Category: සුපිරි Walks

  • ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න

    ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න

    “ගමට ගෙයක් – රටට හෙටක්” රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ ඉදිකෙරුණු පළමු නිවස විවෘත කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි.

    නිවස විවෘත කිරීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පෙබරවාරි මස 01 වෙනි දින මුල්ගල තැබුණු  නිවසේ  හිමිකරු වුයේ රමිලා පතිරණ මහත්මියයි. පාසල් යන දරුවන් දෙදෙනෙකු ද මෙම නිවසේ සිටින අතර මෙම පවුලට නිසි ආදායම් මාර්ගයක් ද නොමැත. නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද පරිත්‍යාගශීලින්ගෙන් ලැබී තිබිණ.

    මෙම නිවස විවෘත කිරීමේ උත්සවයට කිසිදු රජයේ මුදලක් වැය කර නොතිබිණි. එමෙන් ම මේ වෙනුවෙන් සමරුඵලක, වේදිකා හෝ ඉදිකර නොතිබීම ද විශේෂත්වයකි. ගමට ගෙයක් – රටට හෙටක් වැඩසටහන් යටතේ දිවයින පුරා සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි නිවාස ඉදි කිරීම සිදුවේ. ඒ අනුව නිවාස 14,000 ක් කඩිනමින් හිමිකරුවන්ට පැවරීමට නියමිතයි.

    නිවස විවෘත කිරිමේ අවස්ථාවට එක් වු කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දේශපාලඥයන් හා නිළධාරින් එක් වී අවබෝධයෙන් කටයුතු කිරිම නිසා මෙම නිවස දින 29 කින් නිම කර ගැනිමට හැකි වු බවයි. පසුගිය යහපාලන සමයේ මෙවැනි නිවසක් ඉදිකළේනම් එය විවෘත කිරීමේ උත්සවයට හිටපු ඇමතිවරයා රුපියල් කෝටි ගණනාවක් වැය කරන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වව්නියාවේ නිවාස 10 ක් ඉදිකර එය විවෘත කරන උත්සවයට මාතර පොස්ටර් ගැසූ යුගය වත්මන් ආණ්ඩුව අවසන් කළ බව කීවේය. නිවාස ඉදි කිරීම වෙනුවට හිටපු ඇමතිවරයා කළේ කෝටි ගණන් රජයේ මුදල් වියදම් කර සිය පුද්ගලික ප්‍රචාරක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ඡන්ද කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා රබර් සෙරෙප්පු දාගෙන රගපෑවා. ජනාධිපති වුණොත් වාහන එපා කිව්වා. ජනාධිපති මන්දිර එපා කිව්වා. දැන් විපක්ෂ නායක වුණා විතරයි සේරම ගත්තා. හැබැයි ජනාධිපතිතුමා ඡන්දෙට කලින් මොනවත් ගන්නේ නෑ. අනේ මං ඉන්නේ මිරිහානේ කියලා කිව්වේ නෑ. හැබැයි එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා රට හදන්න කැප වෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔප්පු කළා එයා කියන්නේ එකක්, කරන්නේ එකක් කියලා.

    අද මේ රටේ ජනතාව දන්නවා මේ ආණ්ඩුවට සජිත් මහත්තයා වැඩ කරන්න දෙන්නේ නෑ කියලා. ඔවුන් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා කියලා. ඒ නිසා අපි ජනතාවට දෙන්න හිටපු සහන ලබා දෙන්න බැරිවෙලා තියෙනවා. නමුත් අලිව තත්ත්වයක කාටවත් බෑ. අපි ජනතාව වෙනුවෙන් කළ හැකි කළ යුතු සියලු දේ කරනවා.

    නිවාස රාජ්‍ය ඇමති ඉන්දික  අනුරුද්ධ මහතා ද මෙහිදී කථා කළේය.

  • තම රුව සිතුවම් නොකරන ලෙස   ජනපති ගෝඨා ඉල්ලයි

    තම රුව සිතුවම් නොකරන ලෙස ජනපති ගෝඨා ඉල්ලයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත.

    තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව ජනපතිවරයා කියා සිටී.

  • තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික

    තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික

    වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.     

    තරුණ ජීවිත රවටා එතුමන් අද සිදුකළ දෙයම එදා ඔහුගේ පියාණන්ද බලය ලබා ගැනීම සඳහා තරුණ ජීවිත යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

    පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය විශාල ලෙස අවභාවිතයට ලක්ව ඇති අතර එහි නිළධාරීන්ද විශාල පීඩනයකට ලක්වෙමින් සේවය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, හිටපු නිවාස අමාත්‍යවරයා රට පුරා නිවාස ඉදිකරනවා යැයි පවසමින් නිවාස සඳහා මුල්ගල් තබමින් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඉන් රටේ ජනතාවට කිසිදු සේවයක් සිදු නොවූ බවත් ප්‍රකාශ කළේය.  

    ජනතාව අද වැඩකරන රටක් ඉල්ලා සිටින බවත්, වත්මන් රජය අද නිවාස අමාත්‍යංශය හරහා එය රටට සහ ලොවට පෙන්වා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිමකළ ප්‍රථම නිවස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (01) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ඔර්චඩ්වත්ත ග්‍රාමසේවා වසමේදී පැවැත්විණි.     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ජීවත්වීමට ස්ථීර නිවසක් නොමැතිව සිටින අඩුආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසදීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන පසුගිය පෙබරවාරි මස 01 දින කුරුණෑගල, ගිරිබාවේදී ආරම්භ විය.

    දින 60 ක් තුළ නිවාස ඉදිකර අවසන් කිරීමේ ඉලක්කයක් සහිතව මෙම වැඩසටහන ආරම්භ කළ නමුත්, දින 30 කට අඩු කාලයකදී පළමු නිවස අංගසම්පූර්ණව ඉදිකර අවසන් කිරීමට රජයට හැකිවීම විශේෂත්වයකි.

    “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහනේ පළමු නිවස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයද ඉතා චාම් ආකාරයට සංවිධානය කර තිබිණි.

    මෙම අවස්ථාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

  • ඇමති ප්‍රසන්න හා ජාත්‍යන්තර ගුවන් සමාගම් අතර සාකච්ඡා

    ඇමති ප්‍රසන්න හා ජාත්‍යන්තර ගුවන් සමාගම් අතර සාකච්ඡා

    මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි. මෙම ගුවන් තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා කියා සිටී.

    ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් වල මෙරට කළමනාකරුවන් හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය සිකුරාදා (28) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලිම ඉදිරිපත් කෙරිණ. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීම හා එම සමාගම් මුහුණ පා තිබෙන ගැටළු සම්බන්ධයෙන් මෙම සාකචඡාව පැවැත්විණ.

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපගමන බද්ධ අය කීරීම වසර 02 ක කාලයක් සදහා අතහැර දැමීමටත් රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අපගමන බද්දෙන් 50% ක් වසරක කාලයක් දක්වා අතහැර දැමීමටත් රජය තීරණය කර තිබේ. එමෙන් ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටවන සංක්‍රමණික සේවකයන්ගේ ගාස්තු සදහා වට්ටම් ලබා දීමට අපේක්ෂිතය. එමෙන්ම මෙම ගුවන් තොටුපළ දෙකේ බිම් මෙහෙවර ගාස්තු සදහා වට්ටම් ලබාදිම සහන මිලට ඉන්ධන ලබාදීම හා වසරක කාලයක් සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ගොඩබෑමේ හා ගුවන් යානා නතරකර තැබීමේ ගාස්තු අතහැරීමට ද රජය තීරණය කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අනාවරණය කළේය.

    මෙම සාකච්ඡාවට සහාභාගි වු ඉන්දීය ගුවන් යානා සමාගමක මෙරට කළමණාකාරවරිය සදහන් කළේ රත්මලාන චෙන්නායි අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ද සිය ගුවන් සේවා ආරම්භ කිරීමට ඇය මෙහිදී කැමැත්ත පළ කළාය. රැස්වීමට එක් ව සිටි ජාත්‍යන්තර ගුවන් සමාගම් කීපයක ම මෙරට කළමණාකරුවන් මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹිමට කැමැත්ත පළ කළ අතර සිය කළමණාකාරිත්වයට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ද එකග වූහ.

    කොරෝනා වසංගතය පැතිරයාමත් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් ද අඩාල වී ඇතැයි ගුවන් සමාගම් නියොජිතයෝ ඇමතිවරයාට මෙහි දී පෙන්වා දුන්හ. ඒ පිළිබද ව රජයට කරුණු ඉදිරිපත් කර සහනයක් සලසන ලෙස ද ඔවුහු විෂයභාර ඇමතිවරයාගෙන් මෙහි දී ඉල්ලා සිටියහ. ඇමතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවන බවයි. කිසියම් නිෂ්චිත කාලයකට එවැනි සහනයක් සලසා සිය හැකි බව පැවසු රණතුංග මහතා කලාපයේ සෙසු රටවල් මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබදව ද අවධානය යොමු කළ යුතු බව කීවේය. ඇමතිවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසයි.

    මෙම සාකච්ඡාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම් සභාපති මේජර් ජි.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ගුණතිලක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අශෝක් පතිරණ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.

  • සත පහක් වත් වාරිකය නොගෙවා ‘ගොවියා ගොඩ යන’ කෘෂි රක්ෂණය මෙන්න !

    සත පහක් වත් වාරිකය නොගෙවා ‘ගොවියා ගොඩ යන’ කෘෂි රක්ෂණය මෙන්න !

    පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ ඉහලගිය එළවළු මිල ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බසිමින් සිටී. එක ආණ්ඩුවක් යටතේ සිටවූ එළවලු, තව ආණ්ඩුවක් යටතේ ගලවන විට සිදුවූ මෙම හදිසි මිල වැඩිවීම ආණ්ඩු මාරුවේ ප්‍රතිපලයක් නොවන බව පොළොවේ පයගසා ජීවත්වෙන පොඩි එකෙකුට වුවත් නොතේරෙන්නේ නැත.

    එහෙත් සමහරු එයට දේශපාලන වත්සුණු තවරා හැඩවැඩ බලන්නටද පටන්ගෙනය. පැල් බැඳගෙන වැටුණු අනුකම්පා විරහිත වැස්ස, පොළොවේ ඉන්දවා තිබූ සියලු වාර්ෂික බෝග වනසා දැම්මේ, ආණ්ඩු මාරුවත් සමග කුල්මත්වූ පිරිස් ලාබෙට කන්න බොන්න දත කට මදිනා අයුරු හොරැහින් නරඹමිනි.

    “බූරුවා ගහන්න තහනම් රටේ එළිපිටම කෙරෙන ලොකුම සූදුව තමයි ගොවිතැන, ඕන් ඔච්චරයි මෙදාපාර ඉතුරු.”

    කරමත තබාගෙන ඔසවාගෙන ආ පොහොර මල්ලේ තිබුණු දෑ හෙතෙම බිමට හැලුවේය. මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සතිපොළකදී ඒ හිමිදිරි උදෑසනදී වා තලය රත්වෙන්න සැර සුසුමක්ද පිටකළ ඔහු එතනම ඇන තියාගෙන වාඩිවුනි. ගෝනි පඩංගුව මතට හැලුණු ඇතැම් කැරට් අල, ටික දුරක් රෝල්වී ගොස් අහල පහලම නතර විය.

    මේ අල නම් දේශපාලනඥයින්ටවත් වැඩක් නැත. මන්දයත් පුංචිසිංඤෝගේ කර මතට නැගී රැහැනක දවටාගෙන මුහුණ ඉස්සරහින් එල්ලා පෙන්වන්නටවත් ඒවාහි කැපී පෙනෙන පෙනුමක් නොතිබීමයි. ඒවා දෙස බලාගෙන දේශපාලකයාව කර තබාගත් පුංචිසිංඤෝ ගමන් අරඹාවි යයි සිතන්නටද බැරිය. මේ ලපටි වයසේදීම අලටික ගැලවූවේ ඇයිදැයි මා හෙමිහිට ඔහුගෙන් විමසුවේ හේතුව නොදන්නා නිසාම නොව මා දන්නා යමක් කියාදීමට තිබූ බරපතල උවමනාව සිත තුලින් මතුවූ නිසාවෙනි.

    සුහුරු ගොවිතැනට වඩා කතා කළ යුතු වැදගත් ම මාතෘකාව

    මේ මොහොතේ හදිස්සියෙන්ම කතාකල යුත්තේ සාහසික කාලගුණය හැකි තරමින් පරදවා, සිහින් කැරට් අල ගෝනි බාගයක්වත් බේරාගෙන සතිපොලට ආ ගැමියාටය. ගොවිතැන වනාහී සූදුවක් බව ගැමියා කියත්දී, සුහුරු ගොවිතැනේ සැණකෙළි සිරිය පෙන්වූ පමණින් කොළඹ වැඩබිමේ වාඩියේ හිඳිනා ඔහුගේ දරුවා කඩිමුඩියේ ආපසු ඒවියයි සිතන්නටද බැරිය

    “සේරෝම විනාස උනා, උල්දිය දාල මුළු ඉඩමම මඩ ගොඩක්. තව දවස් දෙකක් තිබ්බනම් මේ ටිකත් පොළොවටම පස් වෙනවා”

    ගොවියා නගා සිටුවීමේ කතා පරදා දැන් වඩාත් සුලභව ඇසෙන්නේ  තරුණ පරපුර ගොවිතැන හැරදා යන කතාවයි. සුහුරු නොහොත් ස්මාර්ට් ගොවිතැනක් හඳුන්වා දෙමින් යම්කිසි පෙරලියක් කර, කොළොම්පුරයේ වැඩබිමක බදාම අනන්නට යන ගමේ ගැටවරයාව නියර මතම හිඳුවා ගන්නට හැකිය යන මතයටද ඇතැමුන් ලොකු බරක් තබා ඇත. එවැනි දිගුකාලීන සැලසුම් පසෙක තිබුනාවේ. මේ මොහොතේ හදිස්සියෙන්ම කතාකල යුත්තේ සාහසික කාලගුණය හැකි තරමින් පරදවා, සිහින් කැරට් අල ගෝනි බාගයක්වත් බේරාගෙන සතිපොලට ආ ගැමියාටය. ගොවිතැන වනාහී සූදුවක් බව ගැමියා කියත්දී, සුහුරු ගොවිතැනේ සැණකෙළි සිරිය පෙන්වූ පමණින් කොළඹ වැඩබිමේ වාඩියේ හිඳිනා ඔහුගේ දරුවා කඩිමුඩියේ ආපසු ඒවියයි සිතන්නටද බැරිය.

    ආරක්‍ෂිත ගෘහ තුල වැනි දැඩි රැකවරණයක් සහිත පරිසරයක කෙරෙන ගොවිතැන මෙන් නොව, එළිමහනේ කෙරෙන බෝග වගාවට තිබෙන අවදානම අධිකය. මාසයක් වැනි කාල පරාසයක් තුල විසිරී ලැබෙන්නට නියමිත වර්ෂාපතනය එක රැයක් තුල පතිතවන්නේ නම්, තණකොළ පඳුරකට වුවද පණ රැකගන්නට නොදී  මිහිකත ඉරිතලා වියලී යන්නේ නම්, පොළොවේ සාරය මල්ලකට පුරවා ගෙට ගන්නට කරනා අරගලය බොහෝවිට නිෂ්පල ව්‍යායාමයක්ම වේ. එලෙස වගාහානි සිදුවූ අවස්ථාවක ගොවිතැනෙහි නියැලෙන්නන් ආරක්ෂා කරගැනීමට දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුම රටවල් පාහේ කටයුතු කරන්නේ පාලකයින් සතු පරහිතකාමී සිතිවිලි නිසාම නොව, එක් කන්නයක් තුල ගොවියා බංකොලොත් වී නම්, ඊළඟ පිම්ම පනින්නට විශ්වාසයත් ශක්තියත් ඔහු සතුව නොමැත්තේනම්, රටටම හාමතේ ඉන්නට සිදුවෙන නිසාය. තම දේශපාලන අට්ටාලයද ඊට සමපාතව දෙදරමින් අස්ථාවර වන නිසාය. මානව සම්පත් ප්‍රභේද අතරින් ඉතාම අඩු පිරිවැයක් හා කාලයක් වැයකර නිර්මාණය කර මුදාහැරිය හැකි ඒකකය ගොවියා වුවත්, සිටින ගොවියා රැක ගැනීමට කවුරුත් උනන්දු වන්නේ දුර තිබෙන මොනර මසට වඩා ළඟ ඇති කපුටු මස හොඳ නිසා විය හැකිය.

    ඉන්දියාවෙන් ලැබෙන අපූරු තොරතුර

    අසල්වැසි ඉන්දියාවෙන් මේ පිළිබඳව ලැබෙන්නේ අපූරු තොරතුරකි. කෝටි 48 ක්වූ වැඩකරන ජනතාව අතරින් කෝටි 12 ක් නොහොත් 25% ක් වන ඉන්දීය ගොවියා වෙනුවෙන් 2014 මැතිවරණ ව්‍යාපාරය හරහා අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝදි මහතා ඇඟට දැනෙන පොරොන්දුවක් දුන්නේය. ඊට පාදක වූයේ ඉන්දීය ගොවි ප්‍රජාව පසුගිය දශකයට වඩා කෝටියකින් පමණ සංඛ්‍යාත්මකව අඩුවී ඇති බව 2011 දී සිට ඉන්දීය කොංග්‍රසය අවබෝධ කරගෙන සිටීමයි. තවත් අගනා ගණනය කිරීමකට අනුව, සෑම පැය 24 කටම වරක් ඉන්දීය ගොවීහු 2040 ක් දෙනා යලිත් නොඑන්නටම දෙපා සෝදාගෙන ගොවිබිම හැරදා පිටව යන බව පෙන්වා දී තිබේ. මෙම ඛේදවාචකය ආපසු හැරවීම උදෙසා මෝදි මැතිඳුන් පොරොන්දු වූයේ ගොවිපොළේ ආදායම දෙගුණයක් කරන්නට කටයුතු පෙළගස්වන බවටත්, වගාහානි වලදී කඩිනමින් වන්දි ගෙවමින් ගොවියාව රැකගන්නා බවටත්ය. කතිර බලය ලබාගත් පසු පොරොන්දු ඉටුකිරීමට බොහෝ දෙනෙකුට අමතක වන්නේය. එහෙත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නැති බවක් මෙතැනදී නම් පෙනෙන්නට තිබේ. හිටපු අගමැති මන්මෝහන් සිං විසින් අරඹා තිබුණු ගොවි රක්ෂණ ක්‍රමය නව තේමාවක් ලෙස ස්ථාපනය කරන්නට 2016 දී මෝදි රජය කටයුතු කරන ලදී. ඒ හරහා ඔහු ලැබූ ගොවි ජන ප්‍රසාදය තවත් වාරයක් අගමැති පුටුවේ හිඳින්නට හේතු වුවාටද සැක නැත.

    එතුමන් හඳුන්වාදුන් නව රක්ෂණ ක්‍රමවේදය හරහා බොහොමයක් බෝග සඳහා ගොවීනට ගෙවන්නට සිදුවුයේ රක්ෂණය කල මුදලෙන් 5% ක් පමණ වන සුළු වාරිකයකි. ඉතිරිය දැරුවේ රක්ෂණ සමාගම් හෝ රජය මගින්ය. කෙසේ වෙතත් ග්‍රහයා නරක්වෙන වෙලාවට සඳුන් ගසේ අරටුවටත් ගුල්ලන් ගසන්නේය. තම මුදල් වංචා කරතැයි චෝදනා කරමින්, රක්ෂණ සමාගම් වලට එරෙහිව දුප්පත් ගොවි ජනතාව වීදි බටහ. ඔවුන් ඇතැමෙක් අත රක්ෂණ සමාගමෙන්  වන්දි වශයෙන් ගොවීනට නිකුත් කල චෙක්පත් පවා තිබිණ. ඇතැම් චෙක්පත්වල වන්දි මුදල වශයෙන් සඳහන් කර තිබුනේ ඉන්දීය රුපියල් 5 කි. තවත් එකක් රුපියල් හතක චෙක්පතකි. 2016-17 කාල පරාසය තුල රක්ෂණ ආයතන විසින් රුපියල් කෝටි 22179 ක් එකතු කරගෙන ඇත්තේ ගොවි වාරික ලෙස කෝටි 4383 ක් සහ රජයෙන් ගෙවන දායකත්වය වශයෙන් කෝටි 17796 ක් වශයෙනි. ගොවීන් කෝටි 1.2 දෙනෙකුට වන්දි වශයෙන් කෝටි 12949 ක මුදලක්  ගෙවා ඇති නිසා එක ගොවියෙකුට ලැබුණු සාමාන්‍ය වන්දි මුදල ඉන්දියානු රුපියල් 10790.83 ක් වේ. ඒ අතර රුපියල් පහේ දහයේ චෙක්පත් පවා තිබීමයි මේ කලබැගෑනියට හේතුව. මේ ගණන් හිලව් අපට අදාළ නැතිවුවත්, කෙටියෙන්වත් සඳහන් කෙරුවේ අසල්වැසියාගේ ගොවි රක්ෂණයේ තරම පෙන්වා දෙන්නටය.

    කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කතාව

    “2017 අවුරුද්දේ යල කන්නයට බලපෑ නියඟයේදි පමණක් අපි කෝටි 500 කට වඩා ගොවීන්ට වන්දි ගෙව්වා, මේ වන විට කන්නයක් පාසා අපි ගෙවනවා. පහුගිය දෙතුන් අවුරුද්දට කෝටි 800 පහුකරන්න ගෙවලා ඇති”

    කාලගුණ, රෝග පළිබෝධ හා වන සත්ව උවදුරු වලින් පීඩා විඳින අහිංසක ගොවි ජනතාවගේ දැනගැනීම පිණිස මෙරට ක්‍රියාත්මකවෙන ගොවි රක්‍ෂණ වැඩසටහනේ තතු විමසන අරමුණින් මා හමුවූයේ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කැලුම් කළුආරච්චි මහතාවය. එතුමන් කතාව පටන්ගැනීමට ගෙනහැර පෑ තොරතුරු අනුව නම් අපේ ගොවියාටද කෝටි ගණනින් වන්දි ලැබී තිබේ. මෙවන් රක්ෂනාවරනයකින් ආරක්ෂා වී තිබියදී මෙරට ගැමියා ගොවිතැන සූදුවක් යනුවෙන් හඳුන්වා දෙන්නේ ඇයි ? සූදුපොලේදී නම් ගියොත් ගියාය, ආවොත් ආවාය. පැරදුනොත් වන්දි ගෙවන්නට කෙනෙක් නැත. කළුආරච්චි මහතා පවසන ආකාරයට අක්කර විසිහත් ලක්ෂයක් යයි දැනට ගණන් බලා තිබෙන වාර්ෂික බෝග වගාකරන මෙරට පිහිටන සමස්ත ගොවි ඉඩම් ප්‍රමාණයම මේ වනවිට රක්ෂනාවරණයට යටත්වී තිබේ. එසේනම් සූදුපොලේදී පැරදුනා මෙන් නොව ගොවිපොළේදී පැරදුනොත් ආණ්ඩුවෙන් වන්දි ගෙවා ගොවි සිත සුවපත් කරවයි. අවාසනාව වන්නේ එම ඉඩම් පරිහරණය කරන ගොවියා ඒ බව නොදැන සිටීමය. සතිපොළට ආ ගැමියාද ගොවිතැන සූදුවක් යයි කීවේ එබැවිනි.

    බෝග රක්ෂණය සිදුකරන ආසියාවේ පිහිටි රටවල් අතුරින් පැරණිම රටවල් කීපයන් එකකි ශ්‍රී ලංකාව. මෙවැන්නක් මෙරට තුල ස්ථාපිත කළහැකිද යන්න පිළිබඳව මුල් වරට විපරම් කර ඇත්තේ 50 දශකයේදී ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගීත්වයෙන් කුඹුරු අක්කර 28000 ක් යොදාගෙන කරන ලද නියමු ව්‍යාපෘතියක් හරහාය. 1961 දී මෙම විපරුම නොහොත් නියමු ව්‍යාපෘතිය අක්කර ලක්ෂ දෙක දක්වා වැඩිකර තිබේ. අපේ උදවිය පුරුදුවී තිබෙන්නේ භාජන පතුලේ වදින්නම හැන්ද ඔබා තමාගේ පංගුව බෙදා ගන්නටය. නියමු ව්‍යාපෘතිය මගින් ගෙවූ වන්දි මුදල මදිවීම නිසාත්, රක්ෂණය ගැන තබාගෙන සිටි සිහින බලාපොරොත්තු ඉටු නොවීම නිසාත්, නොබෝ දිනකින් නියමු ව්‍යාපෘතිය දින නියමයක් නැතිව අතහැර දමා තිබේ.

    එසේ නමුත්, වැරදුනු තැන්වලිනුත් පාඩම් ඉගෙනගෙන 1973 දී ජාතික කෘෂි රක්ෂණ නීතිරීති හඳුන්වා දීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව පිහිටුවා ඇත්තේ කෘෂි රක්ෂණ මණ්ඩලයයි. ඒ සමගම දිවයින පුරාවටම රක්ෂනාවරණයද වලංගු කර ඇත.

     හුස්ම පොදක්වත් නිකං නොදෙනා ධනවත් රටවල වැසියෝ අපට වඩා බොහෝ සේ රක්ෂණාවරණ වලට සමීපව සිටිති. මන්දයත් අතේ වියදමෙන් හදිසියක් පිරිමසාගැනීම ඒ රටවලදී ඉතා දුෂ්කර කාර්යයක් වීමයි. නිදහස් සෞඛ්‍යය පහසුකම් ආදිය නොමැති රටවල සියල්ලෝම පාහේ සතුව සෞඛ්‍ය රක්ෂනාවරනයක් තිබේ. ලෙඩක් කරදරයක් හමුවේදී අවශ්‍ය බෙහෙත් හේත් ගැනීමෙන් පසුව රක්ෂිතයා කරන්නේ තමාට ලබාදී ඇති කාඩ්පත රෝහලට ඉදිරිපත් කර, නිදහසේ ගෙදර යාමයි. මුදල් ගනුදෙනු ගැන කිසිදු වගවීමක් රක්ෂිතයාට නැත. රෝහල හා රක්‍ෂණ සමාගම ඒ ටික බලාකියා ගනී. මේ කුමන රක්ෂනයකදී වුවත් සැලකිය යුතු මුදලක් රක්ෂණාවරණය ලබන්නා විසින් වාරික පිළිවෙලට අදාළ සමාගමට හෝ රජයට ගෙවිය යුතුවන අතර මෙම වාරික මුදලේ ඉහල අගය නිසාම රක්ෂණය ජනප්‍රිය කරවීම අප වැනි දුප්පත් රටවලට තරමක් දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේය.

    නොමිලේ ලබාදෙන වගා රක්ෂණයක්

    මෙවන් පසුබිමක් තුල නොමිලේ ලබාදෙන වගා රක්ෂණයක් මෙරට ඇතැයි පවසන්නේ නම් ගොවියාට එය අත්පුඩි තලා සතුටු විය හැකි තොරතුරකි.

    “නොමිලේ දෙන වගා රක්ෂණය අපි පටන් ගත්තේ 2013 අවුරුද්දේ. ඊට කලින් මේ වෙනුවෙන් ගොවියාගෙන් මුදල් ගත්ත. අක්කරයකට රුපියල් 10,000 ක් ගෙවනවා කියල මෙය ආරම්භ කෙරුවේ ගංවතුර, නියඟය හා වනඅලි කියන සාධක මත කුඹුර පාලු උන අය වෙනුවෙන්. ගොවියා මුලදී කිසිම ගානක් ගෙවන්න ඕනේ නෑ. ඊට පස්සේ මේ මුදල 2017 දී රුපියල් 40,000 දක්වා වැඩි කෙරුවා. එපමණක් නෙවෙයි තව බෝග පහක් මේකට එකතුකෙරුවා. බඩඉරිඟු, අර්තාපල්, ලොකුලූණු, සෝයාබෝංචි, හා මිරිස්. ලංකාවේ ඕනෑම පලාතක මේ වගාවන් කල ගොවියෙකුට ඉහත හේතු මත වගා හානියක් සිදුවූවානම්, වී වලට උපරිම අක්කර පහකටත්, අනෙක් බෝග වලට උපරිමය අක්කර දෙක හමාරක් වෙන පරිදිත් අක්කරයකට රුපියල් 40,000 ක් බැගින් අපි වන්දි ගෙවනවා පුර්ණ වගා හානියක් නම්.”

    කැලුම් කළුආරච්චි මහතා තම වගා රක්ෂණ සැලැස්ම ඉදිරිපත් කෙරුවේ එලෙසිනි. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ උදැල්ල අතට ගත් පමණින් කිසිදු මුදලක් අය නොකර රාජ්‍ය රක්‍ෂණ ක්‍රමවේදයකට ගොවියාව ඇතුළු කරගත් බව මෙරට ගොවීන් කී දෙනෙක් දැනුවත් වී ඇතිද යන්නයි. ගොවියාගේ මුදල් පසුම්බියෙන් යමක් ඉල්ලා නොසිටියද, මහා භාණ්ඩාගාරය විසින් ඔහු වෙනුවෙන් ගෙවිය යුතු වාරික මුදල් සියල්ල කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ගෙවනු ලබයි.

    යම් ගොවියෙකු සතුව කුඹුරු අක්කර පහකට වැඩිව තිබුනා යයි සිතමු. ඔහුට නොමිලේම රක්ෂණාවරණය ලැබෙන්නේ කුඹුරු අක්කර  පහකට පමණක් නිසා, ඉතිරිය වෙනුවෙන් ඔහු වාරික මුදල් ගෙවමින් රක්ෂණාවරණය තව දුරටත් බලාත්මක කරගත යුතුවේ. අමතර අක්කරයක් සඳහා මෙසේ ගෙවිය යුතු මුදල වන්නේ රක්ෂිත මුදලෙන් 9% කි. එනම් රුපියල් 3600 කි. මේ අනුව වර්ෂාව, නියඟය හා වන අලි යන ආපදා ත්‍රිත්වයෙන් එකක් යටතේ, අක්කර හතක කුඹුරක් කරන ගොවියෙකුගේ මුළු කුඹුරම විනාශ වූයේ නම්, රුපියල් දෙලක්ෂ අසුදාහක වන්දි මුදලකට හෙතෙම හිමිකම් කියන්නේය. අතිරේක අක්කර දෙක සඳහා (3600 X 2) රුපියල් හත්දාස් දෙසීයක් මුදල් ගෙවා අතිරේක රක්ෂණාවරණයක් ඔහු ලබා ගෙන නැත්නම් හිමිවන්නේ අක්කර පහකට නොමිලේ හිමිවෙන රක්ෂනාවරණයට අදාළ රුපියල් ලක්ෂ දෙක පමණකි. මේ ආකාරයටම බඩඉරිඟු, සෝයාබෝංචි, මිරිස්, ලොකුලුණු සහ අර්තාපල් යන බෝග සඳහාද නොමිලේ රක්ෂණය අක්කර දෙක හමාරක් දක්වා ක්‍රියාත්මක වන අතර ඉන් ඔබ්බට ප්‍රසාරණය වන වගා වපසරියක් සඳහා අක්කරයකට රුපියල් 3600 ක් ගෙවා ආවරණය ලබාගත හැකිය.

    ඕනෑම වාර්ෂික බෝගයක් රක්ෂණය කරගන්න ගොවියාට පුළුවන්

    “ඔය ටික විතරක් නෙවෙයි. ඕනෑම වාර්ෂික බෝගයක් රක්ෂණය කරගන්න ගොවියාට පුළුවන්. හැබැයි ඒවායේ නොමිලේ රක්ෂණය වෙන ප්‍රමාණයක් නෑ. කැකිරි පිපිඤ්ඤා කවුපි රටකජු වලට උනත් අපි ගාව රක්ෂණ සැලසුම් තියෙනවා. නොමිලේ නැතිඋනත් බොහොම සුළු වාරිකයයි ගෙවන්න වෙන්නේ. ගොවිජනසේවා කාර්යාලයට හරි, කෘෂි රක්ෂණ මණ්ඩලයට හරි දැනුම් දුන්නහම එතැනින් දන්වනවා ගෙවිය යුතු වාරිකය. එය ගෙවලා රක්ෂණාවරණය ලබාගන්න පුළුවන්.”

    කැලුම් මහතා පවසන කරුණු අනුව කැරට් ගෝනි බාගයක් කුදලාගෙන පැමිණි අහිංසක ගැමියා නොදන්නා කම නිසාම කරගෙන ඇත්තේ මහ විනාසයක් යයි සිතේ.පරිසරයට වින කටින මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් නිසාම, ආපදා තත්වයන්ගේ වැඩිවීමක් මිස සහනදායී යුගයක් අප ඉදිරියේ නැති බව ක්‍රම ක්‍රමයෙන් තහවුරු වෙමින් තිබේ. ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවිය 2017 වසරේ ප්‍රකාශයට පත්කළ පර්යේෂණ වාර්තාවක දක්වා තිබුනේ සෙන්ටිග්‍රේට් අංශක එකකින් පරිසර උෂ්ණත්වය ඉහල ගියවිට ලංකාවේ තේ නිෂ්පාදනය අවම වශයෙන් 4.6 % කින් පහල වැටෙනා බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2018 වසරේදී වාර්තා කර තිබුනේ අඩු තරමින් ලක්ෂ තුනක ජනතාවක් උතුරු පළාතේ පමණක් නියඟයෙන් පීඩා විඳිනා බවයි.

    ගංවතුර, නියඟය හා වන අලි යන හානි සංඝටක හැරුණුවිට රෝග හා පලිබෝධකයින්, කෘමි උවදුරු, ගිනිගැනීම්, වෙනත් සතුන්ගෙන් සිදුවෙන හානිවලට අදාළ ආවරනයන්ද මුලික ආවරණයට බද්ධව ලබාගත හැකි බව කළුආරච්චි මහතා තව දුරටත් පවසයි. ඒ වෙනුවෙන් මූලික රක්ෂනාවරණයට ගෙවිය යුත්තේ 1% ක් නොහොත් රුපියල් 400 ක් පමණි. උදාහරණයක් වශයෙන් අක්කර දෙකක බඩඉරිඟු වගාවක් තිබුනේයයි සිතමු.

    මෙය මූලික බෝග හයෙන් එකක් නිසා අක්කර 2.5 ක් සඳහා අක්කරයකට රුපියල් 40000 ක නොමිලේ ආවරණය ආරම්භයේදීම තිබේ. ඒ ගංවතුර, නියඟය හෝ වන අලි හානි සඳහාය. සේනා දළඹුවා වෙනුවෙන් මෙම ආවරරණය දිගු කරගැනීම සඳහා ගෙවිය යුත්තේ රුපියල් 400 කි. ඒ රෝග හා පළිබෝධ ආවරණය ලබා ගැනීමටයි. දැන් බඩඉරිඟු වලට සෑදෙන ඕනෑම රෝගයක් හෝ පැමිණෙන ඕනෑම පලිබෝධකයෙක් හමුවේ ගොවියා ආරක්ෂිතය. තවත් 400 ක් ගෙවා වෙනත් සතුන් වෙනුවෙන් ආවරණය ලබාගන්නේ නම් මිනිසා නමැති දෙපා සතාගෙන් සිදුවියහැකි හානියක් හැර ඉත්තෑවුන්, දඬුලේනුන්, රිලවුන්, වල්ඌරන් ආදී එකී නොකී සියලු සතුන් නිසා සිදුවෙන හානි වෙනුවෙන් ගොවියාට වන්දි ලැබේ. එසේනම් අක්කර දෙකක බඩඉරිඟු වගාවක් වෙනුවෙන් වාරිකය ලෙස රුපියල් 800 ගෙවන ගොවියා වගාහානි ගැන සිතමින් කිසිදු කනස්සල්ලක් ඇතිකරගත යුතු නැත.

    සෙවනැල්ලට බිය නොවිය යුතු බවත්, එහි සැබෑ තේරුම ආසන්නයේම ප්‍රබල ආලෝකයක් තිබීම බවත් යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබේ. ආපදා නමැති සෙවනැල්ලට දැන් ඉතින් ගොවියා ලොකුවට බිය විය යුතු නොවේ. රජයෙන් ලබාදෙන කෘෂි රක්ෂණ ආවරණය තමා අසලින් ඇති ප්‍රබල ආලෝකය බව හෙතම වහ වහා අවබෝධ කරගත යුතුව ඇත.   

    සනත් එම්. බණ්ඩාර

    Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

  • ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගෙන රන් සම්මාන දිනාගත් ආයතන මෙන්න

    ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගෙන රන් සම්මාන දිනාගත් ආයතන මෙන්න

    රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  109 ක් සඳහා සම්මාන  හා ඇගයීමේ සහතික පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) සිදු විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් රන් සම්මාන දිනා ගත් ආයතන සංඛ්‍යාව 55 කි.

    රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) අංශය යටතේ රන් සම්මානය දිනා ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සමත් වූ අතර, රජයේ විශේෂිත වියදම් ඒකක (අනෙකුත්) අංශය යටතේ  පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා  මුදල් කොමිෂන් සභාව සමත් විය.

    රජයේ අමාත්‍යාංශ අංශය යටතේ  ක්‍රීඩා අමාත්‍යාංශයත් , බුද්ධ ශාසන අමාත්‍යාංශයත් රන් සම්මාන දිනා ගත්තේය.

    රජයේ දෙපාර්තමේන්තු අංශය යටතේ  සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව,විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව,ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව,භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ,නීති කටයුුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, සමූපකාර සේවක කොමිෂන් සභාව ,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන රන් සම්මාන දිනා ගත්තේය.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශය යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  රන් සම්මාන දිනා ගත්තේය.

    පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ  මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව,නැගෙනහිර පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ අධ්‍යාපන, පෙර පාසැල් අධ්‍යාපන, ක්‍රිඩා, සංස්කෘතික කටයුතු හා යෞවන කටයුතු,  පුනරුත්ථාපන හා  ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (ඉංජිනේරු ‍සේවා) ,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ,නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන,  ඉඩම් හා ඉඩම් සංවර්ධන, නිපුණතා හා මිනිස්බල සංවර්ධන, කාන්තා කටයුතු හා ජල සම්පාදන අමාත්‍යාංශය ,වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය ,වයඹ පළාත් ප්‍රතිපත්ති සම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවත් රන් සම්මාන දිනා ගත්තේය.

    ඊට අමතරව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත් මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලි, නිවාස හා ඉදිකිරීම්, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාමීය සංවර්ධන, මාර්ග සංවර්ධන, රථවාහන හා ප්‍රවාහන අමාත්‍යාංශය  ,උතුරු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන, වෙළඳ හා වාණීජ අමාත්‍යාංශය ,උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම් කාර්යාලය (ඉංජිනේරු),උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (මුදල්),උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (පිරිස් පුහුණු),උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්),උතුරු පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ,උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ,සබරගමුව පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ,සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ,බස්නාහිර පළාත් පළාත් පාලන,  ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලාපවාහන හා සංචාරක අමාත්‍යාංශය යන ආයතනද පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ   රන් සම්මාන දිනා ගත්තේය.

    ප්‍රාදේශීය සභා අංශය යටතේ රිදීගම ප්‍රාදේශීය සභාව  හා කුලියාපිටිය ප්‍රාදේශීය සභාව රන් සම්මාන දිනා ගත්තේය.

    ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  අතරින් රිදි සම්මාන දිනාගත් ආයතන සංඛ්‍යාව 23 කි.ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම කථානායක කරූ ජයසූරිය, රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසගේ සහභාගීත්වයෙන් සිදු වූහ.   

    රජයේ අමාත්‍යාංශ අංශය යටතේ තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය ,කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ,නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය රිදී සම්මාන දිනා ගත්තේය.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රිදී සම්මාන දිනා ගත්තේය.

    පළාත් සභා අරමුදල් අංශය යටතේ උතුරු පළාත් සභාව හා  ඌව පළාත් සභාව සම්මාන දිනාගත් අතර, පළාත් සභා අධිකාරි අංශය යටතේ දකුණු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව ,වයඹ පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය ,නැගෙනහිර පළාත් නිවාස අධිකාරිය රිදී සම්මාන දිනා ගත්තේය.

    බොරලැස්ගමුව ,කුලියාපිටිය ,මිනුවන්ගොඩ ,පේදුරුතුඩුව  යන නගර සභාවන් නගර සභා අංශයෙන් රිදී සම්මාන දිනා ගත් අතර , ප්‍රාදේශීය සභා අංශය යටතේ බිංගිරිය,පඬුවස්නුවර ,පොල්පිතිගම ,කටාන ,පන්නල ,මිනුවන්ගොඩ ,කොබෙයිගනේ ,නාරම්මල ,උඩුබද්දාව  යන ප්‍රාදේශීය සභා රිදී සම්මාන දිනා ගැනීමට සමත් විය.

    සම්මාන උළෙළේ දී ඇගයීම් සහතික හිමිකරගත් ආයතන සංඛ්‍යාව 31 කි.

    08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට යටතේ පැවැත්වෙන මෙම සම්මාන උත්සවය මෙවර පැවැත්වූයේ සිව්වෙනි වරටය.මේ අවස්ථාවට මැති ඇමැතිවරු,කාරක සභාවේ සාමාජිකයෝ,පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • මාලේ තානාපති ධුරය රෝහණ බැද්දගේට

    මාලේ තානාපති ධුරය රෝහණ බැද්දගේට

    මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

    කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි.

    එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන්ද සහභාගී වූහ.

  • උණුසුම් කාලගුණයට මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි …

    උණුසුම් කාලගුණයට මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි …

    බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍ය  බලපෑම් පහසුවෙන්  වලකා ගත හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරු , ප්‍රජා වෛද්‍ය  විශේෂඥ කපිල ජයරත්න මහතා අවධාරණය කරයි.


    පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව මාධ්‍ය මගින් විවිධ උපදෙස් ලබා දෙන අතර  ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත් ය.

    වැඩි අවදානම් කාණ්ඩ
    සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය දහදිය දැමීම මගින් පාලනය කරගත හැකිය. එහෙත් පාරිසරික ආර්ද්‍රතාවයද වැඩිවූ විටෙක එම ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මෙම දිනවල ශ්‍රී ලංකාවේ පාරිසරික ආර්ද්‍රතාවයද 95% ක් පමණ වැඩි අගයක් ගනී.

    අධික උෂ්ණත්වය ඇතැම් පුද්ගලයිනට සමහර විට අහිතකර බලපෑම් ඇති කලහැකිය. ළදරුවන්, අවුරුදු 4 ට අඩු ළමයින්, අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයින් , අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් විශේෂයෙන් ප්‍රවේසම් වීම වැදගත්ය.

    ආරක්ෂා වන්නේ කෙසේද ?
    පවත්නා උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට වැඩියෙන් ජලය පානය කිරීම ප්‍රධානතම පියවරයි. අධිකව කය වෙහෙසවන ක්‍රියාවලදී, සාමාන්‍යයෙන් පිපාසාව සංසිදවා ගැනීමට බොන වතුර ප්‍රමාණයට වඩා වැඩි වතුර ප්‍රමාණයක් බීම අවශ්‍යය. එලෙස කය වෙහෙසවන අවස්ථා වලදී පැයකට වතුර විදුරු 2 ත් 4 ත් ප්‍රමාණයක් ගැනීම සුදුසුය. මෙය විශේෂයෙන්ම ළමයිනට සහ වයස්ගත වුවනට අත්‍යවශ්‍යය. ආහාර වලට සාමාන්‍ය පරිදි එකතු කරන ලුණු මගින් අවශ්‍ය කරනු ලබන ලවන ප්‍රමාණය ලැබෙනු ඇත.

    සෑම තරාතිරමක පුද්ගලයින්, විශේෂයෙන් ළමයින්, ශරීරයට දරා ගත හැකි මට්ටමට පමණක් කය වෙහෙසවිම කල යුතුය. ශාරීරික ව්‍යායාමයන් උදැසනට හෝ සවස් කාලයට කිරීම නිර්දේශ කෙරේ. ශාරීරික ව්‍යායාම කරන පුද්ගලයින් විටින් විට ව්‍යායාම නතර කර සෙවන ඇති ස්ථානයක විවේක ගැනීම අත්‍යවශ්‍ය ය.

    ළමයින් සහ අනෙකුත් පුද්ගලයින් හැකි සෑම විටම ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථාන වල හෝ සෙවන ඇති ස්ථාන වල රැදී සිටීම කල යුතුය. වායු සමීකරණය කල ස්ථානයක් නම් වඩාත් සුදුසුය. විදුලි පංකා ද  භාවිතා කල හැකිය. සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම මගින් ශරීර උෂ්ණත්වය අඩුකරගත හැකිය. ලා පැහැති, කපු රෙදි වලින් මැසූ ඉහිල් ඇඳුම් ඇඳීම සුදුසුය. සිරුර වැසීමට ප්‍රමාණවත්  අවම ඇඳුම් ඇඳීම ද වැදගත්ය. සිරුර හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට තොප්පියක් පැළඳීම ත් , කුඩයක් භාවිතා කිරීමත් සුදුසුය.

    ජනතාව නොකළ යුතු දේ
    මෙවැනි කාලගුණ තත්වයකදී ජනතාව නොකළ යුතු දේ ද තිබේ. උණුසුම් ආහාර හෝ දියර, විශේෂයෙන් උණු තේ  ගැනීමෙන් වැළකිය යුතුය. ඔවුන් වෙනත් අධික රස්නය ට හෝ හිරු රශ්මියට නිරාවරණය නොවිය යුතුය. මනා වාතාශ්‍රයක් නොමැති කාමර තුල හෝ ස්ථානවල නොසිටිය යුතුය. මධ්‍යසාර, අධික සීතල හෝ පැණි රස බීම පානය ඉතා අහිතකරය.

    ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු අවස්ථා
    ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු අවස්ථා ද ඇත. යම් පුද්ගලයෙකු කය වෙහෙසවන අවස්ථාවකදී, අධික තෙහෙට්ටුවක්, පපුවේ ගැස්මක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වේ නම්, වහාම එම ක්‍රියාවලිය නවතා සෙවන ඇති හෝ සිසිල් ස්ථානයක  විවේක ගත යුතුය. තමන්ට හිසේ බර ගතියක් හෝ ක්ලාන්තයක් ඇත්නම් අනෙකුත් අයට දන්වා සිටිය යුතුය.

    හිරු රශ්මියට සම රතු විය හැකි අතර කසන්නට පුළුවන. ඇතැම් විට පිළිස්සුම් හෝ බිබිලි මතු විය හැකිය. සන් ක්‍රීම් මගින් ඒවා වලක්වා ගත හැකිය. සමේ කැසිලි විශේෂයෙන් බෙල්ලේ, පපුවේ හෝ පියයුරු ආශ්‍රිතව ඇති වේ. සිසිල් ස්ථානවල සිටීමෙන් හා සම සිසිල් ව තබා ගැනීමෙන් ඒවායින් වැළකීමට පුළුවන. දරුවන්ගේ හිරු රශ්මිය නිසා පිළිස්සුම් තුවාල තිබේ නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුය.මස්පිඩු පෙරලීම් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථා වලදී  ලවණ සහිත දියර බීම සහ විවේකිව සිටීම කලයුතුය. සීනි සහිත දියර පානයද කල හැකිය. එහෙත් පැයක් ඇතුලත යථා තත්වයට පත් නොවේ නම්, වෛද්‍යවරයෙකු වෙත යා යුතුය.

    තාප අඝාත (heat strokes)
    අධික උෂ්ණත්වය නිසා සමහරුනට තාප අඝාත (heat strokes) ඇති වීමට පුළුවන. ශරීරයට උෂ්ණත්වය පාලනය කරගත නොහැකිව ගොස් මොළයට සහ ස්නායු පද්ධතියට හානි වීම නිසා තාප අඝාත ඇතිවේ.  තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලය.

    ශේෂ අවදානම් කාණ්ඩ වල පුද්ගලයින් අධික උණුසුම් කලගුනයකදී වඩා පරිස්සම් විය යුතුය.ළදරුවන්, අවුරුදු 4 ට අඩු ළමයින් සහ  අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින් උෂ්ණත්ව වෙනස් වීම් වලට ඉතාම සංවේදී අතර තම ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා අනුන් මත යැපේ .

    තරබාරු අයගේ සම යටින් ඇති තෙල් ස්තරය නිසා පහසුවෙන් ශරීර උෂ්ණත්වය අඩු කරගත නොහැකිය.

    ළදරුවන්ට  සැහැල්ලු ඇඳුම් අන්දවා සිසිල් ස්ථාන වල තබා ගෙන නිතර නිතර දියර ලබා දිය යුතුය.ඔවුනට උණුසුම් ආහාර හෝ දියර නොදිය යුතුය.

    බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍ය  බලපෑම් පහසුවෙන්  වලකා ගත හැකිය.

     
    ප්‍රජා වෛද්‍ය  විශේෂඥ කපිල ජයරත්න
    මාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරු
    පවුල් සෞඛ්‍ය කාර්යාංශය

  • උණුසුම ඉහළ නිසා හැකි තරම් ජලය පානය කරන්න  – GMOA

    උණුසුම ඉහළ නිසා හැකි තරම් ජලය පානය කරන්න – GMOA

    දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද ‌සොයිසා මහතා සඳහන් කළේය.

    කය වෙහෙසා වැඩකරන පිරිස් ශරීරයේ ජලය ඉවත් වීමෙන් ඇතිවන විජලන තත්ත්වය පිලිබඳව අවධානය යොමුකළ යුතු බවත් දැඩි හිරු රශ්මියේදී ගමන් කිරීමේදී කුඩ හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මෙම තත්ත්වය තුළ හැකි තරම් ජලය භාවිතා කරන ලෙසත් මීට අමතරව තැඹිලි වතුර භාවිතා කරන ලෙසද නවින්ද ‌සොයිසා මහතා සඳහන් කළේය.

  • ලොකු ලුනු මිල බසින බවට සහතිකයක්

    ලොකු ලුනු මිල බසින බවට සහතිකයක්

    ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට අද (27) අවසර ලැබෙන බැවින් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරනවා.

    පසුගිය කාලයේ ඉන්දියාව ලොකු ලූනු අපනයනය නවතා දැමීම හේතුවෙන් නෙදර්ලන්තයෙන් ලොකු ලූනු ගෙන්වීමට සිදුවීම හේතුවෙන් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ද ඉක්මවා ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

  • හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට

    හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ (26) දින හෝමාගම මූලික රෝහලේ  හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහිදී රෝහලේ පාලනාධිකාරිය ඇතුලු නිලධාරි මණ්ඩලය සමග රෝහ‌ලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා පවත්වන ලද අතර එම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා කටයුතු කරන බව පැවැසීය.

    649178 ක පමණ ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස හෝමාගම ප්‍රදේශය හදුන්වනු ලබයි. හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති හෝමාගම මුලික රෝහල 1946 වසරේ දිස්ත්‍රික් රෝහලක් ලෙස ද 1997 වසරේ මුලික රෝහලක් ලෙසට  ද පත් වන අතර රෝහල ඇදන් 474 කින් යුක්ත වේ. මූලික ප‍්‍රතිකාර ඒකකයක්, ප්‍රසව හා නාරිවේද, ළදරු ඒකක, අක්ෂි ඒකක, රසායනාගාර, ජීව විද්‍යා අංශයක්, මනෝචිකිත්සක එ්කක, සායනවලට එන රෝගී සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකක සංකීර්ණයකින් ද යුක්ත වේ. දිනකට සාමාන්‍ය සායනික පහසුකම් ලබාගැනිම සදහා 1000 ක් පමණ මෙම රෝහලට පැමිණේ. මෙම රෝහලෙන් ඉහත සේවාවන්ට අදාල සායන පහසුකම් වලින් ද, චර්ම, දන්ත, ලිංගාශ්‍රිත, හෘද, පවුල් සැළසුම්, විකලාංග, බෝනොවන රෝග, පෝෂණ සහ පවුල් සෞඛ්‍ය සායන පහසුකම් ද ලබාදෙනු ලබයි. තව ද විකලාංග සැත්කම්, ළමා සැත්කම්, මුඛ සැත්කම් අලුතින් එකතු කරන ලද සැත්කම් අතර වේ.

    දැඩි සත්කාර ඒ්කකයේ පහසුකම් ලබාගැනීම සදහා වෙනත් රෝහල්වලින් රෝගීන් මාරු කරන අවස්ථාවල සහ ආපදා සහ හදිසි අනතුරු තත්ත්වයක දී මෙම රෝහලෙන් විශාල සේවාවක් ලබාදිය හැකි බව රෝහල් පාලනාධිකාරිය පෙන්වා දෙයි. මහා මාර්ග පද්ධතිය පුළුල් කිරීම හේතුවන් කොළඹ කටුනායක, කොළඹ මහනුවර, දක්ෂිණ අධිවේගී මාර්ග ඇතුලුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය වන්නේ ද හෝමාගම වන බැවින් එහි පිහිටා ඇති හෝමාගම මුලික රෝහල තවත් සංවර්ධනය කර ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවිය යුතු බව ද රෝහල් පාලනාධිකාරිය ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලවල ප්‍රධාන ඉල්ලීමක් වූ අතර, වෛද්‍යවරු 10 ක්, හෙදියන් 43ක්, සෞඛ්‍ය කාර්ය සහායකයින් 25 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මිකයින් 06 ක් රෝහලේ සේවාවන් ඉහළ නැංවීමට අත්‍යාව්‍ය වන බව ද පෙන්වා දෙන ලදි. භෞතික සම්පත් සංවර්ධනයේ දී නව හදිසි ප්‍රතිකාර ඒකකය හා ශල්‍යාගාරය ඇතුළත් නව සංකීර්ණයේ උපකරණ සදහා ආසන්න වශයෙන්  රුපියල් මිලියන 240 ක් පමණ අවශ්‍යවන බවත්, දැනට පවත්වාගෙන යනු ලබන සේවාවන් සදහා (රසායනාගාර, එක්ස් කිරණ, වාට්ටු, විශේෂ ඒකක) සදහා අත්‍යාවශ්‍ය උපකරණත් අවශ්‍ය බව පෙන්වා දෙන ලදි. මේ සියලු කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝමාගම මුලික රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු අවශ්‍යතාව අනුව සොයාබලමින් අදාල සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා බවත්, ඒ සදහා ඉදිරි සතිය තුල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

  • සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කරනවා – ඇමැති ප‍්‍රසන්න

    සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කරනවා – ඇමැති ප‍්‍රසන්න

    සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි අයවැයෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි.

    බේරුවල කළුවාමෝදර වෙරළ ආශ්‍රිත සංචාරක කලාප පවතින අඩුපාඩු සොයා බැලීම සදහා ඊයේ (26) කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඇමතිවරයා මෙම අදහස් පල කලේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියල් නිශාන්ත මහතාගේ ඉල්ලීමට අනුව ඇමතිවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක් විය.

    බේරුවල සංචාරක කලාපයට ආශ්‍රිතව බොහෝ සංචාරක හෝටල් වැසී ගොස් ඇති බවත් එම කලාප වල යටිතල පහසුකම් නැංවීමට පසුගිය රජයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් මෙහිදි එම ප්‍රදේශවාසීන් චෝදනා කලහ. සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් මෙම ප්‍රදේශවල 30,000 කට පමණ තම ජීවනෝපායන්ද අහිමිවී ගොස් ඇතැයි මෙහිදි අනාවරණය විය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේ සංචාරක කලාප ආශ්‍රිතව මාර්ග, රෝහල්, වැසිකිලි කැසිකිලි ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට දැනටමත් අවධානය යොමුව ඇති බවයි. ප්‍රධාන දුම්රිය ස්ථාන සංචාරක ගමනාන්තය හා ප්‍රධාන සංචාරක මාර්ග වල හදුනාගත් ස්ථාන වල සියළු පහසුකම් වලින් සමන්විත පහසුකම් මධ්‍යස්ථාන (Comfort Centers) ඇති කිරීමටද අපෙක්ෂා කෙරේ. දැනටමත් අමාත්‍යංශය මේ සදහා සුදුසු ස්ථාන හදුනාගෙන ඇත. මෙම පහසුකම් මධ්‍යස්ථානවල සනීපාරක්ශක පහසුකම් අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයින්ට අවශ්‍ය සියළුම පහසුකම් සැලසෙන අතර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීමට නියමිත බව ඇමතිවරයා කිවේය.

    දැනට වැසී ගොස් ඇති සංචාරක හෝටල් හිමියන්ට ඒවා නැවත ආරම්භ කිරිම සදහා සහයෝගය ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇතැයි. ඇමතිවරයා මෙහිදි කියා සිටියේය. සහන පදනම යටතේ ඔවුන් වෙනුවෙන් ණය යොජනා ක්‍රමයක් හදුන්වා දීම කෙරෙහි කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

    සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා පසුගිය රජයට කිසිදු සැලැස්මක් හෝ දැක්මක් නොතිබූ බවත් 2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමෙන් පසු දියුණුවෙමින් පැවති සංචාරක ව්‍යාපාරය යහපාලන රජය බලයට පත්වීමත් සමග සම්පුර්ණයන්ම කඩා වැටුණු බවත් ඇමතිවරයා කිවේය. වත්මන් රජයේ නව දැක්මකින් සංචාරක ව්‍යාපාරය නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇමතිවරයා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේය.    

  • ‘ක්ෂණිකව ජන ගැටලු විසදන්න’ ජනපති ගෝඨා ගමට යයි

    ‘ක්ෂණිකව ජන ගැටලු විසදන්න’ ජනපති ගෝඨා ගමට යයි

    ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ.

    සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

    සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

    ජනාධිපතිතුමා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය.  කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඕව්හු පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇත. ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙමගින් ඉහළ ආදායමක් ලැබේ. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇත. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබේ. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය  වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.  කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන්  විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට  පසුබිම  සකසන්නැයි එතුමා පැවසීය.

    නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන්  විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන්නැයි කීය.

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

    ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යතාවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. වෛද්‍යවරු, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

    මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වේ. හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද පියවර ගනු ලැබිණ.

    හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

    අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටළුවලට ඒ මොහොතේම විසඳුම් ලැබිණ. උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත් කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය.

    ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන්  පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

    දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

    රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

  • සම්පත් ATM අනාරක්ෂිත බවට චෝදනා

    සම්පත් ATM අනාරක්ෂිත බවට චෝදනා

    දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත. අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය.

    ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි පවා කතිකාවතක් ඇතිවී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ අවධානය යොමු නොකිරීම ඉතාමත් කනගාටුදායක කරුණකි. මෙම මුල්‍ය සමාගමේ ATM යන්ත්‍ර සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් විසින් එම ATM යන්ත්‍ර වලට ඇතුලත් කරන ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක දත්ත සොරාගෙන එම පාරිභෝගිකයන්ගේ මුදල් සොරාගැනීමේ හැකියාවක් පවතී.

    තවද මෙම ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් ඕනෑම පුද්ගලයෙකුට මෙම ATM යන්ත්‍රයන්ට අනිෂ්ට විධාන  නොහොත් malicious commands එක්කළ හැකිය. මෙම ATM යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක වන්නේ යල්පැනගිය Windows 7 මෙහෙයුම් පද්ධතිය මත වන අතර එයද ආරක්‍ෂිත දෝෂයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හදුන්වාදිය හැකිය. මෙවැනි ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් මෙම මුල්‍ය ආයතන කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බැවින් මෙම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී සැලකිලිමත් වන්න කියා අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ජනතාවට දැනුම් දෙමු.

  • COVID-19 භීතියට මුවාවී ‘සයිබර් ප‍්‍රහාරයක අවධානමක්’

    COVID-19 භීතියට මුවාවී ‘සයිබර් ප‍්‍රහාරයක අවධානමක්’

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවී තිබේ.

    එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව තුල ජනතාව තුල ඇතිවී ඇති බිය සහ අවිනිශ්චිතතාව යොදාගනිමින් සිටී.

    Covid-19 වයිරසය සම්බන්ධයෙන් නවතම තතු ඊමේල් මගින් දැනුවත් කිරීමේ මුවාවෙන් ඊමේල් පණිවිඩ හරහා බලයලත් මහජන සෞඛ්‍ය ආයතනයක් සේ පෙනී සිටිමින් අනිෂ්ට කේත ඇතුළත් Microsoft Word or PDF ගොනුවක් ආකාරයෙන් Emotet වැනි ට්‍රෝජන් අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගනයකයට ජංගම දුරකතනයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක් පිලිබදව ලොවපුරා වාර්තා වේ. මෙවැනි ඊමේල් පණිවිඩ සැලකියයුතු ප්‍රමාණයක් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට ලැබී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන අතර Covid-19 සම්බන්ධ ඊමේල් පණිවිඩයක් ඔබට ලබුනුහොත් එම පණිවිඩය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු. 

  • අනුරාධපුරේ සුපිරි රස්සා බෙදිල්ලක්

    අනුරාධපුරේ සුපිරි රස්සා බෙදිල්ලක්

    රජයේ රැකියා මුළු ලංකාවට ලබාදිය හැකකේ ලක්ෂයක් පමණක් වුවත් සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරය තුළ පමණක් රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී හෙළි කළා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසුවා.

    ‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව අය කියනවා ඊළග ආණ්ඩුවේ අහවල් ඇමති මම කියලා, තව අය කියනවා මම තමා අහවලාගේ නියෝජිතයා කියලා.

    මේ සේරම කරන්නත් අපි අනුරාධපුර‍ දිස්ත්‍රික්කයේ  හත් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න අවශ්‍ය ඡන්ද ටික හදලා ඉන්න ඕන නේද? ඒ ටික හැදුනම නේද කවුද යවන්න ඕන කියලා හිතන්න ඕන.

    මිනිස්සු රවට්ටන අය පාර්ලිමේන්තු ගියාට ර‍ට හැදෙන්නේ නෑ. ඉස්සරලම රට හදන්න හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න පදනමක් අපි හදා ගන්න ඕන. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ මතවාදයේ හිට ගන්න පිරිසක් පාර්ලිමේන්තු යවන්න පුළුවන්.ඊට පස්සේ අපි ජීවත් වෙන කාලයේ මේ රටේ වෙනසක් දකින්න පුළුවන්.

    ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා කියලා එතුමා මැජික් කාරයෙක් නෙමෙයි. මේ රට වෙනස් කරන්න.ඒ සඳහා අපි එතුමාට උදව් කරන්න අවශ්‍යයි.එතුමා බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන.

    මේ රටේ වෙනස් කළ යුතු බොහෝ දේ තියෙනවා.එකතු කළ යුතු බොහෝ දේවල් තියෙනවා. අයින් කරන්න ඕන දේවල් බොහෝමයක් තියෙනවා.

    සමහර නීති පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන.නායකයාට ඕනකම තිබුණට විතරක් මේවා කරන්න බෑ.සමහර නීති තියෙන්නේ සුද්දාගේ කාලේ ඒවා.අපේ පාරවල් කාපට් වෙලා, ගුවන් පාලම් හැදිලා තියෙනවා, එඅධිවේගී මාර්ග හැදිලා තියෙනවා. හැබැයි තාමත් අපේ පාරක වේග සීමාව පැයට කිලෝ මීටර 80 යි,

    ගම් පාරවල් වලත් 80 ට වඩා යනවා.තාම රටේ නීතිය තියෙන්නේ 80 යි.මේවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තියෙන්න ඕන.

    පහුගිය කාලවල මැතිවරණයක් අපි දිනුවම පැරදුන අයව ගණන් ගත්තේවත් නෑ, පැරදුන කෙනා කොන් වෙනවා.දැන් එහෙම කරන්න බෑ.දෙකට බෙදිලා හිටිය පක්ෂවල නායකයෝ දැන් එකතු වෙලා සන්ධාන හදලා තියෙනවා.

    ඉතිහා‍සයේ ඉඳන් අපේ පුරුද්ද තිබුණේ අපි ආණ්ඩුවක් හදා ගත්තම උදව් නොකරපු එකෙකුට ලං වෙන්න දෙන්නේ නෑ.ඇයි තහඩු ටික, කොන්ත්‍රාත් ටික, රැකියා ටික, අපිටම ගන්න.

    අපි රටක් විදිහට විනාශය කරා යනවා මිසක් සංවර්ධනයකට යන්නේ නෑ.මේ දේශපාලන බෙදීම මැතිවරණ කාලයට පමණක් සීමා කරලා රට හදන කණ්ඩායම විදිහට හැමෝම එකට අත්වැල් බැඳ ගත්තොත් හැමෝම මේ කඳවු‍රේ සාමාජිකයෝ කර ගත්තොත් අපිට ලේසියෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න පුළුවන්‘