! කියා කෙස් පැහුණු වැඩිහිටියන් ද කීවා. ඒ කතාවලට කොලුවන් මේක කන්දක්. අපි ජොලියට යන්නෙ. ලොක්කා යන්න කියලා. ඒ මිනිසුන්ට සමච්චල් කැර කැර තවත් ඝෝෂා නංවමින් මේ අය ඉහළට එනවා. ලිහිණිහෙළ හරියට කිට්ටු කළා විතරයි. කොහෙන් ආ වලසුන් දෙදෙනකු ද දන්නේ නෑ. ‍ෙම් තරුණ පිරිස අතරට පැනලා අර වාචාල කතා කී මුලින් ම එන තරුණයාව හපා කනවා. එක් වලසෙකුගේ තියුණු දත් පහර වැදිලා අර තරුණයා ඇද වැටෙද්දි අනෙක් කට්ටිය යළිත් පහළට දිව්වා. අනෙක් කටමැත දෙඩවූ තරුණයා දිව්වෙ ඉහළ පැත්තට.

    l ලේ පෙරන තුවාල

    බිම වැටුණු තරුණයාව ඉවක් බවක් නැතිව හපා කෑ එක් වලසෙක් ආපසු හැරුණා පහළට දිවූ කට්ටිය අල්ලා ගන්නට වගේ. ඒ අය වැඳ වැටුණා සමන් දෙවි හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන. ඒ වතාවෙ වලසුන් දෙන්නා ම කැලයට වැදුණා. උඩට දිවූ පුද්ගලයාව සොයා බලන්න වෙලාවක් නෑ, නඩයේ කට්ටිය ලේ පෙරන තුවාලකරු අරගෙන පහළට වේගයෙන් ආවා.

    ටික වේලාවකින් කන්දේ ඉහළ නැඟුණු උඩ පැත්තට දිවූ තරුණයා දැන් ආයිත් පහළට එනවා. වැඩි දුරක් එන්න ට ලැබුණේ නෑ වලස්සු නැවත මතු වුණා. එයාගේ තට්ටම් පෙදෙස, කලවා බරු ගහන්න පටන් ගත්තා. එයාගෙ මර විලාපය පහළ තුවාලකරු රැගෙන යන පිරිසටත් ඇහුණා. එයාත් වැඳ වැටුණා වලසුන් දෙදෙනාට. තරමක් හප කළාට පස්සෙ තමයි එයාව නම් අතෑරියෙ.

    නඩය තුවාලකරුවන් ගෙන ගියා මිසක් සමනළ අඩවිය පැත්තට කවරදාවත් ආවෙ නෑ.

    l කෑම වරදින්නේ නෑ

    සිරිපා හිමේ අතරමං වන අය බොහෝවිට බේරෙනවා. ඒ බේරිච්ච අයගෙන් අහලා බලන්න. කවරදටත් ඒ අය දවස් 3 – 4 අතරමං වෙලා හමුවුණත් බඩගින්නෙ නම් ඉඳලා නෑ. ඔවුනට කොහොම හරි ආහාර ටික ලැබෙනවා. ඒකත් මේ හිමේ තවත් අසිරියක්. ඉදුණු අන්නාසි ගෙඩියක් හෝ කිසියම් පලතුරක් මේ අයට පෙනිලා තියෙනවා ඒ වෙලාවට.

    මෙවැනි කතා පුවත් මේ ප්‍රදේශයේ බහුලය. සුමන සමන් දිව්‍ය රාජයා ලෙඩට දුකට බොහෝ පිහිට වන දෙවිඳකු බව ‍බොහෝ දෙනා කියති. “ඔය ආරුඪකාරයො, භූත, දිෂ්ටි, ආත්ම වැහුණු කට්ටිය සිරිපාදෙ ගෙනාවොත් ඒ අය එක්ක මළුවට නැංඟොත් ඒ ලෙඩ සනීප වෙනවා… සමනළ අඩවියේ අත්තම්මලා කියති.

    l මහ ලොකු දේවි

    සමන් දෙවියන්ගේ සහෝදරියක් ගැන ද බොහෝ ජනකතා මෙහි ප්‍රකටය. මහ ලොකු දේවිය නම් එතුමිය ද ලෙඩට දුකට පිහිටවන්නියක බව කියැවේ.

    කල්තොට බුදුගල සෝමරතන හිමි වදාළ කරුණකින් අදට තිත තබමු.

    එක්තරා දුප්පත් අහිංසක අම්මා කෙනෙක් තමන්ගෙ දුවට සිරිපා වන්දන්න කාලයක් තිස්සේ ම පෙරුම් පුරමින් හිටියා. ඒත් මේක කරගන්න බැරි මේ දුවට “ෆිට්” එක කියන ලෙඩේ හැදෙනවා. ඒත් මේ අම්මා හිතට දහිරිය අරන් දුවත් අරන් සිරිපා කරුණා කරන්න හිත හදාගත්තා. නඩේ ගුරාටත් කීවා. ගුරාත් සමන් දෙවියන්ට මහත් පුද පූජා පවත්වන කෙනෙක්. මේ අය කරදරයක් නැතිව උඩමළුව හරියට එන කොට ම අර තරුණියට ‘ෆිට්’ එක හැදුණා.

    l‍අපස්මාරෙ

    නඩේ ගුරා එතැන ම ඉඳන් සිරිපා පද්මය වඳින ගාථාව කියලා සමන් දෙවි අණයි. ආඥාවයි. මින් පස්සෙ ජීවත්ව සිටින තාක් දුවේ නුඹට මේ අපස්මාරය කියන ලෙඩේ හැදෙන්නෙ නෑ. ඒක සත්තයි. සහතිකයි. කියලා තමා හා පිරිස මෙහි පැමිණි රථයේ යතුරු කැරැල්ල ඇගේ අත තැබුවා. ඇය සනීප වුණා. දැන් අවුරුදු 8ක් පමණ ගතවෙලා තියෙනවා. මේ තරුණිය විවාපත් වෙලා දරුවොත් ඉන්නවා. එයාට ඉන් පස්සෙ ඒ ලෙඩේ නම් හැදුණේ නෑ. මේවා පුදුමාකාර දේවල්. කුඩා දවසේ ඉඳලා තුරුණු විය දක්වා ම නිතර හැදුණ ලෙඩේ එදායින් පස්සෙ අතුරුදන් වුණේ කොහොමද? කියලා ඔය විද්‍යාවට නම් හොයාගන්න බෑ.

    [rns_reactions]

  • දිනෙන් දින පසුබාන ලංකාවේ ක්‍රිකට්, මෙතැනින් කොතැනටද?

    පාකිස්තානය හමුවේ ලද පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වීම බො‍හෝ දෙනකුට තවමත් දරාගත නොහැකි වී ඇති බවක් පෙනෙන්නට ඇත. ‘අනේ අපොයි’ කියමින් සිදු වන සංවාද තවම අවසන්ව නැත. එහෙත් අපට නම් මේ පරාජය මහා දෙයක් නොවන්නේ ශ්‍රී ලංකා පිල මෑත කාලයේ ක්‍රීඩා කරමින් සිටි ආකාරය තුළ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා නොකළ බැවිනි. සැබැවින්ම ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියකට පිවිසීමේදී ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ තරම් අඩු බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට තිබූ වෙනත් අවස්ථාවක් මෑත කාලයේ නොතිබුණ තරම්ය. ලොව හොඳම එක්දින කණ්ඩායම් අට අතර වූ මේ තරගාවලියේදී අප කාණ්ඩගතව සිටියේ ලොව හොඳම කණ්ඩායම් තුනක් සමඟිනි. පැහැදිලිවම, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානය යන මේ කණ්ඩායම් තුනම අපට විශාල අභියෝගයක් විය. වසර මුලදී දකුණු අප්‍රිකාව හමුවේ, 5-0ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට පත් වූ අප මේ තරගාවලිය ඇරැඹීමට ‍පෙර ඉන්දියාව සමඟ අවසන් වරට ක්‍රීඩා කළ තරග 15න් 12කදීම පරාජයට පත්ව තිබිණි. පාකිස්තානය සමඟ ද තත්ත්වය වෙනස් නොවිණි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී ඔවුන් හමුවේ 3-2ක් ලෙස අපි තරගාවලිය පරාජයට පත් වීමු. එම පසුබිම තුළ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙතින් “ප්‍රාතිහාර්යයක්” කිසිවකු හෝ අපේක්ෂා කළේ නැත.

    මේ අතර බේකන්හැම්හි පැවැති පුහුණු තරගයකදී ස්කොට්ලන්ත පිල හමුවේ පරාජයට පත් වීම, ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් තබා තිබු සුළු හෝ බලාපොරොත්තු දිය කර හැරුමට සමත් විය. එහෙත්, ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණය, යළි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් වෙත ඉදිරිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු රැගෙන ආවේය. ඉන්දියාවට දුවන්න ගැසු අප ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබු පාකිස්තානයට එරෙහිව දිනුමක් ලබනු ඇතැයි ඔවුහු අනතුරුව ගණන් බලන්නට වූහ. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති චමත්කාරත්වය හා අවිනිශ්චිත බව යළිදු වතාවක් පසක් කරමින් අවසානයේ අපි පාකිස්තානයට පරාජය වීමු.
    හැමදාමත් මෙන් මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලේ දියාරු ක්‍රීඩා රටාවට බලපෑ ප්‍රධානම හේතු වූයේ අපගේ දක්ෂතාවන්හි නිරන්තර භාවයක් නොතිබීම ය යන්න, පැහැදිලිය. අතිශය තරගකාරී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ අත්වැරැදීම් සඳහා කිසිදු ඉඩක් නොමැත. එසේ නොවුණේනම් පාකිස්තානය සමඟ පැවැති තරගය පමණක් නොව දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැති පළමු තරගයද ජය ගැනීමේ හැකියාවක් අපට තිබිණි.

    දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේදී සාර්ථක හඹා යෑමක නිරත වෙමින් පළමු පන්දුවාර 11 තුළ පන්දු වාරයකට ලකුණු 8කට වඩා අප ලබා තිබුණේ එක් කඩුල්ලක් පමණක් පූජා කරමිනි. වෙනදාට වේග පන්දු යවන්නන් හමුවේ අසරණ වන ශ්‍රී ලංකා පිතිකරුවන් එදා අසරණ වූයේ ඉම්රාන් තාහීර් ඉදිරියේය. අපගේ මැදපෙළ පිතිහරඹය පැහැදිලිවම දුර්වල එකක් වූ අතර පාකිස්තානය සමඟ වූ තරගයේදී ද ලකුණු 10කට වඩා අඩු ගණනක් තුළ මැදපෙළ පිතිකරුවෝ සිවු දෙනෙක් දැවී ගියහ. ජාත්‍යන්තර මට්ටමේදී සාර්ථකත්වයක් හිමි කරගැනීමට නම් මේ ගැටලුව ඉක්මනින් ශ්‍රී ලංකා පිල විසඳාගත යුතුය. සෑම ප්‍රබල කණ්ඩායමක් සතුවම විශේෂඥ පිතිකරණ පුහුණුකරුවකු සිටිනමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එවැන්නකු නොමැති වීම, විශ්වාස කළ නොහැකි තත්ත්වයකි. එබැවින් හොඳ විශේෂඥ පුහුණුකරුවකුගේ සහාය ග්‍රැහැම් ෆෝඩ් වෙත ලබා දුනහොත් එය ඔහුගේ රාජකාරිය පහසු කරනවාට අමතරව මීට වඩා දෙයක්ද අපේක්ෂා කළ හැකිය. වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඕනෑම මොහොතක විශ්වාසය තැබිය හැකි බව පෙනෙන්නට ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග හා කුසල් මෙන්ඩිස් කෙරෙහි පමණකි. තරුණ නිරෝෂන් දික්වැල්ල තමන්ගේ දිනයකදී ඕනෑම ශූර පන්දු යවන්නෙකුගේ අභිමානය කීතු කීතුවලට ඉරා දැමිය හැකි පිතිකරුවකු වුවත් අංග සම්පූර්ණ පිතිකරුවකු වීමට නම් මීට වඩා දහඩිය වැටෙන තෙක් ක්‍රීඩා කිරීමට ඔහු උත්සාහ කළ යුතුය.

    කඩුල්ල පසුපසින් යන සේ ගසන පහරවල් හා හරස් පහරවල් වෙනුවට කෙළින් පහර එල්ල කෙරුමට උනන්දුවක් දක්වන්නේනම් නිසැකවම ඔහුට අපේ අනාගත ක්‍රීඩාවේ විශාල ඉදිරි බලාපොරොත්තුවක් විය හැකිය. අනෙක් අතට දිගු ඉනිම ක්‍රීඩා කිරීමට අපගේ පිතිකරුවන් වග බලා ගැනීමද වැදගත්ය. එංගලන්ත සංචාරයට එක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් පොදුවේ ගත් විට සීමිත පන්දුවාර තරගවලදී රැස් කර තිබුණේ ශතක විසිහතරක් පමණි. ඉන් 14ක්ම බැර වී තිබුණේ උපුල් තරංගගේ නම ඉදිරියෙනි. අන් සියලු පිතිකරුවන් රැස් කර තිබුණේ ශතක දහයක් පමණි. ලකුණු 50 ඒවා ඉලක්කම් තුනේ සීමාවටම ගෙන ඒමට අපේ පිතිකරුවන් කටයුතු කළහොත් අවසාන ප්‍රතිඵලය සුබවාදී එකක් කරනු ඇත.

    පිතිකරණයටත් වඩා එංගලන්තයේදී අප අසරණ කළේ දුර්වල පන්දු රැකීමය. වසර විස්සකට විසිපහකට පෙර ආසියාවේ හොඳම පන්දු රකින කණ්ඩායම ලෙස සැලකුණු ශ්‍රී ලංකා පිල ඒ අතින් මේ වන විට පසුවනුයේ පාකිස්තානයටත් පසුපසිනි. 2017 වසරේ පෙබරවාරි පළමුවැනිදා පැවැති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු දෙවන එක්දින තරගයේ සිට පසුගියදා පැවැති පාකිස්තාන තරගය තෙක් ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරග 15කට පමණ ක්‍රීඩා කර ඇත. එක්දින අන්තර්ජාතික තරග 8ක් ටෙස්ට් තරග 2ක් හා 20:20 තරග 5ක් ඊට ඇතුළත්ය. මෙම තරග 15 තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් ගිලිහුණු මුළු උඩ පන්දු ගණන 33ක් පමණ වේ. “කැචස් වින් මැචස්” (උඩපන්දු තරග දිනවයි) ලෙස ප්‍රකට කියමනක් ඇති පසුබිමක උඩපන්දු අත්හැරීම තුළ සිදු වනුයේ තරග දිනීම නොව පැරදීමය. ජාතික කණ්ඩායම සමඟින් පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙස නික් පෝතාස් හා නුවන් සෙනෙවිරත්න එංගලන්තයට මෙවර ගොස් සිටිමුත් ඔවුන්ගෙන් සිදු වන සේවාව පිළිබඳ මීට වඩා පසු විපරමක් බලධාරීන් සිදු කිරීම ප්‍රයෝජනවත්ය. මුලදී එංගලන්තය බලා යෑමට සූදානමින් සිටියේ පෝතාස් පමණක් වුවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පෙරැත්තය හමුවේ සෙනෙවිරත්න ද එකළොස්වන පැයෙහි කණ්ඩායමට ඇතුළත් කරන ලදී. පුහුණුකරුවකු ලෙස පෝතාස්ගේ හැකියාව ප්‍රශ්න විරහිත මුත් සෙනෙවිරත්න එම මට්ටමේම සිටිනවා ද යන්න නම් ප්‍රශ්නාර්ථයකි. පන්දු රැකීමේ පුහුණුකරු වීමට අවශ්‍ය එකම සුදුසුකම තදින් පන්දුව විසි කිරීමට ඇති හැකියාව හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සිතැඟියාවන් ඉටු කිරීම පමණක් නොවේ. පන්දු රැකීම යනු ඊට එහා ගිය කලාවකි.

    පුහුණුකරුවන් රැසක් සිටියද රොෂාන් මහානාම, රුවන් කල්පගේ, උපුල් චන්දන යන නාමධාරී පන්දු රකින්නන් රැසක් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අද ඒ මට්ටමට සමීප විය හැකි එකදු පන්දු රකින්නකු හෝ නොමැති වීම කනගාටුවට කරුණකි. පන්දු රැකීම යනු උඩපන්දු රැකීම පමණක් නොවේ. පිටියේ පන්දු රැකීම ද ඊට අයත්ය. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකානු කණ්ඩායම් ඒ හරහා පමණක් එක්දින තරගයකදී නතර කරගන්නා ලකුණු ගණන 30ක් 35ක් පමණ වේ. අවසාන ප්‍රතිඵලය තීරණය වීමේදී තීරණාත්මක වනුයේ එම පංගුවය. ඕනෑම දක්ෂ පන්දු යවන්නකු අතින් උඩ පන්දු ගිලිහී යෑම සිදුවිය හැකි මුත් එක දිගට නොනවත්වා එක දිගට එය සිදුවන්නේනම් එය සොයා බැලිය යුතු කාරණයකි. පාකිස්තානය සමඟ පැවැති තරගය පරාජයට පත් වීම විශේෂයෙන් දුර්වල පන්දු රැකීම වැඩි වැඩ කොටසක් ඉටුකළ බව කුහක නොවී අප පිළිගත යුතුය. පොදුවේ ගත් විට අපේ බොහෝ ක්‍රීඩකයන්ගේ ශරීර ක්‍රීඩාවට අවැසි මට්ටමේ සීමාව ඉක්ම ගොස් තිබේ. පෙර මෙන් ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීම ඔවුන්ගෙන් දුරස් වෙමින් පවතී. කටුක වුවත් සත්‍ය එයයි.
    පන්දු රැකීම පමණක් නොව පන්දු යැවීම ද දුර්වල කර ඇත්තේ මේ ප්‍රමාණවත් නොවන ශාරීරික යෝග්‍යතාවයි. භෞතචිකිත්සකවරු, සම්භාහකවරු ගණනාවක් කණ්ඩායම් තුළ සිටියත්, ඔවුන් බොහෝ විට කටයුතු කරනුයේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සීමාව තුළ බව කියැවෙයි.

    නායකයා පන්දුව අතට දුන් පසු ඕනෑම මොහොතක කඩුලු දවාගත හැකියැයි විශ්වාස කළ හැකි, එකදු පන්දු යවන්නකු එක්දින ක්‍රීඩාව තුළ මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නොසිටි. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ නළල රැලි ගැන්විය හැකි පන්දු යවන්නන් කණ්ඩායම තුළ නොසිටීම නිසා ඉතා සැහැල්ලුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පිතිහරඹයේ නිරත වන ආකාරය මෑත කාලයේදී දැකගත හැකි වූ පොදු අත්දැකීමක් විය. නිමාව දුටු තරගාවලියේදී පවා ප්‍රතිවාදී පිතිකරුවන් යම් ගරු සරුවක් දැක්වූයේ නම් ඒ ලසිත් මාලිංගට පමණි. එංගලන්තයේදී මාලිංග එක්දින කණ්ඩායමට එක් වූයේ මාස දාහතකට පමණ පසුවය. ඔහු ඊට පෙර අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2015 වසරේ නොවැම්බර් හත්වැනිදාය.

    ශ්‍රී ලංකාව ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයට දායාද කළ විශිෂ්ට පන්දු යවන්නකු වන මාලිංග තම ක්‍රීඩා දිවියේ අවසානයට ළඟා වෙමින් සිටින බවක් පෙනෙන්නට ඇත. ශාරීරික යෝග්‍යතාව අතින් පමණක් නොව ජවය අතින් ද පෙර මෙන් උද්යෝගයක් ඔහු වෙතින් දැකගත නොහැකිය. එක් අතකින් එය අපට සිහිපත් කරනුයේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍යයය. එදා “තනි අතින්” තරග දිනවූ මාලිංග අද කඩුල්ලක් දවා ගැනීමට දරන වෙහෙස අතිමහත්ය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරග 10කට ක්‍රීඩා කර ඇති මාලිංග ඒවායෙහිදී දවාගෙන ඇත්තේ කඩුලු 11ක් පමණි. ඒ එක් කඩුල්ලකට ලකුණු 48ක සාමාන්‍යයක් සහිතවය.

    කඩුල්ලක් දවා ගැනීමට පන්දු ඕවර 8ක් පමණ යවන මාලිංග කෙනකු ගැන අප මීට පෙර අසා නැත. මේ තරගාවලියේදී පවා තරග තුන තුළදී මාලිංග දවා ගත්තේ කඩුලු 3ක් පමණි. ඒ පන්දුවාර 29කදී ලකුණු 179ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ශාරීරික යෝග්‍යතාව සමඟ පොර බදමින් සිටිය ද තවමත් මාලිංග කණ්ඩායම තුළ සිටින හොඳම පන්දු යවන්නාය. සියයට සියයක්ම ඔහු තම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දෙන ආකාරය එංගලන්තයේදී දක්නට ලැබිණි. එහෙත් තරගකාරී අන්තර්ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට නම් එම උද්යෝගය හෝ අතීත වැඩ වාර්තා ප්‍රමාණවත් නොවේ. නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාවේ මීළඟ වේග පන්දු යවන්නා වන බව මේ තරගාවලියේදී මනාව පෙන්නුම් කළේය.

    ඔහු තනිකරම පාහේ කඩුලු දවා ගන්නේ ස්වකීය දක්ෂතා මතිනි. එබැවින් ඔහුව පරිස්සමින් රැකබලා ගැනීම අනාගතය වෙනුවෙන් කරන පලදායි ආයෝජනයකි. මේ තරගාවලියේදී විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනකු සමඟ පමණක් තරග වැදීමට ශ්‍රී ලංකාව තීරණය කිරීම අවදානම් සහගත තීරණයක් ම විය. තත්ත්වය වඩාත් භයානක වූයේ එම පන්දු යවන්නන් සිවු දෙනාගෙන් ඇතැමකු පන්දු වාර දහයම යැවීමට තරම් හොඳ මට්ටමක නොසිටීමය. භාග පන්දු යවන්නන් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියට එක්වීම තුළ පන්දු වාර 15 හා 40 අතර සීමාවේදී අප බොහෝ විට අසරණ විය.

    එම සීමාව තුළදී පළමු තරග දෙක තුළදී එක් පන්දුවකට ලකුණකට වඩා අපේ පන්දු යවන්නන් ලබා දී තිබිණි.

    එවැනි ලිහිල් දුර්වල පන්දුකරණයක් දැකගත හැකි වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් පමණි. පැය 48කට පෙර කණ්ඩායමට එක් වූ ධනංජය සිල්වා වෙනුවට ලක්ෂාන් සඳකැන් වැන්නකු පාකිස්තාන තරගයට යෙදෙව්වේනම් එය මීට වඩා ප්‍රතිඵලදායක වන්නට තිබිණි. දඟ පන්දුවට චිරප්‍රසිද්ධ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සමඟ තරගවලට එකදු විශේෂඥ දඟපන්දු යවන්නෙකු හෝ යොදා නොගැනීම පිළිබඳව බොහෝ විචාරකයන් විමතිය පළ කර තිබිණි. දැන් සියල්ල සිදුවී හමාරය. තවදුරටත් ශූරයන්ගේ කුසලාන තරගාවලිය ගැන කතා කිරීමෙන් පලක් නොවේ. එහෙත් ඉන් ලද අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීම අවැඩක් නොමැත. වළට වැටීම මොළයට ලාභයක් බවට අප පත්කර ගත යුතුය.

    ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් එක ළඟ කාල පරාසයක කණ්ඩායමෙන් ඉවත් වීම තුළ එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඇති අපහසුව තුළ මේ වන විට අපි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසුපසට තල්ලු වී සිටිමු. අප පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවක් මෙවැනි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී ඇත. අනාගතය වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට දැන් කටයුතු කළ යුතු අතර අවදානම් සහගත තීරණයක් වුවද එය සිදු කළ යුතුව ඇත.

    ඒ වෙනුවෙන් වූ හොඳ අවස්ථාවක් සිම්බාබ්වේ පිල සමඟ ඉදිරියේ පැවැත්වෙන තරගාවලියේදී හිමිව තිබේ. තමන්ගේ මහගෙදරදී පැවැත්වෙන එම තරගාවලියේදී කකුල් කැඩුණු අශ්වයන් වෙනුවට අලුත් අශ්වයන් සමඟ ගමනක් යෑමට, ශ්‍රී ලංකා පිල අදිටන් කර ගත යුතුය. අවසාන වශයෙන් මෙය ද සඳහන් කළ යුතුය.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වන විට පසුවන අවාසනාවන්ත තත්ත්වය විෂයයෙහි අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිව ඇති කඩා වැටීම ද ප්‍රබල හේතුවක් වී ඇත. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පළමු පෙළ මට්ටමේ කණ්ඩායම් 23ක් දැකගත හැකි අතර ඒ නිසාම ඒ ගුණාත්මක තත්ත්වය හා තරගකාරිත්වය බරපතළ ලෙස බාල වී තිබේ.
    ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම දේශීය තරගාවලිය වන ෂෙෆීල්ඩ් ෂිල්ඩ් තරගාවලිය තුළ දැකගත හැක්කේ කණ්ඩායම් හයකි. නවසීලන්තයේ ප්ලන්කට් පලිහ තරගාවලිය තුළද ඇත්තේ කණ්ඩායම් හයක් පමණි. අසල්වැසි බංගලිදේශයේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ජාතික ක්‍රිකට් ලීගයේ කොටස් දෙක තුළම ක්‍රීඩා කරනුයේ කණ්ඩායම් අටක් පමණකි. එනිසා එම තරගාවලි තුළ අතිශය ඉහළ තරගකාරිත්වයක් දැකගත හැකිය. මාධ්‍ය කේන්ද්‍රියව ද විශාල අවධානයක් ඒ කෙරෙහි යොමුව ඇත. එහෙත් අපගේ දේශීය ක්‍රිකට් මට්ටම පවතිනුයේ ඊට ගව්ගාණක් පසුපසිනි. දේශීය තලයේදී ක්‍රීඩක දීමනා හා ගාස්තු ගෙවීම් අතින් ද අප සිටිනුයේ සෑහෙන්න පසුපසිනි. දේශීය ක්‍රිකට් තරගයක් වෙනුවෙන් එංගලන්තය තුළ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 210,000ක් ක්‍රීඩකයකුට ගෙවන අතර ඕස්ට්‍රේලියාවේදී මේ අගය තරගයකට 150,000ක් වෙද්දී බංග්ලාදේශයේදී හා ඉන්දියාවේදී 90,000ක් හා 50,000ක් පමණ වේ. ක්‍රමවත් අලෙවිකරණ සැලැස්මක් තුළ එබඳු වෘත්තීය භාවයක් එම රටවල් තුළ දැකගත හැකි වූවත් ශ්‍රී ලංකාව තුළ පළමු පෙළ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් තවමත් ක්‍රීඩකයෙකුට ගෙවනුයේ 22500 කි. එබැවින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය, වෘත්තීය භාවය ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.

    එපමණක් නොවේ ලොව ඉහළ මට්ටමක පැවැති අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ද බරපතළ ලෙස ඛාදනය වී ඇත. එකල එය හැඳින්වුණේ ශූර ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තවානක් ලෙසිනි. එදා අර්ජුනලා, මුරලිලා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් වහාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව හා අත්වැල් බැඳගත්ත ද අද එවැන්නන් හමු නොවන තරම්ය. අනාගතය දෙස බලමින් බලධාරීන් මෙම තත්ත්වය කෙරෙහි සුදුසු ආමන්ත්‍රණයක් දැන් සිදුකළ යුතුව ඇත. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව පරිණාමයට පත්වෙමින් තිබේ. 2020 වන විට අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පූර්ණ හැඩතලය වෙනස් වනු ඇත. ක්‍රිකට් සැබෑ වෘත්තීය අවධියට ළඟා වෙමින් පවතී. එය පාපන්දු ටෙනිස් වැනි සෙසු ප්‍රධාන ක්‍රීඩා සමඟ ජනප්‍රියතාව වෙනුවෙන් තරග කරන දිනය වැඩි ඈතක නොවේ. අපට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ එබඳු පසුබිමකය.

    [rns_reactions]

  • අවදානමට අත වනන ‘සෙල්ෆි’ උන්මාදය

    එවකට මම උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. පාසල් ශිෂ්‍ය සංගමයේ දුම්රිය සම්බන්ධ විශේෂ ප්‍රකාශනයට තොරතුරු සපයාගැනීමේ අරමුණින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසරය මත දුම්රිය එන්ජිමේ ගමන් කළේ තවත් මිතුරකු සමඟය. උඩරට මැණිකේ දුම්රි‍ය ගම්පොළ දුම්රිය ස්ථානය පසු කර මඳ දුරක් එන විට දුම්රිය දෙස බලා හිනැහුණු වයස අවුරුදු 3ක 4ක පමණ සිඟිත්තියක් දුම්රිය මාර්ගයේ දුම්රිය දෙසට ආවාය. දුම්රිය ළං වත්ම ඇයගේ සිනහව වැඩි විය. කට පුරා සිනහව පුරවාගත් මේ සිඟිත්තිය බේරාගැනීමට රියැදුරු මහතා නළාව හඬවමින් කඩිනමින් තිරිංග යෙදුවද දුම්රිය නවතා බලන විට සිඟිත්තියක් එහි නොවීය.

    එදා මෙදා තුර මා මුහුණ දුන් ශෝචනීයම දුම්රිය අත්දැකීමයි ඒ.

    යකඩ යකා සමඟ ඒ සෙල්ලම් කළේ කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා සිඟිත්තියකි. ඒ ලෝකය ගැන කිසිවක් නොදැනය. එහෙත් මුළු ලෝකයේම තොරතුරු ක්ෂණයකින් දැනගන්නට හැකියාව ඇතත් අද යකඩ යකා සමඟ පමණක් නොව, භයානක තවත් අන්තරාදායක දෑ සමඟ ඇතැමුන් සෙල්ලම් කරන්නේ තම දිවිය පවා පරදුවට තබමිනි. එවන් එක් සිදුවීමකින් පාඩම් ඉගැනීමටවත් අපට හැකියාවක් නොලැබී ඇත්තේ ඇයිද යන්න මෙහිදී මතු වන සමාජ ගැටලුවයි.
    ‘සෙල්ෆි…’

    මේ මෑත යුගයේ නූතන තාක්ෂණයත් සමඟ අපේ වහරට ආ වචනයකි. තමන්ගේ ඡායාරූප තමන් විසින්ම ලබාගැනීමේ මේ තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ ඉතා සුළු කාලයකි. දැන් මේ ‘සෙල්ෆි’ ගැනීම අපේ රටේද ඇතැමුන් අතර උන්මාදයක් බවට පත්ව ඇති බව පෙනී යයි.
    නවීන තාක්ෂණය නිසා අද ලෝකය පුංචි වී තිබේ. ඇමෙරිකාවේ සිදු වන ඕනෑම දෙයක් තත්පර ගණනකින් පසු ලෝකයේ ඕනෑම තැනක සිට ඡායාරූප සමඟින් අපට දැකගැන්මට හැකි වී තිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි. මේ තත්ත්වය වඩාත් වර්ධනය වූයේ පුරවැසි මාධ්‍ය හෙවත් Citizen Journalism මාධ්‍ය ලෝකයට පැමිණීමත් සමඟය. ඒ අනුව ‍’ෆේස්බුක්’ හා ‘ඉන්ස්ටර්ග්රෑම්’ ලෝකය පුරා පැතිර යන්නට වූයේ බාල මහලු තරුණ ලොකු කුඩා කවුරුනුත් අතරේය. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ක්ෂණයකින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට මේ ‍සන්නිවේදන මාධ්‍ය නිසා හැකි විය.
    තමන්ම සිටින ඡායාරූප තමන් විසින්ම ගැනීම හෙවත් සෙල්ෆි ගැහිල්ල ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමඟ තාත්වික සේයාරූ මෙන්ම මාධ්‍ය වාරණයද කළ නොහැකි වූ බව පෙනී ගියේය. කොතරම් වාරණය කළද වීඩියෝ හා ඡායාරූප සමඟින් සියල්ල ක්ෂණයකින් ව්‍යාප්ත වීමට ගත වූයේ සුළු වේලාවක් පමණි.
    තමන් විසින්ම තම සේයාරූ ලබාගැනීම එක් අතකින් තවත් අයකු පුදුමයට පත් කළ හැක්කක් බවට සෙල්ෆි ආරම්භක අවදියේදී පෙනී ගියද එය පසුකාලීනව සාමාන්‍ය දෙයක් බවට පත් විණි. එහෙත් මෙහි භයානකම අවස්ථාව උදා වන්නේ සෙල්ෆි උන්මාදය හා අවදානම් සෙල්ෆිය ක්‍රියාකාරී වීමෙන් පසුවය. කිඹුලකුගේ කටට ඔළුව දමා සෙල්ෆි ගැසූ සේයාරුවක් පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එමෙන්ම අඩි දහස් ගණනක් ප්‍රපාතයකට කකුල දමා සෙල්පියක් ලබාගත් අයකුගේ සේයාරුවක්ද පළ වී තිබිණි. මෙබඳු භයානක අවස්ථා අපට දැන් දැන් මෙරටින්ද එමට දකින්නට ලැබේ. උඩවලව ජලාශය අසල ජනතාව ලබා දෙන ආහාරපාන කෑමට එන වන අලියා සමීපයටම (වැට අසලටම) ගොස් සේයාරූ ගැනීමට බොහෝ තරුණතරුණියෝ පුරුදුව සිටිති.

    මේ ආකාරයෙන්ම යකඩ යකා සමීපයට ගොස් සෙල්ෆි සේයාරූ ගැනීමටද අද බොහෝ දෙනා පුරුදුව සිටිති. මෙහි භයානකත්වය කොතරම්ද යන්න තවමත් අවබෝධ වී නැත්දැයි අපට සිතෙන්නේ පසුගිය ඉරිදා සිදු වූ අනතුරු දෙකක් දෙස බැලීමෙන් පසුවයි. එයින් එක් අනතුරක් සිදු වූයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය අතරදීය. සිංගප්පූරුවේ සිට පැමිණ තම ඥාතීන් සමඟ මුහුදු වෙරළේ සුවය ගත කිරීමට අමතරව සෙල්ෆි සේයාරූ ගැනීමට යෑමෙන් වයස අවුරුදු 24ක තරුණයකු මිය ගියේ තම බාල සොහොයුරා වන 12 හැවිරිදි පාසල් සිසුවකුද සමඟිනි. මෙහිදී මිය ගිය කුඩා දරුවාගේ හිස කොටස කිසිවකුට සොයාගත නොහැකිව ඒ දුම්රියේම ඉහළට නඟින ඉණිමඟක සිර වී තිබී ඇති බවත් දුම්රිය එදින අලුත්ගම දක්වා ගොස් පසුදින අඹේපුස්ස දක්වා යෑමේදී ගම්පහදී එය දැක පොලීසියට බාර දී ඇති බවත් වාර්තා විය.

    එදිනම අනෙක් සිදුවීම වාර්තා වූයේ හික්කඩුවට නුදුරු කහව ප්‍රදේශයෙනි. ලෝක ප්‍රසිද්ධ 2004 සුනාමි දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ලෙස කටයුතු කළ වනිගරත්න කරුණාතිලක අද මාතර දුම්රිය ධාවනාගාරයේ ප්‍රධාන නියාමකවරයකු ලෙසයි කටයුතු කරන්නේ. ඔහු පසුගිය ඉරිදා උදෑසන යාපනයේ සිට මාතර බලා ධාවනය වූ සති අන්ත ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ලෙස කටයුතු කළා. වේගයෙන් ධාවනය වූ මේ දුම්රිය සමඟ සෙල්ෆි සේයාරූ ගැනීමට ගිය යුවළක් අනතුරට පත් වී පුරුෂයා එම ස්ථානයේම මිය ගිය බවත් කාන්තාවද තුවාල ලැබූ බව ඔහු පැවසුවා‍. හොඳින් ආලෝකය තිබූ පස්වරු 6.15ට පමණයි මේ අනතුර සිදුව තිබෙන්නේ.

    යාපනයේ සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රියට කහව ප්‍රදේශයේදී පැමිණියේ සැලකිය යුතු වේගයකිනි. මේ මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක් වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි වුවද සාමාන්‍ය වශයෙන් දුම්රිය රියැදුරන් එම වේගයෙන් නොව සාමාන්‍ය වශයෙන් පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් දුම්රිය ධාවනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන දුම්රියකට මීටර් 100ක් පැමිණීමට ගත වන්නේ තත්ත්පර 3.6ක් බඳු ඉතා සුළු කාලයකි. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පැමිණියේ නම් ඒ සඳහා ගත වන්නේ තත්ත්පර 4කට මඳක් වැඩි කාලයකි. බොහෝ දෙනාට වරදින්නේ මෙතැනය. දුම්රිය මීටර් 100ක්-200ක් පමණ ඈත තිබියදී එය පැමිණීමට තවත් විනාඩියක් පමණ ගත වනු ඇතැයි සිතා සෙල්ෆි ගැසීමට සූදානම් වෙති. එහෙත් දූරකථනයේ තිරයට අත තැබීමටත් පෙර දුම්රිය ඔවුන් පසු කරගෙන යන්නේ සෙල්ෆියත්, දිවියත් දෙකම අවසන් කරගෙනය. ‍

    දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසන්නේ පසුගිය මාස පහමාරකට ආසන්න කාලයකදී දුම්රියේ ගැටීම් ඇතුළු දුම්රිය හා සම්බන්ධ අනතුරුවලින් පුද්ගලයන් 209ක් මියගොස් ඇති බවයි. එයින් පුද්ගලයන් 22ක් මියගොස් ඇත්තේ සෙල්ෆි ගැසීමට යෑමෙන් හා ජංගම දූරකථන කනේ තබාගෙන යෑමෙන් බවත් ඔහු පෙන්වා දෙයි.
    විශේෂයෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ග‍යේ කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ තීරයේ වෙරළ ආසන්නයේ ඇති අනවසර නිවාසයන්ට මාර්ගයක් ලෙස දුම්රිය මඟ භාවිත කරන බවද පෙන්වා දුන් ඒ මහතා මුහුදු සිරිය විඳගැන්මට පැමිණෙන පිරිස් ක්‍රමයෙන් වැඩිව ඇති බවත් ‍‍මේ බොහෝ පිරිස් දුම්රිය මාර්ගයේ අනතුරුදායක තත්ත්වය නොතකන බවත් ඒ මහතා පවසයි. වෙරළ ආසන්නයේ අධික සුළඟ නිසා දුම්රියේ ශබ්දය ඉතා අඩුවෙන් ඇසෙන බවත්, විශේෂයෙන් තනි බලවේග කට්ටල දුම්රියන්හි එක් එන්ජිමක් පමණක් තිබෙන හෙයින් එක් පසෙකට ධාවනය විමේදී එහි එන්ජිම පසු පස ඇති නිසා ඉදිරිපසින් කිසිදු ශබ්දයක් ‍නොඇසීම නිසා දුම්රියක් ආසන්න වන තුරුම එය නොදැනීමෙන් අනතුරු සිදු වන බවත් ඒ මහතා කියා සිටී.

    දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වීඑස් පොල්වත්තගේ මහතා අපට පැවසුවේ සෙල්ෆි උන්මාදය නිසා අහිමි වන ජීවිත බේරාගැනීමට නම් පළමුව ආකල්ප වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන්ම මෙහිදී පාසලෙන් මෙන්ම වැඩිහිටියන් විසින්ද දූදරුවන් දැනුවත් කිරීම මඟින් මේ උන්දමාදය ඉවත් කරගැනීමට හැකි වනු ඇති බවත් විශේෂයෙන්ම අනතුරාදායක සෙල්පි සේයාරූ ගැනීමට දුම්රිය මඟ කිසිසේත්ම යොදා නොගත යුතු බවත් දුම්රිය මාර්ගය දුම්රිය ගමනාගමනයට පමණක් සීමා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි. කොළඹ ‍කොටුව දුම්රිය ස්ථාන අධිකාරි සරත් පතිරණ මහතා පැවසුවේද දුම්රිය අනතුරුවලින් මිය යන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් වළක්වාගත හැකි බවත්, නොසැලකිල්ල මේ සියල්ලට හේතුව වී ඇති බවත්ය.
    බොහෝ මඟීන් මෙන්ම ජනතාවද දුම්රිය මඟින් ලබා දෙන නිවේදන නොසලකා හරිනු ලබන බවත් මේ නිසා අනතුරුවලට මුහුණ දීමට සිදුවන බව ඔහු පෙන්වා දෙනවා. දුම්රිය නැවැත්වීමට පෙර එයට ගොඩවීමට යාම අනතුරුදායක බව නිවේදනය කරද්දීම කිසිදු ආකාරයක සැලකිල්ලක් නොමැතිව මඟීන් එයට ගොඩවන්නේ තම දිවියට වඩා දුම්රිය ආසනයට මුල් තැනක් ලබා දෙමින් බව කී පතිරණ මහතා මේ ආකාරයෙන්ම සෙල්ෆි සේයාරූ ගැනීමද අනතුරුදායක ලෙසින් ලබා ගැනීමද වැඩිවී ඇති බවත් පෙන්වා දුන්නා.

    පසුගිය ඉරිදා සිදු වූ මේ සිදුවීම් දෙක දැන් අතීතයට එක් වී අවසන්. අපේ රටේ ඕනෑම දෙයක් මතක තිබෙන්නේ දවසක් නැත්නම් දවස් කීපයක් විතරයි. සෙල්ෆි ගහන්න එපා කියල අපි කියන්නේ නැහැ. තාක්ෂණය තියෙන්නේ ඉදිරියට යන්න; වැඩ කටයුතු පහසු කරගන්න. කලින් තවත් කෙනකුට කියල තමන්ගේ සේයාරූ ගත්ත අයට දැන් තමන්ගේ සේයාරූ තමන්ටම ගන්න පුළුවන්‍.‍ ඒත් ඒ තත්ත්වය උන්මාදයක් නැත්නම් පිස්සුවක් කරගත්තොත් විඳවන්න වෙන්නේ තමන්ට විතරක් නෙමෙයි කියනඑක අපට මේ සිදුවීම් දෙස බලා හොඳට වටහාගන්න පුළුවන් වෙන්න ඕනෑ. එවිට සෙල්ෆියත් ජීවිතයත් දෙකම රැකගන්න හැකි වේවි.

    [rns_reactions]

  • යකඩ යකා එක්ක සෙල්ෆි ගැහුවොත් නඩු…

    දුම්රිය හා සම්බන්ධව අනතුරුදායක ලෙස සෙල්ෆි ඡායාරූප ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු පවරනු ලබන බව දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

    දුම්රිය ආඥා පනතට අනුව අන්තරාදායක ආකාරයෙන් ගමන් කරන දුම්රිය මඟීන්ට මෙන්ම අනෙකුත් ජනතාවට එරෙහිව මෙසේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා කීය.

    දුම්රිය මාර්ග‍යේ ගමන් කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්ව තිබියදී ඇතැම් පුද්ගලයන් දුම්රිය පැමිණෙන විට පවා සෙල්ෆි සේයාරූ ලබා ගැනීමට පුරුදුව සිටීම ඉතාම අනතුරුදායක බවත් පසුගිය දිනවල මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස ජීවිත රැසක්ම අහිමි වූ බවද කීය.

    [rns_reactions]

  • උණ වැඩි නම් ළඟම රෝහලට යන්න – ජාතික ඩෙංගු මර්ධන ඒකකය

    ඩෙංගු රෝගයට අදාළ ප්‍රතිකාර මේ වන විට අනෙකුත් රෝහල්වලද සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් එම ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලටම යෑමට අවශ්‍ය නැතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගය වසංගත මට්ටමින් පැතිර යන අතර, අයිඩීඑච් උණ රෝහල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.

    එසේම මේ වන විට කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ජාතික රෝහල, රාගම ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, පාණදුර රෝහල ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය රෝහල්හිද ඩෙංගු රෝගය සඳහා අදාළ ප්‍රතිකර්ම සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් උණක් ගැනුණු සැණින් අයි ඩී එච් රෝහලටම නොගොස්, ආසන්න රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය රෝගීන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ පිළිබඳව අදහස් දැක්වූ එම ඒකකය සඳහන් කළේ උණ අඩු කරගැනීමට වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් නියමිත මාත්‍රාව හැර වෙන කිසිම ඖෂධයක් භාවිත නොකළ යුතු බවත්, උණ ගැනී දින 3ක් නොව, පැය 48ක් (දින 23ක්) අවසානයේ වෛද්‍ය උපදෙස් මත අනිවාර්යයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂණයකට යොමු විය යුතු බවයි.

    [rns_reactions]

  • මුහුද අපවිත්‍ර කරන රටවල් හයට ශ්‍රී ලංකාවත්….

    වැඩිම ප්‍රමාණයක් මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරින රටවල් හය අතුරින් ‍ශ්‍රී ලංකාව හය (06) වන ස්ථානයේ සිටින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසන අන්දමට මේ අපද්‍රව්‍ය මුහුදට වැඩි වශයෙන් මුදා හරිනු ලබන්නේ ධීවරයන් විසිනි. මෙසේ දිනකට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ටොන් හයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වන අතර, මේ අපද්‍රව්‍ය එකතු වීම නිසා මුහුදු මත්ස්‍යයන්ට, කොරල්පර සහ මුහුදු පැළෑටිවලට විශාල වශයෙන් හානි සිදු වන බවත්, එම නිසා මේ පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ධීවර වරාය මගින් දියඹට යන බහුදින යාත්‍රාවලින් වැඩි වශයෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මේ තත්ත්වය උත්ගත වී ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත දියඹට යන ධීවර යාත්‍රා ධීවර නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන බවත්, බැහැර කරන අපද්‍රව්‍ය රඳවනයක් යාත්‍රාවල සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යංශය කියා සිටී. එසේ දියඹට ගෙන යන අපද්‍රව්‍ය යළි ගොඩබිමට ‍නොගෙනෙන ධීවරයන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා බවද අමාත්‍යංශය සඳහන් කරයි‍.

    [rns_reactions]

  • වැසිකිළියට වැටුණු “ට්‍රම්ප්” – ඔබ නොදත් කතාව මෙන්න….

    මහා ලොකු කතා කියාගෙන ඇවිල්ලා ජනාධිපති තනතුරට පත් වුණාට මේ වෙද්දී ඇමෙරිකානු ජනපතිවරයා මිනිස්සුන්ගෙ උපහාසයට ලක් වෙන චරිතයක් බවට පත් වෙන්න පටන් අරගෙන. පහළ පිංතූරයේ තියෙන්නේ මෙක්සිකෝවෙ නිෂ්පාදනය වුණු, උණු කැවුම් වගේ විකිණෙන ටොයිලට් පේපර්ස් වර්ගයක්. ඒකෙ නම ට‍්‍රම්ප්. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ සන්නාම ලාංඡනය විදියට යොදා ගෙන තියෙන මුහුණේ රූපයක් බොහෝ දුරට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට සමානයි.

    මෙක්සිකෝව සහ ඇමෙරිකාව වෙන් කරලා තාප්පයක් බඳින්න පියවර ගත්තු ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙනුවෙන් මෙක්සිකන් ජනතාව විරෝධය පළ කරන්නේ මේ කියන ට‍්‍රම්ප් ටොයිලට් පේපර්ස් වැඩි වැඩියෙන් පාවිච්චි කිරීමෙන්ලූ. බටහිර ජනතාව ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන්නේ මොනවා පිහිදාන්න ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    [rns_reactions]